දැය අවදි කළ නාට්‍යවේදියා ජෝන් ද සිල්වා | දිනමිණ

දැය අවදි කළ නාට්‍යවේදියා ජෝන් ද සිල්වා

“දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා - පේවී රකිති සොඳ සීලේ නිබන්ධා”....

මෙම ගීතය වෙසක් සමයේ සහ සෑම බෞද්ධ කටයුත්තකදීම අපට නිරතුරුව ඇසෙන ගීතයකි. එහෙත් මෙම ගීතයේ ඉතිහාසය පිළිබඳව බොහෝ දෙනෙක් නොදනී.

මාකලන්දාවගේ දොන් බැස්ටියන් ද සිල්වාට සහ නාවල දොන් මනුවෙල් දෝන ඉසබෙලා හාමිනේට දාව 1857 ජනවාරි 13වනදා උපන් දරුවා ජෝන් ද සිල්වා විය. පිටකෝට්ටේ ක්‍රිස්තියානි පාසලින් මූලිකඅධ්‍යාපනය ලැබූ ඔහු පසුව කොළඹ ඇකඩමියට ඇතුළුව වී උසස් අධ්‍යාපනය හැදෑරීය. ඉන්පසු සාන්ත ජෝන්විද්‍යාලයේත්, වෙස්ලි විද්‍යාලයේත් ඉංග්‍රීසි ගුරුවරයෙකුලෙස කටයුතු කරඇත. ගුරු වෘත්තියේ යෙදී සිටියදීම පුවත්පත්, සඟරා ආදියට ලිපි ලිවීම සිරිතක් කරගත් ඔහු ඒ තුළින්ජාත්‍යාලය සහ මවුබිමේ වටිනාකම කෙරෙහි ජනතා මනස අවදිකරවීමට කටයුතු කළේය. මේ අතරතුර නීතිය හැදෑරූ ඔහු පසුව නීතිඥයෙකු වශයෙන් කටයුතු ආරම්භ කළේ සාහිත්‍ය හා ලේඛන කලාවට මූලිකත්වය දෙමිනි.

පිටකොටුවේ පිහිටි ෆ්ලවර්හෝල් නාට්‍ය ශාලාවේ දී එවකට නූර්ති නාට්‍යකරුවෙක් ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි සී. දොන් බස්තියන්ගේ නාට්‍යක් නැරඹීමෙන් නූර්ති කලාව කෙරෙහි ඇති වූ ගෞරවය නිසා නූර්ති නාට්‍ය කෙරෙහි ජෝන් ද සිල්වා නැඹුරු විය. 1885 දී සීමාසහිත ලංකා දේශීය නාට්‍ය සමාගම (Ceylon Oriental Dramatic Company Limited) නාට්‍ය සංගමය පිහිටුවන ලදී. ඒ තුළින් “නලරාජ චරිතය, රාමායණය, සීතාහරණය, දස්කොන් හා පරංගි හටන” නිර්මාණය විය. කාලයාගේ ඇවෑමෙන් මෙම නාට්‍ය සමාගමේ ක්‍රියාකාරිත්වය හීනවීම නිසා ඔහු විසින් 1902 දී “සිංහල ආර්ය සුබෝධ නාට්‍ය සභාව” ආරම්භ කරන ලදී. 1905 දී නීතිඥ ජෝන් ද සිල්වා විසින් නිෂ්පාදිත සිරිසඟබෝ නාට්‍යයට සංගීතය සපයන ලද්දේ විශ්වනාත් ලෞජි විසිනි. එම නාට්‍යයේ එන “දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා” යන ගීතය වර්තමානයේ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් විසින් ද, විශාරද නන්දා මාලනිය විසින් ද ගයා ඇති අතර මෙම ගීතය එදා සිට අද දක්වා අවුරුදු 110කට වැඩි කාලයක් ජනාදරයට පත්ව ඇත.

සිරිසඟබෝ චරිතය, ශ්‍රී වික්‍රම රාජසිංහ ඇතුළු නාට්‍ය ගණනාවක් මෙම සංගමය තුළින් බිහිවිය. මෙම නාට්‍ය සංගමයේකටයුතු හීනවන විට 1913 දී “විජය රංග සභාව” පිහිටුවන ලදී. ඒ තුළින් “දේවානම්පියතිස්ස, අලකේශ්වර” ඇතුළු නාට්‍ය කිහියක්නිෂ්පාදනය විය. පසුව විජය රංග සභාව යන නම වෙනස් කර “ශ්‍රී ලංකා නාට්‍ය සභාව” යන නමින්කටයුතු කළහ. මෙම නාට්‍ය සභාව මඟින් “විදුර ජාතකය, කැප්පෙටිපොළ, දුටුගැමුණු චරිතය සහ කුස ජාතකය” නිෂ්පාදනය කරන ලදී. වර්තමානයේ නාට්‍යකරුවන් මුහුණපාන ගැටලු මෙන්ම එකලද ජෝන් ද සිල්වාට නාට්‍ය ක්ෂේත්‍රයේ නොයෙකුත් දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදුවිය.

