ස්වාධිපත්‍යය ආරක්ෂා කරමින් ජාත්‍යන්තර සබඳතා පුළුල් කරනවා | දිනමිණ

ස්වාධිපත්‍යය ආරක්ෂා කරමින් ජාත්‍යන්තර සබඳතා පුළුල් කරනවා

ස්වර්ණා විජේකෝන්
චමීර ඇල්ලදෙණිය
සුභාෂිණී සේනානායක

රටේ ස්වාධිපත්‍යය ආරක්ෂා කරමින් ජාත්‍යන්තර සබඳතා පුළුල් කිරීමට වත්මන් රජය කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (26) අවධාරණය කළේය.

පසුගිය රජය ‍ගෙනගිය ප්‍රතිගාමී වැඩපිළිවෙළ නිසා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ සිරවී සිටි බවත් අද වන විට අපගේ රට ලෝකයේ කොටසක් බවට පත්ව ඇති බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ සභාව කල් තබන අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.

කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (26) රැස්විය. නිවේදන, ලිපි ලේඛන හා මහජන පෙත්සම් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සභා‍වේ කටයුතු ආරම්භ විය.

සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කළ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ ද කීය.

එජාප විධායක මණ්ඩලයේ සාමාජිකයන් තානාපති සේවයට පත්කර තිබෙනවා. මේ රජය ජනතාව රවටා තිබෙනවා. විදේශ සේවාවේ බරපතළ තත්ත්වය සොයා බැලිය යුතුයි. ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර ආර්ථික තත්ත්වය සැලකිල්ලටගත යුතුයි. අත්සන් කළ ගිවිසුම් 10 තීන්දු වන්නේ අපේ දේශපාලන හා ආර්ථික ස්ථාවරභාවය මතයි. පිටරට සිදුකරන පරීක්ෂණ ගැන විදේශ ඇමැතිවරයාගේ මතය කුමක්ද? ජනාධිපතිවරයා පිටරටින් කිසිවකු ගෙන එන්නේ නැහැ කියනවා. මේ පරස්පර ප්‍රකාශ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. පරස්පර විරෝධී ප්‍රකාශ කිරීමෙන් රජයත් විදේශ අමාත්‍යාංශයත් වැළකී බාල්දුවන රුපියල ගොඩනැ‍ඟීමේ ක්‍රමයක් සොයා ගත යුතුයි.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා (එජනිස)-

මේ ආර්ථික ගිවිසුම් නිසා ලංකාවේ ආර්ථික ප්‍රගතිය යම් ප්‍රක්ෂේපනයක් ලබාදිය හැකිද?

නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෙක්කලනාදන් මහතා මුලසුනට පැමිණියේය.

නානායක්කාර මහතා-

මේ යෝජනාවලට ඇතුළත් ‍වන කරුණු කාරණාවලට ලැබෙන්නේ මොනවාද? වෘත්තීය සේවා අංශ ගැන යෝජනාවක් එහි අතුළත් නොවීම ගැන අප සතුටු වෙනවා. ඉන්දීය වෘත්තීයවේදීන් මෙරට පැමි‍ණීමෙන් එම ක්ෂේත්‍ර පහත වැටේවි කියා මෙරට වෘත්තීයවේදීන් සැක පහළ කරනවා. අපි විශ්වාස කරනවා ඔබතුමාල අත්සන් කරන්නේ අපි දුටු සංදේශයේ ඇතුළත් කරුණුයි කියා. අත්සන් කිරීමට පෙර එහි කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සුදුසුයි. විදේශ ඇමැති අත්සන් කළ ගිවිසුමයි ජනාධිපතිතුමා කරන ප්‍රකාශයි අතර පරස්පරතා තිබෙනවා. මෙය පාර්ලිමේන්තුවටයි බලපාන්නේ. සිරිසේන ජනාධිපතිවරයා ජනතාව දෙස හැරී සිටීම ගැන අපට සතුටුයි. සන්ධාන ජනවරම අනුව එය කළ යුතුයි. ජිනීවා ගිහින් ඇති වූ එකඟත්වය ඉවත්කර ගන්න කියා විදේශ අමාත්‍යාංශයට අපි යෝජනා කරනවා.

විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා-

ශ්‍රී ලංකාව දියුණුවන වෙළෙඳපොළක්. අපේ සෘජු විදේශ ආයෝජන විවිධාංගීකරණය කළ යුතුයි. ශ්‍රී ලංකාවට තිබෙන සෘජු විදේශ ආයෝජන වැඩි කිරීම හොඳම ක්‍රමයයි. ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිළිව ප්‍රකාශකර තිබෙනවා, ආයෝජනය පිළිබඳ. 2020 දී ඒ ඉලක්කවලට යන්න පුළුවන්. අප ආයෝජනයන් වැඩි කළ යුතුයි. ආයෝජන අවස්ථාවල දී අප සිටින්නේ කලාපයේ අනෙක් රටවලට පහළින්. ආයෝජන විවිධාංගීකරණය මඟින් අපගේ ඉලක්ක ලබාගන්නට හැකියි. පසුගිය ආණ්ඩුව ආර්ථිකය විශාල අර්බුදයකට ලක් කළා. 2009 සිට 2014 විරැකියාව ගත් විට අලුත් රැකියා අවස්ථා ඇති වී නෑ. යුද්ධය අවසන් වුවත් සෘජු ආයෝජන ඉතා අඩු මට්ටමක පවතින්නේ.

අද ශ්‍රී ලංකාව දියුණුවන වෙළෙඳපොළක්. එය වැඩි කරන්නට තරගකාරීත්වය අවශ්‍යයි. බුද්ධිමත්ව වැඩකළ යුතුයි. අභ්‍යන්තර හා බාහිර ප්‍රශ්න තිබෙන අවස්ථාවක ආයෝජන වැඩි කරන්නේ කොහොමද කියා සිතිය යුතුයි. ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුතුයි. ඒ නිසා ශ්‍රී ලංකාවට තිබෙන සෘජු විදේශ ආයෝජන වැඩි කිරීම හොඳම ක්‍රමයයි. අඩු ඵලදායිතාවක් තිබෙන වැවිලි කර්මාන්තයට වඩා ඉහළ නිෂ්පාදන ආර්ථිකයකට යා යුතුයි. තරගකාරීත්වය තුළින් රටට රැකියා සහ ආර්ථික සංවර්ධනය ළඟාකර ගත හැකියි. දැන් ආයෝජකයන් සමඟ සබඳතා වැඩිකර තිබෙනවා. යුරෝපා සංගමයේ තනාපතිවරයා ජී. එස්. පී. ප්ලස් සහනය ලැබෙන බවට ප්‍රකාශකර තිබුණා. එමඟින් නැවත දහස් ගණනක් තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ඇති වෙනවා. පසුගිය වසර පහක දූෂිත කාලයේ ආයෝජකයන් ගෙන්වා ගැනීමට නොහැකි වුණා. පසුගිය කාලයේ සිදු කළ ගිවිසුම් ගැන ආපසු බැලිය යුතුයි.අපේ සෘජු විදේශ ආයෝජන විවිධාංගීකරණය කළ යුතුයි.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ලකී ජයවර්ධන මහතා මුලසුනට පැමිණියේය.

විශේෂ කාර්යභාර ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා-

අපේ රටේ ආදායම පුනරාවර්තන වියදම් පුරවන්න මදි. රටේ අනාගතය සුරක්ෂිත කිරීමට රැකියා ඇති කිරීමට සංවර්ධනය කිරීමට අපට මුදල් නැහැ. මෙය කනගාටුදායක තත්ත්වයක්. අසාර්ථක රජයක් ලෙස ඉන්නවාද නැතිනම් වෙනත් විකල්ප සොයා බලනවාද යන්න විමසිය යුතුයි. පසුගිය රජය සංවර්ධනයට ණය ගත්තා. දියුණුවන රටවල්වල ප්‍රතිපත්තිය ණය ලබාදීමයි. ණය ලබාගැනීමේ උපරිමයට අප පැමිණ තිබෙනවා. විදෙස් රටවල් දැන් ණය දෙන්නෙත් නැහැ. ගන්නත් බැහැ. එකම විකල්පය විදේශ ආයෝජනයි. චීනයෙන් ආධාර ගත්ත එක හරියට හරි. එහි යම් යම් අඩුපාඩු තිබුණා.

