ඩග්ලස් දේවානන්දාට එරෙහි නඩුව විභාගයට | දිනමිණ

ඩග්ලස් දේවානන්දාට එරෙහි නඩුව විභාගයට

ඊ.පී.ඩී.පී. නායක හිටපු ඇමැති ඩග්ලස් දේවානන්දා මහතාට එරෙහි මිනීමැරුම් නඩුව චෙන්නායි දිස්ත්‍රික් විශේෂ අධිකරණයේදී 18දා ආරම්භ කෙරේ.

චෙන්නායි සූලෙයි මෙට්ට ප්‍රදේශයේදී 1986 නොවැම්බර් මස 1දා සිවු දෙනෙකු ඉලක්ක කර කරන ලද වෙඩි තැබීමකින් තිරුනාවුතරස නමැති නීතිඥයෙකු මිය ගියේය. එම සිද්ධිය සම්බන්ධයෙන් ඩග්ලස් දේවානන්දා ඇතුළු 9 දෙනෙකුට එරෙහිව එරට පොලිසිය නඩු පැවරීය.

එම නඩු විභාගයේදී ඩග්ලස් දේවානන්දාට එරෙහි නඩුව වෙනම නඩුවක් ලෙස විභාගයට ‍ගන්නා ලෙස එරට පොලිසිය විසින් ඉල්ලා තිබිණි.

ඒ අනුව නඩුවට අදාළ සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විනිසුරුවරයා නියෝග කෙළේය. මේ අනුව නඩු විභාගය පසුගිය 11දා ආරම්භ කෙරිණි. අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ එන්. ප්‍රභාවතී කියා සිටියේ සාක්කි ලබා ගැනීමේදී ඩග්ලස් දේවානන්දා අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට හෝ මහාධිකරණය විසින් ලබාදුන් නියෝගයට අනුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්කි විමසිය යුතු බවට‍ පෙත්සමක් ඉදිරිපත් කර ඇති බවය.

මේ පිළිබඳ පිළිතුරු දුන් විනිසුරු ශාන්ති වීඩියෝ තාක්ෂණ කටයුතු සිදු කර දෙන ලෙස ප්‍රධාන විනිසුරුවරයාට ලිපියක් යැවිය යුතු බවත් එයින් පසු ඩග්ලස් දේවානන්දා සෘජුව අධිකරණය හමුවේ පෙනී සිටිය යුතුද නැද්ද යන්න තීරණය කරන බවද කීවේය.

එම නඩුව පෙබරවාරි මස 1දා තෙක් කල්තබනු ලැබීය. 

නව අදහස දක්වන්න