දෙවෙනි ඔම්බුඩ්ස්මන් | දිනමිණ

දෙවෙනි ඔම්බුඩ්ස්මන්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉතා වැදගත් තීන්දුවක් ගෙන තිබේ. එනම්, විදේශ අවශ්‍යතා ඇති පුද්ගලයන්ගේ දුක්ගැනවිලි සොයා බැලීම සඳහා නව වැඩසටහනක් ආරම්භ කිරීමය. අගමැතිවරයාගේ තීරණයට අනුව පාර්ලිමේන්තු ඔම්බුඩ්ස්මන්වරයා යටතේ තවත් විශේෂ නිලධරයකු පත්කරනු ලැබේ. එම නිලධරයාගේ නිලරාජකාරිය වන්නේ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ගේ ඉල්ලීම් පිළිබඳව සලකා බලා ඒවාට විසැඳුම් ලබා දීමට ක්‍රියාකිරීමය. මෙය විශේෂ සහනයක් බව පෙනීයයි. විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් නොසලකා හැරීම දීර්ඝ කාලයක සිට සිදුවන්නක් බව මේ මොහොතේ මතක්කර දිය යුතුව තිබේ.

ලෝකයේ දියුණු රටවල ‍ගොඩනැගිලි ඉදිකිරීමේදී විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් පිළිබඳ සලකා බැලීම නීතියක් හා රීතියක් ලෙස පවත්වාගෙන යනු ලැබේ. රෝද පුටුවකින් යන පුද්ගලයකුට පඩිපෙළක් දිගේ ගමන් කිරීමට හැකියාවක් නැත. දියුණු රටවල් ඒ සඳහා ගොඩනැගිලි තුළම රෝද පුටුවට ගමන් කළ හැකි කුඩා තීරු සකස් කරයි. ගොඩනැගිලි ඇතුළත පමණක් නොව ඒවායෙහි ප්‍රවේශ මාර්ගවල ප්‍රවේශ දොරටුවල පවා මේ විශේෂ තීරු සකසා තිබේ. ඇතැම් පුස්තකාලවල ආබාධිත පුද්ගලයන් සඳහා වෙනම කියැවීමේ කුටි පවා ඉදිකර තිබේ.

ශ්‍රී ලංකාව තුළ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ගේ ගණන දහනව ලක්ෂයක් ලෙස ගණන් බලා තිබේ. මේ පිරිස නොසලකා හැරිය නොහැකිසේම ඔවුන් සතු දැනුම හා කුසලතා රටේ සංවර්ධනය සඳහා යොදාගත යුතුය. සෑම ආබාධිත පුද්ගලයකුම විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් ලෙස සැලැකිය නොහැකි වුව විශාල පිරිස විශේෂ වුවමනා ඇති අය වෙති. ඔවුන් සියලු දෙනාම රටේ දෛනික ක්‍රියාවලිය සමඟ සම්බන්ධකර ගැනීමත්, ඔවුන් ද සාමාන්‍ය ජනතාව ලෙස පිළිගැනීමත් දියුණු රටවල සාමාන්‍ය සම්ප්‍රදායයි. මෙය අප විසින් ද අනුගමනය කළ යුතුව තිබේ.

සාමාන්‍යයෙන් ජනතාවගේ ඉල්ලීම් ඉටුකර ගැනීම සඳහා එක්කෝ උද්ඝෝෂණ කළ යුතුය. නැතහොත් දේශපාලකයන් පසුපස ගොස් ඊට අදාළ කොන්දේසි සපුරාගත යුතුය. එහෙත් ජනතාව ගැන කල්පනා කරන දේශපාලකයන් ජනතාව උද්ඝෝෂණ කරන්නට පෙර ඔවුන්ගේ අවශ්‍ය හඳුනාගෙන ක්‍රියා කරනු ලැබේ. අගමැතිවරයා මෙහිදී සිදු කර ඇත්තේද එවන් කාර්යභාරයකි. විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ගේ සංවිධාන ගණනාවක් පවතී. එම සංවිධාන කියා සිටින්නේ අගමැතිවරයාගෙන ඇති තීන්දුව ගැන සිය කෘතඥතාව පළ කරන බවය.