අපිත් කැබිනට් එකේ හිටියා. එදා කැබිනට් එකේ ඉදලා දැන් විවේචනය කරන්න බැහැ. ඒ අවස්ථාවේ චීනයෙන් තමයි ආධාර ගැනීමට තිබුණේ. ආර්ථික සමුළුවේ දී අපේ අසල්වැසියන් ගැන සෝරෝස් මහතා සතුටින් කතා කළා. මේ රටවල් සම්පූර්ණයෙන් විදේශ ආයෝජන මතයි දියුණු වුණේ. අද චීනයත් කඩා වැටෙමින් තිබෙනවා. රතු කොඩියෙන් ප්‍රාග්ධනය හොයන්න බැහැ. විදේශ ආයෝජනවලින් තමයි දැන් රතු කොඩි වනන්නේ. චීනයේ සිටි වාමාංශික වෘත්තීය සමිතිකාරයන් පිස්සන් කොටුවට යැවුවා. වසර දෙකක් පිස්සන් කොටුවේ හිටියම පිස්සෙක් වෙනවා. මුහුදට මුහුණලා තිබෙන රටවල් අත්වැල් බැඳගෙන සිටිනවා. අමෙරිකාවට වුවමනා විදිහට. විදේශ ආයෝජන අත්‍යාවශ්‍යයි. ඉරානය අමෙරිකාව අතර තිබූ ප්‍රශ්නය අපියි අමෙරිකාවයි තිබූ ප්‍රශ්න වගේද? අපි ඉරානය සමඟ කොතරම් සම්බන්ධ වී සිටියද? අපේ තේ ඇතුළු නිෂ්පාදන යැවුවා. අද අමෙරිකාව ඉරානය බලවත් සම්බන්ධයක් ගොඩනඟා තිබෙනවා. අපිටත් එය බලපානවා. මේ රජය ඉන්දියාව සමඟ කිසිදු තරහක් නැහැ. කිසිදු රටක් සමඟ තරහ නැහැ. ලෝකයේ කණ්ඩායම් සැදී තිබෙනවා. සුහද විදේශ ප්‍රතිපත්තියක් තුළින් රට ඉදිරියට ගෙන යාමයි කළ යුත්තේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා-

අධිකරණයේ ස්වාධීනත්වය ඇති කරන්නට ඕන. මේ රටේ නීතිය රජ කළ යුතුයි. මේ ආණ්ඩුව කිසිවිටෙක සෝමාරාමලා, බුද්ධරක්ඛිතලා ඇතිකරන්න ඉඩ දෙන්නේ නෑ. අධිකරණය ශක්තිමත් කළ යුතුයි. අපේ අධිකරණය අපි නැතිකර ගන්නේ නෑ. මේ රටේ නීතිය රජ කළ යුතුයි. කාටවත් නීතියෙන් පැනලා යන්න බෑ. උසාවියට ගරු කරන්න ඕන. අද අවාසනාවන්ත සිද්ධියක් වුණා. අද කණ්ඩායමක් ගිහින් උසාවිය ඉස්සරහට ඇවිත් උද්ඝෝෂණය කළා. ඥණසාර හිමියන් රිමාන්ඩ් භාරයට පත් කරන්න නියෝග දී තිබෙනවා. මම පොලිසියට කිවුවා, සම්පූර්ණ වාර්තාවක් මල්වත්තේ මහනායක හිමියන්ටත්, කෝට්ටේ මහනායක හිමියන්ටත් යවන්න කියලා. නීතිය නීතියමයි. අපි හැමෝම නීතියට යටත් විය යුතුයි. බෞද්ධයන් ලෙස අපට ලැජ්ජයි මේවා දකිනකොට. අපිට විනය පිටකයක් තිබෙනවා. නීතිය තියාගන්න ඕන. මේ ආණ්ඩුව කිසිවිටෙක සෝමාරාමලා, බුද්ධරක්ඛිතලා ඇති කරන්න ඉඩ දෙන්නේ නෑ.

