සිවුර ද නීතිය ද | දිනමිණ

සිවුර ද නීතිය ද

බොදු බල සේනා සංවිධානයේ මහා ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සඳහා එක නීතියකුත්; රටේ සාමාන්‍ය පුරවැසියන් සඳහා තවත් නීතියකුත් පැවැතිය හැකි ද? අප දන්නා පරිදි උසාවියක කටයුතුවලට බාධා ඇති කරන තැනැත්තකු නවතින්නේ කූඩුවේ ය. උසාවි භූමිය අසලින් නළාව නාද කරගෙන වාහනයක් පැදවීම පවා නීතියෙන් තහනම් ය. නඩුවක් විභාග වන අතර ජංගම දුරකථනයක් නාද වීම නිසා එහි හිමිකරුවාට දඩකන්නට වූ සිදුවීමක් අපට මතක ය. නීතිය සියල්ලට ඉහළින් පවතින අතර ඊට අභියෝග කළ හැකි තැනැත්තකු නැති බව අපගේ වැටහීම ය.

තත්ත්වය මෙසේ වුව පෙ‍ෙර්දා හෝමාගම උසාවියේ දී සිදු වූයේ වෙනත් දෙයකි. පුවත්පත් වාර්තා සඳහන් කරන පරිදි ඥානසාර හිමියන් උසාවි කටයුතුවලට බාධා කොට, රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කොට, උසාවිය තුළ දීර්ඝ දේශනයක් ද පවත්වා ඉන් පිට වී ‍ෙගාස් තිබේ. ඒ හැරෙන්නට මග දී මුණගැසුණු සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට ද බැණ වැදී තිබේ. මේ දර්ශන පෙළ විසින් සිහිපත් කරනු ලබන්නේ තමිල්නාඩුවේ ක්‍රියාදාම චිත්‍රපටවල වීරයාගේ චරිතය යි. එම චරිත ද පොලිස් නිලධාරීන්ට පහර දෙයි. උසාවිවල දී යකා නටයි‍. එහෙත් ඒ චිත්‍රපටවලදී ය. ඉන්දීය පොලීසියට අත තැබුවහොත් ඔහුට යහතින් සිටින්නට ලැබෙන්නේ නැත. ඉන්දීය උසාවියක දී යකා නැටුවහොත් ඔහුට උපරිම දඬුවම් විඳින්නට සිදු වනු ඇත.

නීතිය අතට ගෙන පුරවැසියන් කටයුතු කරන්නට යෑම ශ්‍රී ලංකාවේ දකින්නට ලැබෙන නරක පුරුද්දකි. මේ තත්ත්වය ආරම්භ වූයේ දේශපාලකයන් නීතියට බලපෑම් කරන්නට පටන් ගත් දා සිට ය. දේශපාලකයා පළමුව තම හෙංචයියන් බේරා ගැනීම සඳහා පොලීසියට කඩා වැදුණේය. මෙබඳු එක් දේශපාලකයෙක් පොලිස් ස්ථානාධිපතිගේ පුටුවේ වාඩි වී තමන්ගේ කටයුතු අවසන් කරගෙන පසු ව පිට වී ගි‍ෙය් ය. දේශපාලන හයිය ඇති භික්ෂුන්වහන්සේ ද අතැම් විට මෙබඳු චණ්ඩි පාට් ඇට් කළහ. හෝමාගම උසාවියේ පෙරේදා සිදුවන්නට ඇත්තේද එවැන්නකි. බොදු බල සංවිධානය මීට පෙර ක්‍රියාත්මක වූයේ රටේ ඉහළ ම තැන්වල ආශීර්වාදය මැද ය.

බොදු බල සංවිධානයේ හිමිවරුන් මීට පෙර ද රාජ්‍ය ආයතනවලට කඩා වැදී නිලධාරීන්ට තර්ජනය කොට තම අභිප්‍රායයන් සාර්ථක කර ගැනීම සඳහා ක්‍රියා කර තිබේ. ජාතිය මුල් කොට පුද්ගලයන්ට අපහාස කළ අවස්ථා ද, ආගම මුල්කොට පුද්ගලයන්ට හිරිහැර කළ අවස්ථා ද තිබේ. මීට පෙර වූ එම සිද්ධීන් ගැන නිසි පරීක්ෂණ සිදු වී නැත. මේ සිද්ධි හමුවේ අගතියට පත් පාර්ශ්වවලට යුක්තිය ඉටු වූ බවක් ද පෙනෙන්නට නැත. පෙරේදා සිද්ධියේ දී ද සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැණ වැදී ඇත. අපහාස ප්‍රකාශ සිදු කර ඇත. එක්නැලිගොඩ මහත්මිය දීර්ඝ කාලයක් තිස්සේ ම යුක්තියක් අපේක්ෂාවෙන් සිටින අහිංසක කාන්තාවකි. ඇගේ සැමියා අතුරුදහන් වී වසර ගණනාවක් ගෙවී ගොසිනි.

