කරුණා නිසා රවිරාජ් ඝාතන තොරතුරු හැංගුවා | දිනමිණ

කරුණා නිසා රවිරාජ් ඝාතන තොරතුරු හැංගුවා

සිරන්ජනි කුමාරි

එවකට පැවැති රජයේ බුද්ධි අංශ කරුණා අම්මාන් පාර්ශ්වය සමඟ සබඳතා පැවැත්වූ බැවින් රවිරාජ් ඝාතනය සම්බන්ධ තොරතුරු වසන් කළ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතාගේ ඝාතනය සම්බන්ධ ලඝු නොවන නඩු විභාගයේ දී රජයේ සාක්කිකරු වූ හිටපු ජනාධිපති ආරක්ෂක අංශයේ කොස්තාපල් ප්‍රිති විරාජ් ඊයේ (13) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ සාක්කි දෙමින් පැවසීය.

විත්තියේ නීතිඥවරයා විසින් සාක්කිකරුට යොමු කරන ලද හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්කිකරු එලෙස පැවසීය. දෙවන විත්තිකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා මෙහිදී පළමු සාක්කිකරු වූ විජේවික්‍රම මනම්පේරි ප්‍රිති විරාජ් නැමැත්තාගෙන් මෙසේද හරස් ප්‍රශ්න යොමු කළේය.

නීතිඥවරයා - 2015.02.26 ඔබ පොලිසියට ප්‍රකාශ ලබා දෙන විට අත්අඩංගුවට පත් වෙලාද?

සාක්කිකරු - නැත.

නීතිඥවරයා - 2015.03.20 ප්‍රකාශය ලබාදෙන විට ඔබ අත්අඩංගුවේද?

සාක්කිකරු - ඔව් 2015.03.19 මා රහස් පොලිස් මූලස්ථාය මඟින් මා අත්අඩංගුවට ගත්තා. ප්‍රකාශයක් දෙන්න එන්න කියලා අත්අඩංගුවට ගත්තා.

නීතිඥවරයා - 2005 වර්ෂයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රැද්‍රිගු මහතාගේ රියදුරු ලෙස සේවයේ යෙදී සිටියා. 1996 වර්ෂයේ පොලිසියට බැදී විවිධ ක්ෂේත්‍රවල සේවය කළා. ඔබ 2015.05.21 ප්‍රකාශයේ සඳහන් කරුණු සත්‍යද?

සාක්කිකරු - ඔව්.

නීතිඥවරයා - 2005 නැගෙනහිර පළාතේ සේවය කළ කරුණා පාර්ශ්වයේ විවිධ පුද්ගලයින් සමඟ සම්බන්ධකම් පැවැත්වූයේද?

සාක්කිකරු - එහෙමයි, නමුත් ඒ කාලේ සන්නද්ධ පිරිස් ප්‍රවාහනය, එල්. ටී. ටී. ඊ. මුරපළවලට ප්‍රහාර එල්ල කරන්න සහභාගි වුණා. ඒ පිළිබඳව පළමු ප්‍රකාශයේ සඳහන්.

නීතිඥවරයා - ප්‍රහාර කීයකට ඔබ සම්බන්ධ වුණාද?

සාක්කිකරු - ත්‍රස්තවාදී මුරපල 15වකට 20කට පමණ පහර දෙන්න සම්බන්ධ වුණා.

නීතිඥවරයා - ජීවිතය නැතිවෙයි කියලා අවදානමක් තිබුනේ නැද්ද?

සාක්කිකරු - තිබුණා. මරණයට බියයි නමුත් ත්‍රස්තවාදි කටයුතුවලදී නොබියව ඊට එරෙහිව ක්‍රියා කළා.

නීතිඥවරයා - ප්‍රකාශයේ සඳහන් වන්නේ තනතුර රියදුරු බවයි.

සාක්කිකරු - රියදුරුට අමතර ආරක්ෂක රාජකාරි කළා.