රැප් සංගීතය මෑත කාලයේ දී ලෝකයේ බිහිවූ දෙයක් බව බොහෝ දෙනාගේ මතයයි.එම මතය බිඳ දැමීමට ජෝන් ද සිල්වා විසින් අවුරුදු 110කට පෙර නිෂ්පාදනය කළ සිරිසඟබෝ සහ ශ්‍රී වික්‍රම යන නාට්‍යවල අඩංගු ගීත ත්‍රිත්වයකින් උපුටා දක්වමි. සංඝබෝධි කුමරු (සිරිසඟබෝ) ධර්මිෂ්ඨව රාජ්‍ය පාලනය කරගෙන යෑම නිසා අනුපිළිවෙලින් රජකම ලබාගැනීම කල්යෑම තුළ නොසන්සුන්වන ගෝඨාභය කුමරු ඔහුගේ කෝපය ප්‍රකාශ කළආකාරය සිරිසඟබෝ නාට්‍යයේ මෙම ගීතයෙන් පැහැදිලි වේ.

සිරි සංඝබෝධිමාලිගාවේදී මා දැක ප්‍රාණේ හානී වෙන්ට බැට දෙම්//

අල්ලා බන්දා රැන්දා බින්දා උන්දෑ කොන්දෑ ලාම් සින්දා

සැන්දෑ කාලේ මාලිගාවේ ඉන්වා සොයා

මේ ගීතය භාතිය සංතුෂ් විසින් රැෆ් ශෛලියට ගායනාකර ඇත්තේ සංගීතයේ සුළු සුළු වෙනස්කම් ඇතිකර පමණි. එමෙන්ම ශ්‍රී වික්‍රම නාට්‍යයේ ද මෙවන් ගීතයක්ඇත. ඇහැල්පොළඅධිකාරම් විසින් සබරගමුවේ කෝලාහලමැඩපවත්වා බදු එකතු කර පැමිණෙන බව සඳහන් කරමින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට යැවූ ලිපිය මොල්ලිගොඩ විසින් චරපුරුෂයින් යොදා රැගෙන වෙනස් කර රජු කෝපවන ආකාරයට ලියා රජුවෙත යැවීම පිළිබඳ කියවෙන ගීතයත් ලිපිය දැකීමෙන් ශ්‍රී වික්‍රම රජු කෝපයට පත්ව තම අදහස ප්‍රකාශ කරන ගීතය තවත් උදාහරණකි.

මෙම ගීතවල සංගීතයට වඩා සුළු සුළු වෙනස්කම් වර්තමාන රැෆ් සංගීතයේ ඇත. අවුරුදු 110ට පෙරමෙම ගීතවලට සංගීත සපයා ඇත්තේ විශ්වනාත් ලෞජි විසිනි. මෙම ගීත වර්තමානයේ ජනතාව අතරට බහුලව පැමිණියේ නම් රැෆ් සංගීතයක් අතීතයේ මේ රටේ තිබුණ බවට මතක් කළ දිය යුතු නොවනු ඇත.

චතුර කථිකයෙකු වූ එතුමා ජාත්‍යානුරාගය හා දේශීයත්වය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළ අයෙකි. තම නාට්‍ය දර්ශනවල විවේක කාලයේ දී වේදිකාවට නැගි ඔහු නාට්‍ය පිළිබඳ තොරතුරු බිඳක් පවසන අතරතුර ජාත්‍යානුරාගය සහ දේශීයත්වය පිළිබඳ අදහස ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරන ලද්දේ ඉතා සූක්ෂම ලෙසින්ය. එතුමාගේ සියලු නාට්‍ය සියලුම රසයන්ගෙන් යුක්තය. සෑම නාට්‍යයකම හාස්‍ය යොදාගෙන ඇත. උදාහරණ වශයෙන් සිරිසඟබෝ නාට්‍යයේ බම්මන්නාගේ චරිතයත්, ශ්‍රී වික්‍රම නාට්‍යයේ ඉලංගෙයි මොහොට්ටාලගේ චරිතයත් හුවා දැක්විය හැකිය. ඔහු හාස්‍ය යොදාගනු ලැබුවේ විඩාවට පත්වන ප්‍රේක්ෂකයා ඇද බැඳ තබාගැනීමේ අදහසින් හා පාලක සමාජයට ප්‍රබලව දියයුතු පණිවුඩ හාස්‍ය මාර්ගයෙන් උපාහාසාත්මකව ඉදිරිපත් කිරීමටයි.