ප්‍රදීප් එක්නැලිගොඩ නඩුව දැන් විභාග වන අතර ඔහුගේ අතුරුදහන් වීමට හෝ ඝාතනය කිරීමට හෝ සම්බන්ධ යැයි සැක පිට බුද්ධි අංශ නිලධාරීහු කිහිප දෙනෙක් අත්අඩංගුවේ පසු වෙති. අත්අඩංගුවට ගැනීම හා රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරීම සිදු ව ඇත්තේ නීතියේ ප්‍රතිපාදනවලට අනුව ය. බොදු බල සංවිධානයේ මතය වී ඇත්තේ රණවිරුවන් අත්අඩංගුවට ගැනීම වැරැදි බව ය. මේ සැකකරුවන් වහාම නිදහස් කරන්නැ’යි බොදු බල සේනා සංවිධානය ඉල්ලා සිටී. එහි අර්ථය වන්නේ හමුදා නිලධාරීන් අහිංසක පුරවැසියන් මරා දැමීම ගැන පරීක්ෂණ නොපැවැත්විය යුතු බව ය. ඒවා ගැන නඩු විභාග පැවැත්වීම ද සාවද්‍ය බව ය. එය පිළිගන්නේ නම්; රටකට නීතියක් අවශ්‍ය වන්නේ නැත.

ත්‍රස්තවාදයෙන් රට මුදාගත් රණවිරුවන් කෙරෙහි විශාල ගෞරවයක් ජනතාව තුළ පවතී. රජය කටයුතු කරන්නේ ද එම ‍ෙගෟරවය තවදුරටත් තහවුරු වන අන්දමින් ය. ත්‍රස්තවාදයට එරෙහි සටනට නායකත්වය දුන් සරත් ෆොන්සේකා මහතාට හමුදා සේවයේ ඉහළම තනතුර “ෆීල්ඩ් මාෂල්” තත්ත්වය ලබාදුන්නේ ද වත්මන් ආණ්ඩුව ය. එහෙත් පසුගිය රාජපක්ෂ ආණ්ඩුව සරත් ෆොන්සේකා මහතා හිරගෙදරට යවනවිට මොන සේනා සංවිධානයක්වත් ඊට එරෙහිව නැඟී සිටි බවක් අපට මතක නැත. ඥානසාර හාමුදුරුවන් එදා මේ රටේ වැඩසිටියේ දැ’යි මතකයක් ද අපට නැත. කලින්-කලට පලින්-පල කියන්නා සේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට රණවිරුවන් සිහිපත් වන්නේ මේ දැන් ය.

ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් ලෙස හඳුන්වන අතර, රටේ සෑම කටයුත්තකදීම භික්ෂූන් වහන්සේට ප්‍රමුඛතාව ද ගෞරවය ද පුද කරනු ලැබේ. එය අපේ සංස්කෘතික උරුමයක් මිස නීතියක් නො වේ. මොනවා වුණත් සිවුරට ගරුකළ යුතුය යන්න අපේ මින්සුන් තුළ ඇති පොදු ගතියකි. මේ ගතියට මුවාවී ඇතැම් භික්ෂූන් බුද්ධ ශාසනයට නොගැළපෙන අවිචාරී ක්‍රියාවල යෙදෙන බව මහානායක හිමිවරුන් ද පෙන්වා දී ඇත. ඇතැම් භික්ෂූහු රටේ බරපතළ අපරාධවලට සම්බන්ධ වෙති. ඇතැම් භික්ෂූහු නීතියට බලපෑම් කරති. තවත් භික්ෂූහු ජාවරම්වල යෙදෙති. ආගමත් - ජාතියත් රැකගැනීමට නම් මේ දුෂ්ක්‍රියා වළක්වන බෞද්ධ සංවිධාන බිහිවිය යුතු ය. එහෙත් දැන් සිදුවී ඇත්තේ වෙනත් දෙයකි.

මේ දිනවල සංවාදයට ලක්වී ඇති භික්ෂු කතිකාවත පිළිබඳ පනත මහා නාහිමිවරුන්ගේ ඉල්ලීමක් මත සකස්වූවක් බව සඳහන් වී තිබේ. ඉන් අදහස් වන්නේ අපේ භික්ෂු සමාජය මීට වඩා පිරිසුදු වියයුතු බව හා යහපත් විය යුතු බව මහානාහිමිවරුන් ද පිළිගන්නා බවකි. බෞද්ධ භික්ෂුවක් සතු විය යුතු විනය හා කරුණාව අද වැඩසිටින ඇතැම් භික්ෂුවක් ළඟ නැත. අහිංසක කාන්තාවකට ප්‍රසිද්ධියේ තර්ජනය කරන හා පරුෂ වචනයෙන් බැණවදින භික්ෂූන් මීට‍ පෙර අපේ සමාජයේ වැඩ සිටියේ නැත. ශාසනය කොතෙක්දුරකට පිරිහී ඇත්ද යන්න අද සිදුවන බොහෝ දෙයින් පැහැදිලි වනු ඇත.

ආගමත් දේශපාලනයත් පටලවාගත්විට බොහෝ ගැටුම් ඇතිවීමට පුළුවන. ප්‍රදීප් එක්නැලිගොඩට සත්‍යය ලෙස ම සිදුවූයේ කුමක්දැ’යි සමාජය දැනගන්නවාට අකැමැති දේශපාලකයෝ සිටිති. එම දේශපාලකයන්ගේ ආශිර්වාදය යටතේ ක්‍රියාත්මක වන විවිධ සංවිධාන අදාළ නඩු විභාගය කඩාකප්පල් කරන්නට කටයුතු කරගෙන යන බවත් පෙනෙන්නට තිබේ. පෙරේදා හෝමාගම උසාවියේදී ඇති වූ සිද්ධිය ද එම ක්‍රියාදාමයේ තවත් පියවරක් ලෙස සලකන්නට පුළුවන. මෙබඳු අවස්ථාවලදී වඩාත් වැදගත් වන්නේ නීතිය යි. නීතිය අකුරට ම ක්‍රියාත්මක වීම ගැන කිසිවකු දොස් නඟන්නේ නැත.

නව අදහස දක්වන්න