ආදායම් ගැන නොසලකා මත්ද්‍රව්‍ය තුරන් කිරීමට පියවර | දිනමිණ

ආදායම් ගැන නොසලකා මත්ද්‍රව්‍ය තුරන් කිරීමට පියවර

නිරුෂි විමලවීර

දුම්වැටි සහ මත්පැන් අලෙවියෙන් ආණ්ඩුව වාර්ෂිකව රුපියල් බිලියන 115-120ක් බදු ආදායමක් ඉපැයුවද බරපතළ සමාජ උවදුරක්ව පවතින මද්‍යසාර සමාජයෙන් තුරන් කිරීමට තමා පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාමික වැටුප් ගෙවීමට ජාතික ආදායමෙන් තුනෙන් දෙකක මුදලක් වැය වෙන බව සිහිපත් කළ ජනාධිපතිවරයා සිගරට්, සහ මත්පැන් අලෙවියෙන් ආණ්ඩුව වාර්ෂික උපයන ආදායම ඊට සමාන බවත් අනාවරණය කළේය.

ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී ඊයේ (19) පැවැති‘ මතින් නිදහස් රටක්“ ජාතික වැඩසටහනට එක් වෙමිනි.

වැඩිදුරටත් ජනාධිපතිවරයා එහිදී මෙසේ ද කීය.

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ “ මතින් නිදහස් රටක්“ බිහි කිරීමේ ජාතික වැඩපිළිවෙළේ කොළඹ දිස්ත්‍රික්කයට වැදගත් අවස්ථාවකට එක්ව සිටිනවා.

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ අපි තෙවසරකට පෙර ආරම්භ කළා. මද්‍යසාරවලින් අපේ රට සහ සමාජය නිදහස් කකැර ගැනීම සඳහා ගෙන යන වැඩපිළිවෙළට ශක්තිමත් කිරීමට ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කළා. ඊට අත්‍යවශ්‍ය සියලු ආයතන සම්බන්ධ කැර ගත්තා. පොලීසිය සුරාබදු ඇතුළු ඊට සම්බන්ධ සියලු ආයතන ඒකරාශි කැර ගනිමින් දේශපාලන නායකත්වය ප්‍රාදේශීය නායකත්ව සමඟ රටේ සමස්ත පාසල් දරුවන් මේ පුළුල් ජාතික වැඩපිළිවෙළ අත්‍යවශ්‍ය වැඩපිළිවෙළ සඳහා සැලසුම් සකස් කළා. පසුගිය මාස කිහිපයේ අපි දිස්ත්‍රික්ක කිහිපයක මේ වැඩසටහන ක්‍රියාත්මක කළා. අද කොළඹ දිස්ත්‍රික්කයේ ඔබ සමඟ එක්ව සිටිනවා. දුම්කොළ, දුම්වැටි සහ මත්පැන් සමාජයේ බරපතළ ලෙස ව්‍යාප්ත වෙන මුළු මහත් ලෝක ප්‍රජාවට බරපතළ අභියෝගයක්ව තිබෙන නීති විරෝධී ඉතා විෂ සහිත මද්‍යසාර වලින් අද සමාජය වෙලා ගෙන තිබෙනවා. මද්‍යසාර නිවාරණය මර්දනය සහ වැළැක්වීම පිළිබඳ ප්‍රශ්නයට ඔබ අප මැදි වෙනවා.

මද්‍යසාර තොර නිදහස් සමාජයක් ගැන කතා කළත් අපේ රටවල වගේම ලෝකයේ සෑම රටකම රජයේ නීත්‍යානුකූල මද්‍යසාර තිබෙනවා. ඒ තුළ දුම්කොළ, දුම්වැටි සහ මත්පැන් ආදී සියල්ල තිබෙනවා. අපි මේ සටන කරන්නේ එක් පැත්තකින් ආණ්ඩුව විසින් නීත්‍යානුකූලව අවසර ලබා දුන් දෙයක් සම්බන්ධයෙනුයි. තවත් පැත්කින් නීති විරෝධී ලෙස නම් කරන ලද මද්‍යසාර රාශියක් තිබෙනවා. මෙය බරපතළ සමාජ ප්‍රශ්නයක් වගේම අභියෝගයක්. නීති විරෝධී වේවා නීත්‍යානුකූල වේවා මද්‍යසාර මද්‍යසාරමයි. එක් පැත්තකින් අපි මෙය ඉවත් කරන්න උත්සාහ ගන්නවා වගේම තවත් පැත්තකින් මිනිසා විසින් මානව සමාජය මෙය ඉල්ලා සිටිනවා. ලෝකයේ බොහෝ රටවල සිය භාණ්ඩාගාරය ආරක්ෂා කරන්න, ජාතික ආදායමට අවශ්‍ය රටේ මුදල් වැඩිකරන්න මත්ද්‍රව්‍යවල අධික බදු ප්‍රමාණය පිළිබඳ කතා කරනවා. රජය අයකරන බදු වලින් වාර්ෂිකව සිගරට් සහ දුම්කොළවලින් බිලියන 50- 55ක් වාර්ෂිකව ආණ්ඩුවට ලැබෙනවා. මද්‍යසාර විස්කි, බැන්ඩි අරක්කුවලින් බිලියන 60-65ක් වැනි ආදායමක් ලබනවා.

