ගොන් පොර තහනම ඉවත් කිරීමට එරෙහි පෙත්සම විභාගයට | දිනමිණ

ගොන් පොර තහනම ඉවත් කිරීමට එරෙහි පෙත්සම විභාගයට

තමිල්නාඩුව තුළ පසුකාලයේ තහනමට ලක් කරන ලද “ජල්ලිකට්ටු” නම් ගොන් පොර සඳහා නැවත අවසර ලබාදීමට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

ජල්ලිකාට්ටු සහ ගොන් කරත්ත තරග සඳහා ගොනුන් භාවිතා කිරීම අභියෝගයට ලක් කරමින් ඉන්දීය මධ්‍යම රජයට එරෙහිව මේ පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ සත්ත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් විසිනි.

ඔවුන් කියා සිටින්නේ මේ ගොනුන් කුලප්පු කිරීම සඳහා මත්පැන් පෙවීම සහ ඇස්වල මිරිස් තැවරීම වැනි අතිශය කුරිරු ක්‍රියාසිදු කරන බවයි.

වසර ගණනක සිට පැවත එන ‘ගොන් පොර’ හෙවත් ජල්ලිකාට්ටු තමිල්නාඩු වැසියන් අතර ඉතා ජනප්‍රිය මෙන්ම විනෝදශීලී ක්‍රීඩාවකි.

සම්ප්‍රදායක් ලෙස මෙය පවත්වා ගෙන ආ අතර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මත පසුගිය වසරේ ද තහනම් කරනු ලැබුණි. ඔවුන් මෙම ගොන් පොර පවත්වන්නේ ජනවාරියේදී තම අස්වැන්න නෙළීමෙන් පසුවයි. ගොන් පොරයේදී ගොනුන්ගේ අඟෙහි ගැට ගසනු ලබන ත්‍යාග ගලවා ගැනීමට ඊට සහභාගී වන මිනිසුන් උත්සාහ කරයි. මෙහිදී සත්ත්ව ඝාතන සිදු වන්නේ නැත.

ගොන් පොර සඳහා දැඩි විනය නීති ක්‍රියාත්මක බවත් ගොනුන්ගේ ශුභ සාධනය වෙනුවෙන් නව විධි විධාන හඳුන්වා දී ඇති බවත් ගොන් පොර සංවිධායකයෝ පවසති.

ගොනුන්ට වද හිංසා පැමිණවීම වැළැක්වීමට ආරක්ෂකයින් ද යොදවන බව ඔවුහු ප්‍රකාශ කරති. 

ඒ.එෆ්.පී.

නව අදහස දක්වන්න