අද චීනයේ මුදල්වල වටිනාකම තීරණය කරන්නේ, ලෝක වෙළෙඳපොළ තුළයි. එය තීරණය කරන්නේ චීනය නොවේ. දැන් ලෝකය එකතුවෙලා යන්නේ. ජනතාව ජනවරමක් දුන්නා. ප්‍රතිගාමී වැඩපිළිවෙළ නිසා අපි ලෝකයේ හිරවී සිටියා. අධිකරණයේ ස්වාධීනත්වය ඇති කරන්නට ඕන. ලෝකය අපි පිළිගන්නවා. අපිට එන්න කියන්නේ පිළිගන්න නිසයි. අපි ලෝකයේ කොටසක් බවට පත් වෙලා. විදේශ සේවා කටයුතු ප්‍රතිසංවිධාන කළ යුතුයි. අපි මේ රටේ ස්වාධිපත්‍ය නැති කරන්නේ නෑ. අපි කිවුවේ නෑ ජිනීවාවලට ශ්‍රී ලංකාවේ නීතිය උල්ලංඝනය කරන්න කියලා. මේ රටේ අධිකරණ ක්‍රමය ක්‍රියාත්මක වෙන්න ඕන.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා (එජනිස)

රටක විදේශ ප්‍රතිපත්ති , ජාතික ආරක්ෂාව හා ආර්ථිකය සමඟ බැඳී ති‍බිය යුතුයි. අපගේ රජය යටතේ ලෝකයේ රටවල් සමඟ නව සබඳතා‍ හා තානාපති සබඳතා ගොඩනඟමින් විදේශ ප්‍රතිපත්තිය මෙහෙය වූවා. ඒ වගේම අපගේ රජය යටතේ සාම්ප්‍රදායික මිතුරන් සමඟ සබඳතා පවත්වමින් සාම්ප්‍රදායික නොවන රටවල් සමඟත් සබඳතා ආරම්භ කළා. රටක විදේශ ප්‍රතිපත්තිය තවත් රටක අභිමතය පරිදි ක්‍රියාත්මක නොකළ යුතුයි. අපි ජනතාවගේ පැවැත්ම වෙනුවෙන් විදෙස් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වගේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වකවානුවේ දී තමයි විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් ප්‍රමාණයක් පැමිණියේ. යුද අපරාධ චෝදනා වෙනුවෙන් විදෙස් විනිසුරුවරුන් පත් කළ යුතු බව විදේශ අමාත්‍යාංශය ප්‍රකාශකර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියනවා එවැනි යුද අධිකරණයක් පවත්වන්නේ නැහැ කියා. මේ දෙකෙන් මොකක් ද ඇත්ත. අපි රටක් ලෙස චීනය වගේ රටවල් සමඟ සබඳතා තහවුරු විය යුතුයි. පසුගිය මැතිවරණ වකවානුවේ දී පෝට් සිටි ව්‍යාපෘතිය විවේචනය කළා. ඒවා දැන් හොඳ වෙලා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා (එජාප)-