නීතිඥවරයා - එල්. ටී. ටී. ඊ. මුරපළකට පහරදීමකට ගිය අවස්ථාවේ එස්. ටී. එෆ් එක ඊට ඉඩ නොදීම නිසා ගැටලු මතුවුණා‍. එය හෙලි වූ නිසා වෙනත් ප්‍රදේශයකට ඔබ මාරු කළා නේද?

සාක්කිකරු - එල්. ටී. ටී. ඊ. මරණ තර්ජන නිසා හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතා අපි මාරු කළා.

නීතිඥ - කලුතරට ආවා. පලනිසාම් සුරේස් ඔබ නැ‍ඟෙනහිර සේවය කළ කාලයේදී හඳුනා ගත්තා කිව්වා. ඔහු කරුණා පාර්ශ්වයේ සාමාජිකයෙක්, ඔබ දිගටම කරුණා පාර්ශ්වය සමඟ සම්බන්ධකම් පැවැත්වූවා.

සාක්කිරු - නැහැ

නීතිඥවරයා - කලුතරට ගියාම හමුවුණේ නැද්ද?

සාක්කිරු - අහඹු ලෙස හමු වුණා.

නීතිඥවරයා - ඔබ සාමි සමඟ වැඩිදුර සමබ්න්ධතා පැවැත්වූවා කිව්වොත් හරිද?

සාක්කිරු - නැහැ.

නීතිඥවරයා - මුල් ප්‍රකාශයේ කරුණා, සාමි යන අය පිළිබඳව සඳහන් නොවුණත් 2015.02.26 ප්‍රකාශයේ ඔවුන් පිළිබඳව කරුණු දැක්වීමට හේතු මොනවාද?

සාක්කිකරු - රවිරාජ් ඝාතනය පිළිබඳ කරුණු දැන සිටියත් කරුණු හෙළි නොකළේ කරුණා පාර්ශ්වය හෝ වෙනත් පාර්ශ්වයක් මා ඝාතනය කරන්න තිබුණ නිසා.

නීතිඥවරයා - පොලිස් පුහුණු පාසලේ සේවය දුෂ්කර නිසා ඔබ ජනාධිපති ආරක්ෂක අංශයට අයදුම් කළා. එය සරල රාජකාරි තිබෙන තැනක්ද?

සාක්කිකරු - සරල නැහැ. වගකීම් බහුලයි. අනෙක් පහසුකම් තිබෙනවා.

නීතිඥවරයා - බිය නිසා යම් දේ ප්‍රකාශ නොකිරීම ඔබ කරණු බොරුවක්ද?

සාක්කිකරු - ප්‍රතික්ෂේප කරනවා.

නීතිඥවරයා - බිය නිසා කරුණු කීම අසත්‍යයි. 2015.02.26 කරන ප්‍රකාශය ගොතා කියන කතාවක්?

සාක්කිකරු - ප්‍රතික්ෂේප කරනවා.

නීතිඥවරයා - 2008.03.21, 22 ඔබ ප්‍රකාශ මඟින් පවසා තිබෙනවා. 2005.12.24 මඩකලපුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජොශප් පරරාජසිංහම් ඝාතනය සඳහන් කරනවා. ඊට ආරක්ෂක අංශ සම්බන්ධ කරලා නැහැ. ඒ වන විට ‘චූටි’ පිල්ලෙයාන් කාර්යාලයේ වැඩ කළා. ගජන් මිය ගිහිල්ලා. සිද්ධියට සම්බන්ධ කරුණා ජීවත්ව සිටියදී නොබියව ඔබ රහස් පොලිසියට හෙලි කළා. අම්පාර භාරව සිටි පුෂ්ප කුමාර විනයභාරති කරුණා අම්මාන්ගේ ප්‍රබලයක් එතකොට බියක් තිබුණේ නැද්ද?

සාක්කිකරු - මම දන්න දේ නොවෙයි කිව්වේ.සාමි කියපු දේ මම පැවසුවා.

නීතිඥවරයා - එතකොට ඔබට බියක් ඇති වුණේ නැද්ද?

