අමෙරිකා නැවියන් දස දෙනා ඉරානයේ රඳවාගෙන | දිනමිණ

අමෙරිකා නැවියන් දස දෙනා ඉරානයේ රඳවාගෙන

ඉරානයේ ගල්ෆ් මුහුදු සීමාවේදී යාන්ත්‍රික දෝෂයන්ට ලක් වූ කුඩා බෝට්ටු දෙකක සිටි අමෙරිකානු නැවියන් දස දෙනකු ඉරානයේ රඳවා තබා ගෙන සිටින බව ඇමරිකානු බලධරයින් පවසයි. කාර්මික දෝෂවලට ලක්වීම හේතුවෙන් ගමන් කළ නොහැකි වූ මේ යාත්‍රා ඉරානයේ ෆාසි දිවයින වෙතට ගෙන ගොස් තිබේ. පෙන්ටගනයේ ප්‍රකාශක පීටර් කුක් පවසන්නේ එම කණ්ඩායම සහ බෝට්ටු ඉතා ඉක්මණින් ආපසු පැමිණෙනු ඇති බව ටෙහෙරානය ප්‍රකාශ කළ බවයි.

මේ නැවියන් ඔත්තු සේවයේ යෙදුන බව ඉරාන ෆාර්ස් ප්‍රවෘත්ති සේවය සඳහන් කරයි. මේ පිරිස අතර පිරිමින් නවදෙනෙක් සහ කාන්තාවක් ද සිටින බව සඳහන් වන අතර ඔවුන් ඉරාන විප්ලවවාදී ආරක්ෂකයන් විසින් රඳවා ගෙන සිටින බව එහි සඳහන් වේ.

මේ අතර අමෙරිකානු පරිපාලන නිලධාරීන් ප්‍රකාශ කළේ ක්වේට් සිට බහරේන් දක්වා ගමන් කරමින් තිබූ මේ කුඩා අමරිකානු නාවික යාත්‍රා දෙක සමඟ පැවැති සම්බන්ධතා ඇණහිටි බවයි. ගල්ෆ් මාධ්‍යයේ පිහිටි ෆාර්සි දිවයින අසලදී මේ සිද්ධිය ඇති වී තිබේ. මේ කණ්ඩායම ඉතා ඉක්මණින් නිදහස් වනු ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි. මේ සිද්ධිය සැලවූ වහාම ක්‍රියාත්මක වූ අමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ඉරාන විදේශ ඇමැති ජාවඩ් සරීෆ් අමතා සාකච්ඡා ආරම්භ කළේ ය.

මෙහිදී ජෝන් කෙරී පෞද්ගලිකව මැදිහත් වූ බව වාර්තා වේ. න්‍යෂ්ටික ගනුදෙනුව වසර තුනක් පුරා සාකච්ඡා කිරීමෙන් කෙරී සහ ජාවඩ් අතර පෞද්ගලික මට්ටමේ සබඳතාවක් ගොඩනැගී ඇත. කෙසේ වුවත් ද කොන්සර්වේටිව් තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය මේ යාත්‍රාවල මැෂින් තුවක්කු තිබූ බව පවසයි.

ඉරානය රඳවාගෙන සිටි අමෙරිකානු සොල්දාදුවන් 10 නිදහස් කළ බව පත්‍රය මුද්‍රණයට යන අවස්ථාව වන විට වාර්තා විය. එහෙත් අමෙරිකානු බලධාරීන් එය තහවුරු කර නොතිබුණි.

ඒ.එෆ්.පී.  

නව අදහස දක්වන්න