ලෝකයේ සමාජවාදී කඳවුරු අද බිඳවැටිලා. සමාජවාදී, කොමියුනිස්වාදී මතවාද ගෙනයන පක්ෂ අද ඉන්නවා. මේ මතවාද දරන ජවිපෙ, කොමියුනිස්, සම සමාජ වැනි පක්ෂ එල්ලුනේ චන්ද්‍රිකාගේ සාරිපොටේ. මේ රටේ වාමාංශික මත දරන පක්ෂ හැමදාම කළේ ධනවාදී පක්ෂවලට කඩේ ගිය එකයි. අද චීනය රුසියාව වැනි රටවල් කොමියුනිස්ට්වාදය ගැන කතා කරන්නේ නැහැ. අද සීපා ගිවිසුම ගැන කතා කරනවා. එදා මහින්ද රාජපක්ෂ වකවානුවේ දී 2008 මන්මෝහන් සිං ලංකා‍වට අවේ සීපා ගිවිසුම අත්සන් කරන්නයි. නමුත් අත්සන් කරන්න බැරි වුණා. සීපා ගිවිසුම වැනි ගිවිසුම් අත්සන් කරලා අපගේ වෘත්තිකයන් පාවා දෙන්නට අපි සූදානම් නැහැ. අපිට අලුත් චින්තනයක් හා අලුත් රටක් අවශ්‍යයි.

මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර මහතා (එජනිස)-

පසුගිය කාලසීමාවේ දී මම දැඩි ලෙස රෝගාතුර වුණා. කතානායකවරයා ඇතුළු මේ ‍සභාවේ සියලුදෙනා මාගේ සුවපත්භාවය වෙනුවෙන් මැදිහත්වීම පිළිබඳ ස්තූතිවන්ත වෙනවා. මැදපෙරදිග අප්‍රිකාවේ හා ආසියාවේ ඇතැම් රටවල්වලට අද මොකද වෙලා තිබෙන්නේ. ලෝක ආර්ථික අභියෝගය තිබෙන්නේ ආසියාවේ. ලෝක ආර්ථික බලවතුන්ට අවශ්‍ය වන්නේ අප වැනි රටවල් ඩැහැ ගැනීමටයි. සීපා ගිවිසුම අත්සන් කරන්නේ නැහැ. ඒ වෙනුවට වෙන නමකින් ගිවිසුමක් එනවා. ඉන්දියාවේ අවශ්‍යතාව අනුව ජනවාරි 08වැනි දා ආණ්ඩුවක් පිහිටුවා. ඉන්දියාවේ අවශ්‍යතාවලට නැටවෙන ආණ්ඩුවක් බිහිකර ගැනීමයි ඉන්දියාවේ අපේක්ෂාව වුණේ.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා (එජාප)-

එදා රතුපස්වල කටුනායක උද්ඝෝෂණවලට පහර දුන්නා. වෙඩි තැබුවා. ඒ වාතාවරණය වෙනස් කරන්නයි වත්මන් ආණ්ඩුව බලයට පත් වුණේ. රට ආර්ථික, සංස්කෘතික හා සමාජීය වශයෙන් ගොඩනැංවීමේ වගකීම අපට තිබෙනවා. ඒකීය රාජ්‍යයක් තුළ අ‍පගේ රණවිරුවන් පාවාදෙන කිසි දෙයකට අපි එකඟ වන්නේ නැහැ. අපගේ රජය යටතේ විදේශ ප්‍රතිපත්තිය මෙහෙයවන්නේ රජ පුතුන්ට ලිබියාවට ගොස් හොරකම් පිළිබඳ පුහුණුව ලබා ගැනීමට, සීසෙල්වලට ගොස් ඩුබායිවල මුදල් සැඟවීම වෙනුවෙන් නොවෙයි. අපගේ රජය යටතේ විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන්නේ රටේ යහපතටයි. පසුගිය රජය යටතේ ක්‍රියාත්මක වූයේ පසුගාමී විදේශ ප්‍රතිපත්තියක්. රටක සංවර්ධනය වෙනුවෙන් පෝට් සිටි ව්‍යාපෘති අවශ්‍යයි. සමහර අය දේශප්‍රේමය හුවා දක්වමින් ජාතිවාදය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරනවා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා (ජවිපෙ)-