සිංහල සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමට මහත් වෙහෙසක් දැරූ එතුමා නාට්‍යකරුවෙකු, කවියෙකු, කථිකයෙකු සහ ලේඛකයෙකු වශයෙන් ජනප්‍රියත්වයට පත්ව සිටි අයෙකි. 1880 දී විවාහපත් වූ එතුමාට එක් දියණියක් සහ පුතුන් දෙදෙනෙක් සිටි අතර බිරිඳගේ අකල් මරණය නිසා දෙවැනි විවාහය කරගන්නා ලදී. එම විවාහයෙන් එක් දියණියක් ලැබූ අතර එම බිරිඳ ද අකල් මරණයට පත්වීමෙන් තෙවැනි විවාහය කරගත් ඔහුට එම විවාහයෙන් දියණියන් දෙදෙනෙක් ලැබුණි. රටට, ජනතාවට මෙන්ම කලාවට ආදරය කළ සහ සුවිශාල සේවයක් කළ නීතිඥ ජෝන් ද සිල්වා මහතා 1922 ජනවාරි 28 වන දින අභාවප්‍රාප්ත විය. ජනවාරි මාසයේම ඉපිද ජනවාරි මාසයේම මියයෑම විශේෂ සිදුවීමකි. එතුමාගේ මරණය පිළිබඳ “සිංහල ජාතිය පුවත් පතේ” පළවූයේ මෙලෙසිනි. “ජාතිහිතෛෂී, සද්ගුණවත්, නීතිඥ ජෝන් ද සිල්වා මහතාගේ මරණයෙන් ලක්දිවට සිදුවූ හානිය ඉවසිය නොහැක්කකි.

ජෝන් ද සිල්වා මහතා ජාතියේ උතුම් ගුණ ධර්ම හා චාරිත්‍ර වාරිත්‍ර උද්දීපනය කළ වීර පුරුෂයෙකි. අපේ භාෂාවෙන් පැරනි මුතුන්මිත්තන්ගේ පරාක්‍රමාන්විත භාවයත් මතක නැතිකර යුරෝපීය වේශධාරී බවට පැමිණ ගෙන ද, සිංහලයින්ගේ ඇස ඇරෙවු වීර පුරුෂයා ජෝන් ද සිල්වා මහතානෝය. පූර්වාදේශීය භාෂා දැනඋගත් මේ නීතිඥ මහතා ස්වකීය තනතුරේ වැඩගැනම කාලය ගතකළේ නම් සෑහෙන ධනවතෙක් බවට පත්වෙන්නට ඉඩ තිබුණේය. පුද්ගලික දියුණුවට වඩා ජාතියේත් ආගමේත් රටේත් අභිවෘද්ධිය සැලසූ මේ සද්ගුණවත් පඬිතුමා බලවත් පරිශ්‍රමයෙන් හා අධික වියදමෙන් නාට්‍ය කීපයක් සම්පාදනය කොට ධර්මශාස්ත්‍ර නූගතුන් තුළ පවා අපේ උතුම් ආගම කෙරෙහිත්, ජාතිය කෙරෙහිත් ඇල්මක් ඇති කරවූවේය.

 එතුමාගේ නාටක ආදී ප්‍රබන්ධ වලින් රටට ලැබුණු ප්‍රයෝජනය සීමා කොට කිව නොහැකිය. ජෝන් ද සිල්වා මහතා අමද්‍යප කටයුතුවලදී බලවත් පරිශ්‍රමයකින් වැඩ කළේය. ධර්මයත්, ශාස්ත්‍රයත් හ සල වූ හේ මුළු ජීවිත කාලයේම පරාර්ථ චර්යාවේ යෙදුණු බව නොමසුරුව කියමු. ජෝන් ද සිල්වා පුරුෂයාණන්ගේ කුණු සිරුරු නොමැතත් එතුමාගේ කීර්ති නාමය සිංහල ජාතිය පවත්නා තුරුම පවතී. ලක්දිව කාලිදාස නාමධාරී, අවංක, ජාතිහිතෛෂී ජෝන් ද සිල්වා නීතිඥතුමන් සිහිපත් කිරීම කළගුණදත් ජනතාවගේ යුතුකමකි.”

රුවන් දනන්සූරිය

නව අදහස දක්වන්න