ඔම්බුඩ්ස්මන්වරයා යන තනතුර අපේ පාර්ලිමේන්තුව තුළ ස්ථාපිත වන්නේ මහා බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුවය. ඔහුගේ රාජකාරිය වන්නේ රාජ්‍ය පාලනයට හා වෙනත් ක්ෂේත්‍රවලට අදාළව මහජනයාට ඇති දුක්ගැනවිලි ලබාගෙන ඒවා සම්බන්ධයෙන් ක්‍රියා කිරීමය. ඔම්බුඩ්ස්මන්වරයාට සැලැකිය යුතු පැමිණිලි සංඛ්‍යාවක් ලැබෙන අතර තනි පුද්ගලයකු වශයෙන් මේවා සම්බන්ධයෙන් ක්‍රියාකිරීම දුෂ්කර කටයුත්තක් බව අමුතුවෙන් කිවයුතු නැත. ඔහුගේ සහායකයකු ලෙසද දෙවන නිලධරයකු ලෙසද අලුත් තනතුර හැඳින්විය හැකිය. ඒ සමඟම විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් ඔහුට විශේෂ යමක් කිරීමේ හැකියාව පවතිනු ඇත.

අගමැතිවරයා සඳහන් කර ඇතිඅන්දමට රටේ දේශපාලකයන්ගෙන් වැඩි දෙනකුට විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ගෙන් ලිපි ලැබෙයි. මේ අයුරින් අගමැතිවරයාට දිනපතා මෙබඳු ඉල්ලීම් හා ලිපි ලැබෙන බවක් සඳහන් වී ඇත. එසේ ලිපි ලැබීමද ඉල්ලීම් ලැබීමද සාධාරණය. අනෙක් අතට මේ ලිපි හා ඉල්ලීම් මගින් පෙනීයන්නේ අදාළ සමාජවලට විසඳාගත යුතු ගැටලු සමුදායක් ඇති බවය.

ආබාධිත පුද්ගලයන් අතර උපාධිධාරීහු සිටිති. ආචාර්ය උපාධි ලබාගත් අයද සිටිති. මේ උගතුන් සම්බන්ධයෙන් රැකියා ලබාදීමේදී යුක්ති සහගත ක්‍රමයක් අනුගමනය කරන්නේ යැයි සිතිය නොහැකිය. විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුළත්කර ගැනීමේ දී ආබාධිත පුද්ගලයන් කෙරෙහි විශේෂ සැලැකිල්ලක් දක්වා ඊට සහන වැඩසටහනක් ක්‍රියාත්මක වන්නේ වුව රැකියා ලබා දීමේදී එබඳු ක්‍රමයක් ක්‍රියාත්මක වන්නේ නැත. එහෙත් හැකියාව අතින් මේ පුද්ගලයන් සාමාන්‍ය පුද්ගලයන් අභිභවා යන අවස්ථා එමට තිබේ. කලා සංගීත ආදී ක්ෂේත්‍ර ගත්තද විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ගේ හැකියාව ඉහළ මට්ටමක පවතී.

ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනයේදීද විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණාත්මක සැලැකිල්ලක් දක්වා ඇතැයි සිතිය නොහැකිය. එහෙත් දියුණු රටවල් එම අවශ්‍යතා සපිරීම සඳහා අයවැය ලේඛනයෙන්ම විශාල මුදලක් වෙන් කරයි. දියුණු වන රටකට එබඳු උපාය මාර්ග අවශ්‍ය වේ.

දැන් අපට දකින්නට ලැබෙන්නේ ජනතාවට ඇහුම්කන් දෙන හා ජනතාවගේ අවශ්‍යතා ගැන සොයා බලන ආණ්ඩුවකි. 2016 අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමේදීද ඒ බව තහවුරු විය. රජය මුලදී ගත් ඇතැම් තීන්දු ජනතාවගේ ඉල්ලීමට අනුව වෙනස් කරන්නට කැබිනට් මණ්ඩලය තීරණය කළේය. ඒ අනුව ජනතාවට තවත් සහන රැසක් ලැබුණු බව පෙනෙන්නට තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය හා මිනිස් නිදහස ගැන සැලැකිල්ල යොමු කරන ආණ්ඩුවක් හැමවිටම ජනතාවට කන්දීමට සූදානම්.

විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් පිළිබඳ සොයා බැලීමට ඔම්බුඩ්ස්මන්වරයා යටතේ වෙනම නිලධාරියකු පත්කිරීම ඉතා කාලෝචිත වැදගත් පියවරක් බව සඳහන් කළයුතුය. මෙයින් පැහැදිලි වන්නේ රජය රටේ සියලුම ජන කණ්ඩායම් කෙරෙහි යුක්ති සහගත ලෙස බලන්නට පෙළැඹි ඇති බවය. 

නව අදහස දක්වන්න