ඇත් දළ දවා හළු කළ කල | දිනමිණ

ඇත් දළ දවා හළු කළ කල

මගේ දුප්පත් පරිගණකය ඉදිරියේ අසුන් ගන්නා විට ම (2016 ජනවාරි 26 වැනිදා) ගෙවුණු 2012 වර්ෂයේ රේගුව විසින් අත්අඩංගුවට ගන්නා ලද අප්‍රිකානු ඇත්දළ තොගය විනාශ කිරීමේ පුවත ප්‍රධාන පුවතක් සේ ‍අපේ රූපවාහිනී නාලිකාවෝ නිවසේ සාලයට රැගෙන ආහ. ඉතින් මම ලිපිය ලියන්නට සැරසෙන හෝරාවේ මට වැඩියෙන් ම දැනෙන කාලීන මාතෘකාව ලිපියේ අන්තර්ගතය සේ තෝරා ගනිමි.

එක්දහස් අටසිය ගණන්වල සුදු ජාතිකයන් දිවයිනේ වැවිලි ආර්ථිකයක් බිහි කරන්නට පිඹුරුපත් සකසන යුගයේ එවකට සිටි විශාල වන අලි ගහනය පාලකයන්ට හිසරදයක් වී තිබිණි. හුදෙක් විනෝදය පිණිස අලි දඩයමේ යෙදුණු දඩයක්කාරයන්ට මරා දමන අලින් වෙනුවෙන් දීමනාවක් ගෙවන්නට ආණ්ඩුව කටයුතු කළේ එබැවිනි. එහෙත් අද වන විට ලෝකය එක්දහස් අටසිය ගණන්වලට වඩා ආකල්පමය වශයෙන් බෙහෙවින් වෙනස් වී තිබේ. එදා මරා දැමීම අනුමත කෙරුණු වන අලි ප්‍රජාව අද වන විට රැක ගත යුතු වඳ වී යන සත්ත්ව විශේෂයක් බවට පත් වී තිබේ. අසීමිත ලෙස ධනය ඉපයීමේ චේතනාවෙන් මිහිතලයේ දැවැන්තයන්ට වද දී උන්ගේ සාඩම්බර දිගු දළ කපා අලෙවි කිරීම අද තිරශ්චීන ව්‍යාපාරයක් සේ සැලකේ. ඇත් දළ ධනවත් නිවෙස් හා වලව් සරසන සැරසිල්ලක් ලෙස හෝ කාන්තා සිරුර හැඩ කරන ආභරණයක් සේ සැලකීම ශිෂ්ට ලෝකය අනුමත නො කරයි. ඇත්දළ ඇතුගේ සිරුර හැඩ කරන්නට ස්වභාව ධර්මයෙන් ලැබී ඇති සැරසිල්ලක් පමණි. ඒ වෙනුවෙන් ම ලෝකය වන සත්ත්ව හා වෘක්ෂලතා ජාත්‍යන්තර වෙ‍ළෙඳාම පිළිබඳ සම්මුතියක් (CITES) ඇති කර තිබේ. ශ්‍රී ලංකාව ද එහි සාමාජිකයෙකි. ඇත්දළ අලෙවිය ජාත්‍යන්තරව තහනම් කරන්නට හැකි වී ඇත්තේ මෙම සම්මුතිය යටතේ ය.

අප්‍රිකාවේ ගණ වනාන්තර ඇත්දළ ජාවාරම්කරුවන්ට හා වෙනත් වනසත්ත්ව හා වෘක්ෂලතා ජාවාරම් කරුවන්ට පාරාදීසයක් වී තිබේ. 2012 වර්ෂයේ එක් නිවාඩු දිනයක කෙන්යාවේ සිට මැද පෙරදිග බලා ගමන් කළ යාත්‍රාවකි. ජාවාරම්කරුවන් පෙනී සිටියේ ඉවත දමන පොලිතින් තොගයක් ගෙන යන පිරිසක් ලෙසිනි. එහෙත් ශ්‍රී ලංකා රේගුව සුපරීක්ෂාකාරී වූයේ ය. ඒ ඉවත දමන පොලිතින් නම් නො වේ. ලේ වැකුණු ඇත්දළ තොගයකි. එසේ මෙසේ තොගයක් ද නො වේ. එහි ලේ වැකි ඇත්දළ 359 ක් තිබිණි. බර ටොන් එකහමාරක් පමණ ය. වටිනාකම රුපියල්වලින් නම් කෝටි 40 ක් පමණ වෙයි. 2012 අත්අඩංගුවට ගත් මේ ඇත්දළ තොගය CITES නීතිය අනුව විනාශ කළ යුතු ය. එහෙත් කිසිවක් සිදු නො වී අවුරුදු හතරකට ආසන්න කාලයක් එකියන තොගය රේගු භාරයේ තිබුණේ ය.