අපේ වාර්ෂික අයවැය පරතරය පියවා ගැනීම සඳහා මද්‍යසාරවලින් බදු ලෙස බිලියන 115-120ක් වැනි ආදායමක් ආණ්ඩුව උපයනවා. රජයක් ලෙස ඒ පිළිබඳ අවධානය යොමු කිරීමට නොව සමාජයේ බරපතළ උවදුරක්ව පවතින මේ තත්ත්වයෙන් සමාජය බේරා ගැනීම එහි අරමුණයි. අපි අද කොළඹ දිස්ත්‍රික්කය ලෙස එක්ව සිටිනවා. මද්‍යසාර පිළිබඳ තත්ත්වයේදී කොළඹ දිස්ත්‍රික්කය ලංකාවේ බරපතළ තත්ත්වයක් තිබෙනවා. ලංකාවේ සියලු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස අතරින් කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හොරොයින් භාවිතයේදී බරපතළ වාර්තා රැසක් තබා තිබෙනවා. ගංජා වැනි මත්ද්‍රව්‍යක් කොළඹ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස ජනගහනයෙන් සියයට තුනක් ගංජා භාවිතා කරනවා. හෙරොයින් වැනි දේ පිළිබඳ තිබෙන වාර්තාද ඉතාම අයහපත්. මද්‍යසාර ශරීරයට නුසුදුසු බව අපි කවුරුත් දන්නවා. එය භාවිතය, පරිභෝජනය, පරිහරණය නුසුදුසු බව දන්නවා. සමාජයේ සෑම කෙනෙකුම දන්නවා. වෛද්‍යවරයාගේ සිට සෑම දරුවෙකුම දන්නවා. ශරීර සෞඛ්‍යට සමාජ පැවැත්මට,ආර්ථිකයට, පෞරුෂයට ආත්ම අභිමානයට නුසුදුසු බව පාසල් දරුවන් හැර සමාජයේ සියලු ක්ෂේත්‍රවල පිරිස් දන්නවා. මද්‍යසාර නුසුදුසු වන්නේ ඇයි දැයි කිව හැකියි? නමුත් ඒ සියල්ල දැන දැනත් ඒවා භාවිතා කරනවා.

අපි මේ සම්බන්ධයෙන් ආයතන මට්ටමින් චක්‍ර ලේඛ කිහිපයක් නිකුත් කර තිබෙනවා. රටේ සියලු ආයතන එක් කිරීමටයි. දිසා ලේකම් ප්‍රාදේශීය ලේකම් ඇතුළු ග්‍රාම නිලධාරී සමෘද්ධි නිලධාරින් මේ ජාතික වැඩපිළිවෙළේ කොටස්කරුවන් . සෑම රාජ්‍ය ආයතනයකම මත්ද්‍රව්‍ය නිවාරණය , වැළැක්වීම සහ මර්දනය වෙනුවෙන් ඒකක පිහිටුවා එය මසකට වරක් රැස් කිරීමට පියවර ගන්නැයි උපදෙස් දී තිබෙනවා. මේ ජාතික වැඩපිළිවෙළේ කොටස්කරුවන් සිටිනවා. ඊට සෑම පුරවැසියෙකුටම දායක විය හැකියි. සමාජයට මේ වැදගත් පණිවිඩය ලබා දිය හැකියි. තමාට තමාට පණිවිඩය ලබා දිය හැකියි. “ මද්‍යසාර ගත යුතුද? තමා මද්‍යසාර භාවිතා කරන්නේ ඇයිද? අත්හරින්නේ කෙසේද ? ආදී යන්න හෘද සාක්ෂියෙන් තමාගෙන්ම ඇසිය හැකියි. මත්ද්‍රව්‍ය පිළිබද ප්‍රශ්නයේදී තමා අන් අයට ඒ පිළිබඳ තොරතුරු ලබා දෙනවා මෙන්ම ඒ තුළ තමා කෙතරම් දුරටක ක්‍රියාත්මක කරනවාදැයි මැන බැලිය හැකියි. යහපත් රටක් යහපත් සමාජයක් හැදීමට සෞඛ්‍ය සම්පන්න රටක් හදන්න රජය ක්‍රියා කරනවා.

