අතීතය සිහිනයක් පමණයි! | දිනමිණ

අතීතය සිහිනයක් පමණයි!

පසුගිය සතියේ අඹ ගහ යට ගිනියම් වුණේ නානසාර පුංචා හින්දයි. ‘සිංහ ලේ’ කියලා අලුත් ගැන්සියක් කඩාපාත්වෙලා තමන්ගෙ සටන් පාඨ ටික උස්සගෙන ගිහින් ඇති වග නානසාර පුංචට දැනුණේ ටිකක් පරක්කුවෙලයි. ඉස්සර ලේකම් පුංචලාගේ හයිය අරන් දාපු සද්ද ටික මතක් වුණාම නානසාර පුංචට ඇත්තටම ඇඬුණා. දැන් ලේකම් පුංචත් එක එක කොමිෂන් පස්සෙයි, පොලිසි පස්සෙයි ගිහින් හොඳටම හෙම්බත් වෙලා ඉන්නේ. තමන්ගෙ සහෝදර පුංචා අඹ ගහ යට පාලනේ කරට අරන් ලෝකෙටම සද්දෙ දාගෙන ඉඳිද්දී ලේකම් පුංච තරමේ ජගතෙක් අඹ ගහ යට ගම්මානය පුරාවට හිටියේ නෑ. එතකොට ඉතිං ලොකු පුංචා මොකද, ලේකම් පුංචා මොකද? මොන දහදුරා වැඩේ කරත් ලේකම් පුංචා බේරාගන්නා වග නානසාර පුංචා දන්නවා. ඉතිං නානසාර පුංචා පිරිත් කිය කියා ගිහින් කඩ සාප්පුවලට පහරදෙනවා. ඒවායෙ තියෙන බඩුමුට්ටු කොල්ලකනවා. ඒකට විරුද්ධව නීතිය හරස් වුණොත් ‘මේක රටට ආගමට දහමට කරන නිගාවක්’ කියන්න නානසාර පුංචගෙ වන්දිභට්ට පුංච‍ලා පැංචිලා තොගයක් ඉන්නවා.

“දැන් දැන් මේ පළාතේ පුංචලාට පැංචිලාට මාව අමතක වෙලා. මට හරි පාලුයි” නානසාර පුංචා තමන්ගෙ දුක කීවේ ගප්පි පුංචටයි.

“අයියෝ. එච්චර හිතන්න ඕන නෑ. අර නැලිගොඩ පුංචගෙ නඩුව අහන දාට ඒ උසාවිය ළඟට ගිහින් පුංචි වලියක් ඇදගන්න. එතකොට ඔය ඔක්කෝම කතා කරන්න ගන්නවා” ගප්පි පුංචා උපදෙස් දුන්නා.

නානසාර පුංචා උසාවිය ළඟට ගියා. කුරුමාණම් අල්ලමින් ඉඳලා එක්නැලිගොඩ පුංචගෙ පැංචි අල්ලගත්තා.

“තමුසෙ දැන ගන්නවා. බලු වේ... මට මේ උසාවි අරව මේවැ ඉන්න නඩුකාරයෝ කියන ඒවා වැඩක් නෑ.”

අඹ ගහ යට උසාවි බිමේ හයියෙන් වචනයක් කතා කරත් ඇතුළට දාන්න විනිසුරු පුංචලා වැඩකරනවා. එහෙව් තැනක කුණු හරුප දේශනා කරමින් උසාවියටත් අපහාස කරන මේ පුංචා කවුදැයි අවට රැස්වෙලා උන්නු පුංචලා කතා බහ කරන්න ගත්තා. ඔය අතරේ එතැනින් එහාට මෙහාට ගිය පෙරකදෝරු පුංචලාටත් මේ සද්දෙ ඇහුණා. ඒත් ජරා ගොඩවල් අවුස්සගෙන ඊට පස්සේ ගඳයි ගඳයි කියන්නේ මොකටදැයි සිතමින් මේ වදේ ඇහුණේ නැති විදිහටම අහක බලාගෙන ඒ අය යන්න ගියා. ඔය අතරේ නැලිගොඩ පුංචගෙ ඥාති පුංචලාට මේ වැඩේට සෑහෙන්න කේන්ති ගියා. තමන්ගේ ඥාති පුංචා අතුරුදහන් කරන්නට මේ බත් බැලයෝ නොසෑහෙන්න උදව් දුන්නු විත්තිය ඒ අයත් අඹ ගහ යට හැමෝමත් දන්නවා. ඉතිං මේ පුංචලා කේන්තියෙන්ම ගිහින් තමන්ගේ නීතිඥ පුංචලාට මේ අවනඩුව කීවා. ඊට පස්සේ ඒ හරහා විනිසුරු පුංචා ළඟට සිද්ධිය ගෙනිච්චා. ඉතිං ඊට පස්සේ විනිසුරු පුංචා මේ ගොන් පුංචාව අල්ලල ගේන්න කියලා පොලිස් පුංචලාට නියෝග කළා. කොහොමත් තමන්ගෙ බලාපොරොත්තුවේ ඉතුරු ටික ඉෂ්ඨ සිද්ධ කර ගැනීමට ඊට පහුවදා පොලිස් පුංචලා ළඟට නානසාර පුංචා ගියා. ඊට පස්සෙ කුදලාගෙන ගිහින් විනිසුරු පුංචා ළඟට දැම්මා.

