බන්ධනාගාර නියාමක දෙල්පාගොඩ‍ගේ සේවය අගයයි | දිනමිණ

බන්ධනාගාර නියාමක දෙල්පාගොඩ‍ගේ සේවය අගයයි

බුද්ධිකා ඉඹුලාන

පසුගිය සෙනසුරාදා (16) රාත්‍රියේ දී වැලිකඩ බන්ධනාගාර රෝහලේ රඳවා සිටි විශේෂ ඝනයේ සිරකරුවන් 04 දෙනාගේ පැනයාම වළක්වාගෙන ඔවුන්ගේ උත්සහය ව්‍යර්ථ කළ බන්ධනාගාර නියාමක සී. ඩී. දෙල්පාගොඩ මහතාගේ එම සේවය අගය කිරීම ඊයේ (19) බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බන්ධනාගාර මූලස්ථානයේ දී සිදු කෙරිණි.

වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිරමැදිරියේ බිත්තියේ ගඩොල් ගලවා පලායාමට තැත් කළ මේ විශේෂ ඝනයේ සිරකරුවන් 04 දෙනාගේ ක්‍රියාව නියාමකවරයාගේ දැඩි විමසිලිමත්භාවය නිසා ව්‍යර්ථ වූ අතර, මේ සිරකරුවන් වහාම වෙනත් ස්ථානයකට මාරුකර යැවීමට ද පියවර ගන්නා ලදි.

නියාමකවරයාගේ සේවය අගයමින් අදහස් දැක් වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා- ඔහු නිසි ලෙස සිය රාජකාරි ඉටු කිරීම නිසා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අපහසුතාවන් රැසකට මුහුණ පෑමේ අවදානමෙන් මිදීමට හැකි වූ බව කීය. බන්ධනාගාර නිලධාරීන් කැපවීමෙන් අවංකව සිය රාජකාරි ඉටු කරන්නේ නම් මේ දෙපාර්තමේන්තුව පිළිබඳව කාගේත් ප්‍රශංසාව හිමිවනු ඇති බව ද කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

කැපවීමෙන් සිය රාජකාරි ඉටු කරන බන්ධනාගාර නිලධාරීන්ගේ සේවා ඇගයීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිතැතින්ම සූදානම් බව ද ධනසිංහ මහතා කීය.

මේ අවස්ථාවට බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් ) තුෂාර උපුල්දෙනිය , වැලිකඩ බන්ධනාගාර අධිකාරි අනුර ඒකනායක මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වූහ. 

නව අදහස දක්වන්න