සාක්කිකරු - රහස් පොලිසියෙන් එළියට යන්නේ නැති නිසා පැවසුවා.

නීතිඥවරයා - ඔබ රවිරාජ්ගේ ඝාතනය පිළිබඳ දන්නවා නම් පළමු ප්‍රකාශයේ ඒ පිළිබඳව ප්‍රකාශ කරන්න තිබුණා.

සාක්කිකරු - ජීවිතය අහිමිවන්න තිබුණා.

නීතිඥවරයා - ජනාධිපති ආරක්ෂක අංශයේ සහකාර පොලිස් අධිකාරි රුද්‍රිගු මහතාගේ රියදුරු ලෙස ඔබ සේවය කළා. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිටුපස ඇති බැරැක්කේ සිට රුද්‍රිගු මහතාගේ නිවසට පැමිණෙනවා. පසුව දුව වෛද්‍ය විද්‍යාලයට ගෙන යනවා. නෝනා ආනන්ද විද්‍යාලයට ගෙන යනවා. එයයි ඔබට පැවරී තිබූ රාජකාරිය

සාක්කිකරු - ඔව්

නීතිඥවරයා - එවකට සිටි ජනාධිපති සහභාගි වූ විවිධ උත්සවලට ඔබ ගියාද?

සාක්කිකරු - ඔව්.

නීතිඥවරයා - එවකට යුදමය වතාවරණයක් පැවතුණා. ඝාතන රැසක් වුණා. ඔබ රුද්‍රිගු මහතාට හෙලි කළාද? පිල්ලෙයාන් කරුණා යන පාර්ශ්ව සමඟ ඔබ සම්බන්ධතා පවත්වන බව?

සාක්කිකරු - නැහැ රජයේ බුද්ධි අංශය කරුණා අම්මාන් පාර්ශ්වය සමඟ සබඳතා පැවත්වෙන නිසා ඒ බව දැනුම් දුන්නේ නැහැ.

නීතිඥවරයා - මහාධිකරණ 6826/13 නඩුවේ ඔබ විත්තිකරු ද?

සාක්කිකරු - සහල් ලොරියක් මංකොල්ල කෑම, නඩුව විභාග වෙනවා.

නීතිඥවරයා - 4300/13 නඩුවේ.

සාක්කිකරු - ද්‍රවිඩ පුද්ගලයින් දෙදෙනෙකු පැහැර ගැනීම, හිටපු ගුවන් හමුදා බලඝන නිලධාරි නිශාන්ත ගජනායක විශේෂ පොලිස් කාර්ය බළකායේ ප්‍රධාන පොලිස් පරීක්ෂක හා කරුණා පාර්ශ්වයේ අයෙක් එම නඩුවේ විත්තිකරුවන් .

නීතිඥවරයා - තංගල්ල මහාධිකරණයට හා මොණරාගල අධිකරණයටත් ඔබ යනවාද?

සාක්කිකරු - ගංජා සම්බන්ධ නඩුවකට යනවා.

නීතිඥවරයා - හම්බන්තොට අධිකරණයට?

සාක්කිකරු - පුද්ගලයෙකුට පහර දීම සම්බන්ධව ඇඹිලිපිටිය අධිකරණයේ සහල් ලොරි මංකොල්ලයකට , ගංගොඩවිල අධිකරණයේ වාහනයක් පැහැර ගැනීම.

නීතිඥවරයා - මංකොල්ල, පැහර ගැනීම් වැනි අපරාධ ඔබ කොළඹට පැමිණ කරුණා හා පිල්ලෙයාන් පාර්ශ්ව සමඟ සම්බන්ධව සිදු කළා?

සාක්කිකරු - රවි රාජ්ගේ ඝාතනයෙන් පසු මම ඔවුන්ගේ ඇසුර නතර කළා.

නීතිඥවරයා - ඔබ කිසිම අපරාධයක් කරන්න මැලි නොවන අයෙක්?

සාක්කිකරු - ප්‍රතික්ෂේප කරනවා.