මෙකියන ලේ වැකි ඇත්දළ තොගය ජාත්‍යන්තර නීතියට අනුව විනාශ කරන්නට රජය තීරණය කළ විට බොහෝ දෙනා කලබල වූහ. බොහෝ අවස්ථාවලදී තමන්වහන්සේලා නිවැරදි යයි කල්පනා කරන නීතිය ජාත්‍යන්තර නීතියටත් වඩා ඉහළ යයි සිතන මතන ධර්මදේශක භික්ෂූන් වහන්සේලා කීප නමක් ම ඒ වටිනා ඇත්දළ සිය පන්සල් හා අසපු වෙත පරිත්‍යාග කරන්නැයි උදක් ම රජයට අනුශාසනා කළහ. එහෙත් අප්‍රිකාවේ හෝ වෙනත් රටක හෝ අහිංසක හස්තීන් මරුමුවට පත් කරමින් දස වද දෙමින් ගළවා ගත් ඇත්දළ පරිහරණය ගෞතම බුදුන්වහන්සේ විසින් දේශනා කරන ලද බෞද්ධ ධර්මයට කෙතරම් උචිතදැයි බෞද්ධ අපේ අවාසනාවට දෝ උන්වහන්සේලා කල්පනා නො කළහ. එක්තරා රූපවාහිනී නාලිකාවක් මේ ගැන බොහෝ සෙයින් සංවේදී වූවා සේ ය. උහු රාත්‍රී හතහමාරට විකාශනය කෙරෙන සිය ප්‍රවෘත්ති විකාශනයේදී දෛනිකව මේ කටයුත්තට ම වෙලාවක් වෙන් කරමින් මහමඟ යනෙන පදිකයන්, කරණවෑමියන්, වෙළෙන්ඳන්, ආප්ප විකුණන වෙළෙන්දියන්, ත්‍රීරෝදකරුවන් ආදීන්ගේ හඬ භාවිත කරමින් රජය මේ වටිනා සම්පත විනාශ කරමින් මුග්ධ තීරණයකට සැරසෙන බව කියන්නට වෑයම් කළහ. මේ කතාව හරියට ම කසිප්පු තොගයක් අත්අඩංගුවට ගත් පොලිසියට ඒවා ගම පුරා බෙදාහරින්නැයි කියන කියුමකට නො දෙවෙනි බව මේ අයට කල්පනා නො වීය. අපේ ආණ්ඩු බොහෝ විට මෙවැනි මුග්ධ ඉල්ලීම් හමුවේ දණ නවා නීතිය පසෙකට ලා ක්‍රියා කරන අයුරු අපට දැක පුරුදු ය. එහෙත් ආණ්ඩුව මෙවර නිවැරදි තීරණයක් ගත්තේ ය. ජාත්‍යන්තර නීතියට ගරු කරමින් භික්ෂූන් වහන්සේ හා පූජකවරුන් සහභාගී කරගෙන සර්වාගමික පුද පූජා පවත්වා ඇතුන්ට පින්පෙත් දී පිරිස් ඉදිරියේ ඇත්දළ විනාශ කළේ ය. ඇත්දළ කුඩු කරන්නට පැය හතක් පමණ ගත වී තිබේ. ඒවා ආරක්ෂිතව පුත්තලමට ගොස් දවා හළු කරන්නේ ලු.

එක් අතෙකින් මේ පියවර අපේ සමාජයට සත්ත්ව කරුණාව පිළිබඳ බුදුදහමට අතිශයින් අනුගත පාඩම් කියා දෙයි. තවත් අතකින් ජාත්‍යන්තර නීතිරීති හා පිළිගැනීම් අගයන නීතිගරුක ලාංකීය සමාජයක් පිළිබඳ හැඟීමක් ලෝක ප්‍රජාවට ලබා දෙයි. එහෙයින් මෙම ක්‍රියාවලිය අපේ ගෞරවයට හේතු වෙයි.

 මහානාම දුනුමාල

[email protected]


නව අදහස දක්වන්න