කුල්ල දැමීම | දිනමිණ

කුල්ල දැමීම

‘කුල්ල දැමීම’ යන්න විශ්වවිද්‍යාලයෙන් බිහි වූ වචනයකි. එයින් අදහස් කෙරෙන්නේ තමන් නොදන්නා දෙයක් යමකු විමසූ විට නොදන්නා බව නොඅඟවා ගැලවී ගොස් නිවැරැදි පිළිතුර දැනගෙන පැමිණ පසුව කියා දීම ය. කුල්ල දැමීම පිළිබඳ කතාව ඇතිවීමට හේතුවත් කුල්ල දැමීමෙන් මගේ මිතරකු තම ජාමය බේරා ගත් ආකාරයත් පැහැදිලි කිරීමට මෙය ලියා එවමි.

ඉංග්‍රීසි ආචාර්යවරයකු විශ්වවිද්‍යාල සිසුනට ඉංග්‍රීසි පාඩමක් කියා දේද්දී ගුරුවරයා අපහසුතාවයට පත් කිරීමට සිතූ සිසුවෙක් තම ගුරුවරයාගෙන් කුල්ලට ඉංග්‍රීසියෙන් කියන වචනය කුමක්දැයි විමසා ඇත. සත්‍ය ලෙසම ගුරුවරයා කුල්ලට ඉංග්‍රීසියෙන් කියන වචනය දැන සිටියේ නැත. එහෙත් තම නොදන්නාකම ඇඟවීමට අකමැති වූ ගුරුවරයා

“පන්තිය මැද්දෙන් කඩා පැනල ඔහොම ද ගුරුවරුන්ගෙන් ප්‍රශ්න අහන්නේ? කුල්ලට ඉංග්‍රීසියෙන් කියන්නෙ මොකක් ද කියලා දන්නේ නැතුව ද විශ්වවිද්‍යාලෙ ආවේ?”යි පවසා කෝපයෙන් යුතුවම පන්තියෙන් ඉවත්ව ගොස් ඇත.

කුල්ලට ඉංග්‍රීසියෙන් කියන වචනය සොයා දැන ගත් ගුරුවරයා පසුදා පන්තියට පැමිණ “ප්‍රශ්නයක් අහනකොට ටිකක් කලබල නැතුව අහන්ඩ ඕනෑ. මට තරහ ආවෙ පන්තිය මැද්දෙ කඩා පැනපු නිසයි” පවසා වචනය කියා දී ඇත. එදා සිට කුල්ල දැමීම යන වචනය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අතර ප්‍රචලිත වීලු.

මේ මගේ මිත්‍රයා කුල්ල දමා ගැලවී ගත් ආකාරයයි.

1976 වසරේ දී එවකට පැවති ආණ්ඩුව රැකියා විරහිත උපාධිධාරීන් සියලු දෙනාටම පත්වීම් ලබා දෙන ලදි. පිරිමි හැමදෙනාටම පත්වීම් ලැබුණේ දුෂ්කර පළාත්වලට ය‍. මටත් මගේ මිතුරන් තිදෙනකුටත් පත්වීම් ලැබුණේ ලග්ගල - පල්ලේගම මහා විද්‍යාලයට ය. මෙම විද්‍යාලය පිහිටියේ මාතලේ සිට සැතපුම් පනස් පහක් පමණ දුරක ය. පත්වීම් ක්‍රියාත්මක වූයේ 1976 නොවැම්බර් 01 දා සිට බැවින් අප එම පාසලට යන විට වසරේ අවසානය නිසා අලුතින් කාල සටහන් සකස් කිරීමට සිදු නොකොට ගුරුවරුන් නොමැති පන්තිවලට ගොස් ඉගැන්වීමේ කටයුතු කරන ලෙස විදුහල්පතිවරයා නියම කළේ ය. ඒ වනවිට දුෂ්කර ප්‍රදේශවල පාසල්හි ගුරු හිඟයක් තිබූ හෙයින් ගුරුවරුන් නොමැති පන්ති ගණනාවක් ම විය.

මගේ මිත්‍රයකු හතේ පන්තියට ගිය අතර මම අටවැන්නට ගියෙමි. මගේ මිතුරා ආර්ථික විද්‍යාව පිළිබඳ ව ගෞරව උපාධිධාරියෙක් විය. මිතුරා ගිය පන්තියට තිබුණේ සිංහල පාඩමකි. මම ද මගේ පන්තියට සිංහල පාඩමක් ආරම්භ කළෙමි.

එදිනට නියමිත පාඩම ලෙස මිතුරාට ඉගැන්වීමට ලැබුණේ සද්ධර්මරත්නාවලියෙන් උපුටා ගන්නා ලද රහතන් වහන්සේ කෙනකු ඉදිරිපිට මැණිකක් ගිලින ලද සැළිලිහිණියකු සම්බන්ධ කතාවකි. මිතුරා කීපවරක්ම ‘මැණික් සැට්ටරා’ යන වචනය උසුරුවමින් තරමක අපහසුතාවයකට පත්ව ඇති බව මට පෙනුණි.

එක් වරම ශිෂ්‍යාවක නැඟිට “සර් මැණික් සැට්ටරා කියන්නේ කාටදැ”යි මිතුරාගෙන් විමසුවා ය.

මිතුරා කිපුණු බවක් අඟවා “තමුසෙල ජීවත්වෙන්නෙ මැණික් හම්බ වෙන පළාතක. මැණික් සැට්ටරා කියන්නේ කාටද කියලා දන්නෙ නෑ. මට පුදුමයි ‍ඔයගොල්ලන්ගෙ දැනීම ගැන” මෙසේ පැවසූ ඔහු පන්තියෙන් නැඟිට ගියේ ය. ලග්ගල ප්‍රදේශය ඒ දිනවල මැණික් වලට ඉතා ප්‍රසිද්ධ ය.

ඔහු පසුවදා පන්තියට ගියේ මැණික් සැට්ටරා යනු මැණික් කපා ඔප දමන්නා යන තේරුම මගෙන් අසා දැනගෙන කුල්ල දැමීමෙන් තමා පෙරදින ගැලවී ආ බව සිනාසෙමින් පවසමිනි.

දේවාලේගම

පී. ගුණපාල වීරසිංහ

නව අදහස දක්වන්න