ආර්ථික ගිවිසුම් අත්සන් කළාට කමක් නැහැ. ඒවායින් අපේ රටේ ජනතාවට වෘත්තිකයන්ට හානි සිදු වෙන්න බැහැ. රටේ ජාතික අවශ්‍යතා පරදුවට තබා ගිවිසුම් අත්සන් කරනවාට අපි විරුද්ධයි. සමාජවාදී රටවල් පවා ආර්ථික ගිවිසුම් අත්සන්කර තිබෙනවා. අපි ඒවට එකඟයි. ආණ්ඩුවේ ඇමැතිවරු කොමිස් ගන්න නිසා තමයි ආයෝජන ගෙන එන්නේ. එය දැන් විදෙස් රටවල් දන්නවා.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී පෙරේරා මහතා-

රටක් ලෙස අපි රට දියුණු කරන අකාරයේ වැඩපිළිවෙළකට යා යුතුයි. අපි විදෙස් රටවල් සමඟ වැඩ කරන්නේ මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රතිපත්තිවලට නොවෙයි. අපි ඒ අයට අල්ලස් දෙන්නෙ නැහැ. අපි චීනය, ඉන්දියාව සමඟ වැඩ කරන්නට සූදානම්. සාම්පූර් බලාගාරය අපි නිසැකවම ආරම්භ කරනවා. ඒ තුළින් රටට අවශ්‍ය බලශක්තිය නිෂ්පාදනය කරනවා.

චීනය සමඟ කරන ගනුදෙනුවල දී විනිවිදභාවයක් යුතුවයි අපි වැඩ කරන්නේ. අපි චීනයට බැණල වැඩක් නැහැ. නොරොච්චෝලේ ඉදිකිරීමේ දී එය අසාර්ථක වුණේ චීනයේ වරදින් නෙවෙයි. ඔවුන් සමඟ වැඩ කළ මහින්ද රාජපක්ෂ දූෂිත පාලනයයි එයට වගකියන්න ඕන. පසුගිය රජය පසුගාමී හා නොසැලකිලිමත් ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළේ. කොපමණ කොමිස් ප්‍රමාණයක් ලැබෙනවාද යන්න පිළිබඳ ඔවුන් අවධානය යොමු කළේ. රටක් ලෙස ඉදිරියට යා යුත්තේ යහපාලන ප්‍රතිපත්ති මත පිහිටා සිටිමින් ශ්‍රී ලංකාවේ සිදු කරන ආයෝජන හොරකමින් හා දූෂණයෙන් තොරව සිදු කිරීමයි.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම ගමගේ මහතා (එජාප)-

තානාපති සේවයට ඇතුළත් කරන පුද්ගලයන්ට දේශපාලන දැනුමක් තිබිය යුතුයි. ජී එස් පී සහන අහිමි වුණේ පසුගිය ආණ්ඩුවේ වැරැදි ක්‍රියා පිළිවෙත නිසයි. අපි දැන් ඒ වැරැදි නිවැරැදිකර ගනිමින් සිටිනවා.

විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා-

විදේශ ආයෝජන එන්න නම් රජය පිළිබඳ විශ්වාසයක් අවශ්‍යයි. 2011 වසරේ දී ආයතන ගණනාවක් රජයට පවරා ගත්තා. ඒ වෙනුවෙන් කිසිදු වන්දියක් ඒ අයට දුන්නේ නැහැ. ඒ නිසා විශ්වාසය පිළිබඳ පළුදුවීම් සිදු වුණා. රටක් හැටියට අපට සදාචාර අයිතියක් නැහැ අනෙක් රටවලට අසත්‍ය කියන්න. ආර්ථික හා තාක්ෂණ සේවා ගිවිසුම මඟින් අපේ වෘත්තීයවේදීන්ට කිසිදු බලපෑමක් සිදු වෙන්නේ නැහැ. ඒ පිළිබඳ අනියත බියක් ඇතිකර ගන්න එපා. ලෝකයේ ඉන්න ප්‍රධාන ආයෝජකයන් අද ලංකාවට එනවා. ලෝකයේ සිටින ආර්ථික විශේෂඥයන් අද අප සමඟ කතා කරනවා.

(විවාදය අවසන් විය)

පාර්ලිමේන්තු‍ව අද (27) පස්වරු 1.00ට යළි රැස්වේ. 

 

නව අදහස දක්වන්න