නීතිඥවරයා - ගංගාරාම ලොන්ඩරි වත්තේ පැවැති බුද්ධි ඒකකයේ දෙවන හා හතරවන විත්තිකරුවන් ඔබ හදුනනනවා කීම බොරුවක්?

සාක්කිකරු - ඝාතනය වෙන්න මාස දෙකකට පෙර මා බුද්ධි අංශ ඇසුරු කළා.

නීතිඥවරයා - රවිරාජ් ඝාතනය කරන බව ඔබ දැන සිටියේ නැද්ද?

සාක්කිකරු - නැහැ. එල්. ටී. ටී. ඊ. කාරයෙක්ට වැඩක් දෙනවා කියලා පමණයි දන්නේ.

නීතිඥවරයා - ඔබ පළමු ප්‍රකාශයේ පවසා තිබෙනවා. තම කාර්යාලයේ සිටියිදී රවිරාජ් ඝාතනය දැන ගත්තා කියලා එය ඇත්ත ප්‍රකාශයක්. ඔබ 2015.02.26 කරන ලද ප්‍රකාශය ගොතන ලද්දක්.

සාක්කිකරු - ප්‍රතික්ෂේප කරනවා.

නීතිඥවරයා - ඝාතනය සඳහා බුද්ධි අංශ පැමිණි ත්‍රිවිලර් රථයක නා.හ. සටහන් කර තිබුණා කියලා ඔබ කියලා තිබුණා.

සාක්කිකරු - ඔව් ක්‍රිම් පාට ත්‍රිවිලරයේ සටහන්ව තිබුණා.

නීතිඥවරයා - බුද්ධි අංශ රවිරාජ්ගේ නිවසේ තොරතුරු සෝදිසි කළ බවට ඔබ ප්‍රකාශ ලබා දී තිබෙනවා. එය බොරුවක්.

සාක්කිකරු - ප්‍රතික්ෂේප කරනවා.

නීතිඥවරයා - නා.හ. සඳහන් කර මීනිමැරුමකට යනවද? ගිනි අවිය T 56 කියලා ඔබ කියනවා. කියන්නේ කොහොමද?

සාක්කිකරු - ශබ්දයෙන් මට හඳුනා ගත හැකියි.

නීතිඥවරයා - 2015.03.20 ප්‍රකාශයේ සඳහන් වෙනවා. එය නේවි එකේ ගිනි අවියක් කියලා. නමුත් පරික්ෂණවලින් හෙලිවෙලා තියෙනවා. ගිරිතලේ යුද හමුදාව කරුණා පාර්ශ්වයට මුදා හල අවියක් බවට මේ අනුව ඔබ ප්‍රකාශ ඉදිරියට අවශ්‍ය පරිදි සකස් කරමින් රහස් පොලිසියට ලබා දී තිබෙනවා.

සාක්කිකරු - ප්‍රතික්ෂේප කරනවා.

මේ අනුව ලඝු නොවන නඩු විභාගයේ වැඩිදුර හරස් ප්‍රශ්න විමසීම මේ මස 29 වන දිනට කල් තැබිණ.

ප්‍රදිප් චාමින්ද, ගාමිණී සෙනෙවිරත්න, ප්‍රසාද් හෙට්ටිආරච්චි, සම්පත් මුණසිංහ යන විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර විවේකානන්දන් හා ටුසෙන්ට්ට අධිකරණය මඟින් විවෘත වරෙන්තු නිකුත් කර තිබිණ.

නාලක මතකදීර හා අරුණ ශාන්ත නීතිඥවරයා උපදෙස් මත මුදා හැර ඇති අතර සම්පත් ප්‍රිති විරාජ් නීතිඥවරයා පොදු සමාව ලබා දී රජයේ සාක්කිකරු කර තිබිණ.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ රොහාන්ත අබේරත්න සමඟ ඩිලාන් රත්නායක මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් සංජය ගමගේ ඇතුළු නීතිඥ මඩුල්ලක් පෙනී සිටියහ. 


නව අදහස දක්වන්න