එක් ග්‍රාම නිලධාරි කොට්ඨාසයක සිගරට් බොන සංඛ්‍යාව ලක්ෂ දෙකක් බව සුපුන් මහතා සඳහන් කළා. මමත් සුසිල් ඇමැතිතුමාත් ග්‍රාම නිලධාරී කොට්ඨාස ගණන සමඟ එය ගණන් කළා. මේ මුදල එක් වූ පසු අපේ ජාතික ආර්ථිකයේ අයවැය පරතරය 2016 වසරේ ගොවි ජනතාවට පොහොර ලබාදීම සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 37ක් වැය වෙනවා. ග්‍රාම නිලධාරී වසම් 14000ක ජනතාව දුම්පානය සඳහා වැය කරන රුපියල් ලක්ෂ දෙක මුදල එක් කළ විට එය රුපියල් බිලියන 37ට ආසන්නයි. එහිදී සිගරට් සහ දුම්වැටි පිළිබඳව සඳහන් කළා. මද්‍යසාර පිළිබඳ ගණනය කර ප්‍රකාශ කළේ නැහැ. කොළඹ දිස්ත්‍රික්කයේ භාවිතා කරන මත්වතුර ලීටර් ප්‍රමාණය ප්‍රකාශ කළා. ඒ තත්ත්වය සැලකීමේදී රට වශයෙන් අපිට අපේ ජාතික ආදායමේ රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට සහ විශ්‍රාමික වැටුප් ගෙවීමට ජාතික ආදායමෙන් තුනෙන් දෙකකට වඩා යනවා.

ඒක තමා ඇත්ත කතාව. සිගරට් අරක්කු මත්පැන් සඳහා නීත්‍යානුකූලව වැය කරන පාරිභෝජන තත්ත්වය ජාතික ආදායමෙන් තුනෙන් දෙක ඉක්මවා යනවා. අපේ දුප්පත්කම් අඟහිඟකම් සමාජ ගැටලු ශීලාචාරකම් යහපත්ව බව හැදිච්චකම සැලකීමේදී මද්‍යසාර කෙතරම් සමාජ බරපතළ ප්‍රශ්නයක් වෙලා. සෑම ආයතනයක් තුළම ඇති එතැනින් එහාට සමාජයට මෙය ලබාදීම ඔබෙන් අපේක්ෂා කරනවා. සමාජයට යහපත් පණිවිඩයක් යැවිය හැකි හොඳම පණිවිඩකරුවා පාසල් දරුවායි. පාසල් දරුවා මවුපියන්ට දෙන පණිවිඩය ශක්තිමත්. ඒ වගේම ප්‍රබලයි. ඒ නිසා ජාතික වශයෙන් වගකීමක් ඉටු කිරීමේ හැකියාව තිබෙනවා. නන්දා මාලනීගේ ගීතයක සඳහන් වූණා මෙන් ‘‘ බුදු තාත්තේ බොන්න එපා “කියා පියාගේ සුරත අල්ලා කීමේ හැකියාව දරුවන්ට තිබෙනවා. ඒ නිසා මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සහාය දුන් සැමට ස්තූති කරනවා. යහපත් සමාජයක්,ගුණගරුක සමාජයක් බිහි කිරීම සඳහා අපි සියලු දෙනා කැප වෙමු.

මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බළකාය අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලව ආරච්චි මහතා- ජාතික ආර්ථිකයෙන් තුනෙන් එකක් වැය කරන්නේ දුම්වැටිවලටයි. එය සෞඛ්‍යයට ආර්ථිකයට විශාල බලපෑමක් වෙලා.

මත් ද්‍රව්‍ය සහ මද්‍යසාර තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ පුබුදු සුමනසේකර මහතා-

රටක නායකයා හොඳ නායකයෙකුද යන්න සොයා බැලීමට හොඳම මිනුම් දණ්ඩ ජනතාවට ඇති ලෙන්ගතුකමයි. ඔහු දුම්වැටි භාවිතා කරන ප්‍රමාණය අනුව එය නිර්ණය කළ හැකියි. දුප්පත්කම ඇති වෙන හිල් ටික වසා දැමිය යුතුයි. සියයට පහට වඩා අඩු මද්‍යසාරවල මිල අඩු කිරීමට අයවැය ලේඛනයේ ඇතුළත් වුණා. ජනාධිපතිවරයාගේ උපදෙස් මත එය වෙනස් කිරීමට හැකිවුණා. එසේ නොවන්න සිසිල් බීම බෝතලයකට වඩා බියර් මිල පහත වැටෙන්න ඉඩ තිබුණා. සිගරැට් මිල රුපියල් දෙකකින් ඉහළ නැංවීමෙන් ලැබෙන ආදායම 2011 වසරේ සමෘද්ධී වෙනුවෙන් වැය කරන මුදලට සමාන වුණා. අපේ රටේ සිගරැට් මත්පැන් බොනවා නොවෙයි. සිදුවන්නේ පෙවීමයි.

තාක්ෂණ සහ පර්යේෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, බස්නාහිර පළාත් සභා ඇමැති ගාමිණී තිලකසිරි, පළාත් ප්‍රාදේශීය දේශපාලන ක්‍රියාකාරීන්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරු, සිසුදරුවන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වුහ.

පන්නිපිටිය විශේෂ

නව අදහස දක්වන්න