“අනේ මාව ටික දවසකට ඇතුළට දාන්න. මට පොරක් වෙන්න. දැන් කවුරුත් මාව ගණන් ගන්නේ නෑ” නානසාර පුංචා අඬා වැටෙන්න වුණා. නානසාර පුංචාගේ ඉල්ලීමත්, කලින් දිනයේ උසාවි බිමේ දාපු චණ්ඩි පාට් එකයි දෙකම විනිසුරු පුංචාගේ ඔළුවේ හොල්මන් කරන්න ගත්තා. අවසානයේ විනිසුරු පුංචා තීරණය දැනුම් දුන්නා. දවස් 14 ට ඇතුළට දාන්න. නානසාර පුංචගෙ ඉහේ මලක් පිපුණා. කලින් සැලසුම් කරලා තිබුණු විදිහටම නානසාරගේ අසූචි වළඳන හිච්චි පිච්චි පුංචලා තොගයක් පොලිස් පුංචලා සමඟ ගැටුමක් ඇති කරගත්තා. ලොකු සද්දයක් දැම්මා. තාප්පවලට උඩින් පැන්නා. බල්ටි ගැහුවා. අතපය ගස්ස ගස්ස හිරි ඇරියා. ඔය සන්තෑසිය අතරේම නානසාර පුංචා වදෙන් පොරෙන් එළියට ඇවිත් තවත් සුනඛ කතාවක් කියලා ඇතුළට ගියා. ඒ අතරේ වටේට කැමරා අටවාගෙන ඉන්න මාධ්‍ය පුංචලාට නොසෑහෙන්න ස්තූති කළා.

“මොකද බන් වුණේ?” සෑහෙන වෙලාවකට පස්සේ රතු පුංචා, කොළ පුංචාගෙන් ඇහුවා.

“මොනව වෙන්නද, පිටපතේ තිබිච්චි විදිහටම නාට්‍ය ගලාගෙන ගලාගෙන යනවා. වේදිකාවෙ නෙවෙයි නිකම්ම නිකම් මහපොළොවේ?” කොළ පුංචා කීවා.

“ඒ කියන්නේ වීදි නාට්‍යයක්?” රතු පුංචා ඇහුවා.

“ඉස්සර නම් ඔය කැම්පස්වල කොලු කුරුටු පුංචලා අල්ලගෙන වීදි නාට්‍ය කණ්ඩායම් බුරුතු පිටින් හදාගෙන කරක් ගැහුවේ ඔහෙල තමයි. කෙහෙද ඉතිං ඔහෙලා ඒ කොලු කුරුටු පුංචලා තරහ කරගත්තනේ.?” කොළ පුංචා මතක් කළා.

“ඒක නම් ඉතිං එහෙමම තමයි..කරන්න දෙයක් නෑ. ඉතිහාසයේ දේවල් සිද්ධවෙන්නේ කලින් කියලා නෙවෙයි” රතු පුංචා සැර ටෝක් එකක් දුන්නා.

“එහෙනම් ඉතිං දැන්නම් කියන්න තියෙන්නේ ‘අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ ‘ කියලයි.

රතු පුංචා යාම්තමට සිංදුව මුමුණන්න ගත්තා. කොළ පුංචා අත්පුඩි ගහමින් තාලෙ ඇල්ලුවා. හැමදාමත් රතු පුංචලගේ වැඩවලදී කොළ පුංචා තාලෙ අල්ලලා දුන්නාද කියන එක ගැන අඹ ගහ යට පුංචලා පැංචිලා ආයෙම හිතන්න ගත්තා. කොහොම වුණත් අතීතය සිහිනයක් පමණයි..සැබෑ සුවඳක් නෑ....

හිච්චි බුවා

[email protected]

නව අදහස දක්වන්න