තමිල්නාඩු වෙරළට ආ තල්මසුන්ගෙන් 45ක් මිය ගිහින් | දිනමිණ

තමිල්නාඩු වෙරළට ආ තල්මසුන්ගෙන් 45ක් මිය ගිහින්

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ටුට් කොරින් වෙරළට ඇදී ආ සියයකටත් වඩා වැඩි තල්මසුන් අතරින් 45දෙනෙකු පමණ මිය ගොස් ඇති බව වාර්තා වේ. මෙම සතිය ආරම්භයේ සිට වරින් වර තල්මසුන් වෙරළට ගසා ඒමට පටන් ගත් බවත් පාසැල් සිසුන් හා ගුරුවරුන් එක්ව තල්මසුන් නැවත ගැඹුරු මුහුදට හරවා යැවීමට මහත් පරිශ්‍රමයක් දැරූ බවත් එම වාර්තාවේ සඳහන් වේ. මෙසේ හරවා යවන තල්මසුන් නැවතත් වෙරළ වෙත ඇදී එන අයුරු දක්නට ලැබිණ. 1973 වසරේදී ටුට්කොරින් වෙරළ වෙත ඇදී ආ තල්මසුන්ගෙන් 147ක්ම මිය ගොස් තිබේ.

තල්මසුන් 45කට වැඩි ප්‍රමාණයක් මිය ගොස් ඇති බව සනාථ කළ ටුට්කොරින් හා සුගන්ධි දේවදාස් සමුද්‍ර සමීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය පැටර්සන් එඩ්වඩ් මහතා තවත් 36 දෙනෙකු බේරා ගෙන නැවතත් මුහුදට යැවූ බව සඳහන් කළේ ය. නමුත් එසේ හරවා යැවූ තල්මසුන් වෙරළට පෙනෙන මානයේම රැඳී සිටින බව ඔහු පවසයි.

මොවුන් බේරා ගැනීම අපහසු වී ඇත්තේ එකවර සියල්ලෝම ගැඹුරු මුහුදට ගෙන යාමට අපහසු බැවින් බව තල්මසුන් පිළිබඳ විශේෂඥ කුමාරන් සතාසිවම් ප්‍රකාශ කළේය. ඔහු පවසන්නේ වෙරළට පැමිණෙන තල්මසුන් අතරමඟදී හමුවන තල්මසුන්වද රැගෙන එන බවයි. හරවා යවන තල්මසුන් නැවතත් වෙරළට පැමිණෙන්නේ එලෙසිනි.

ඔවුන්ගේ අධික බර නිසා ඔවුන්ට තනිව ආපසු යාමට නොහැකි අතර මේ නිසා ඉතා ඉක්මනින් ශරීර උෂ්ණත්වය ඉහළ ගොස් වෙරළ මත මරුමුවට පත්වේ. නොනවත්වා ඔවුන් මත ජලය වත්කළ යුතු වන්නේ තල්මසුන්ගේ සිරුර මේද තට්ටුවකින් වැසී ඇති හෙයිනි.

ඒ.එෆ්.පී.

නව අදහස දක්වන්න