ගැහැනු - පිරිමි කාටත් විවෘතයි | දිනමිණ

ගැහැනු - පිරිමි කාටත් විවෘතයි

ඔටාවා (Ottawa) යනු කැනඩාවේ ඇති සුන්දර නගරයකි. එහි නිර්මාණශීලී ගොඩනැඟිලි, සුහද මිනිසුන්, යාචකයකුට පවා ඇතුළට පැමිණ වාඩිවී කෑම බීම ගන්නට ඉඩ දෙන උණුසුම් කෝපි කඩ සමඟම මගේ අවාධානයට සැණින් හසු වූ තව දෙයක් විය. ඒ වැසිකිළිය ය. ඒ අසාමන්‍ය ලෙස සුඛෝපභෝගි වීම හෝ පිරිසුදු වීම නිසා නොවේ. නගරයේ බොහෝ තැන්වල වූ වැසිකිළි ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම සරිලන, දෙකොටසටම පාවිච්චි කිරීමට අවසර ඇති ඒවා විය.

එවැනි දෙයක් ගැන සුවිශේෂි අවධානයක් ඇති කරවීමේ පූර්ණ ගෞරවය ලැබිය යුත්තේ පසුගිය දිනෙක ෆේස්බුක් පිටුවක වැසිකිළියක පින්තූරයක් පළකර ඒ ගැන අනෙක් අයගේ අදහස් විමසූ මිතුරකුටත්, එම පින්තූරය ගැන විවිධාකර අදහස් ප්‍රකාශ කළ අයටත් ය. පින්තූරය ඔහු විසින් ශ්‍රී ලංකාවේ ආපානශාලවක දී ගත් එකකි. එම ඡායාරූපයට අසූ වූ වැසිකිළි දොරක ගැහැනු/පිරිමි දෙකොටසම නිරූපණය වන සංඥා පුවරුව විය. ගැහැනු හෝ පිරිමි ඕනෑම කෙනකුට එය පාවිච්චි කිරීමට අවසර ඇත. හරියටම අපගේ නිවෙස්වල ඇති වැසිකිළි වාගේ ය.

නමුත් තමුන්ගේ නිවසකදි මෙන් නොව ප්‍රසිද්ධ ස්ථානවල වැසිකිළි පිරිමි සහ ගැහැනුන්ට වෙන්ව තිබීම සාමාන්‍ය විදියයි. ඒ හුදෙක් ගැහැනු සහ පිරිමින්ට විශේෂ වූ පෞද්ගලිකත්වය රැකෙන ලෙස සැකැසුණ යෝග්‍ය පිළිවෙළක් බව මා මුලින් වටහාගත්තේ ඇක්වයිනාස් විදුහලේ පිරිමි විවේකාගාරයේ අභ්‍යන්තරය සියැසින් දැකීමෙන් අනතුරුව ය. යුරිනල්/කුටි කියා දෙයක් මෙලොව පවතින බව මා මුලින්ම දැන ගත්තේ එදා ය. මහපාරේ, රේල් පාරේ, තාප්ප අයින්වල කිසි ලැජ්ජාවක් නැතුව මුත්‍රා කරන පිරිමින් තවමත් සිටින රටක ඉපදී හැදී වැඩුණු මට එම පිරිමි වැසිකිළි දැකීමෙන් හානියක් නොවූ බව සලකන්න.

ජ්‍යෙෂ්ඨ බාලදක්ෂිකාවක් වූ කාලයේ අපගේ කණ්ඩායම එක්සත් ජතීන්ගේ සංගමය හා බැඳිව කළ වැඩසටහනකදි එක්තරා ගමක වැසියන්ට වැසිකිළි තනා ගැනීමට මුදල් සහ ද්‍රව්‍ය සමඟම එළිමහනේ ශරීර කෘත්‍ය කිරීම වෙනුවට වැසිකිළියක් භාවිත කිරීමේ වැදගත්කම පවා කියා දුන් බව මට මතක ඇත. අදටත් එවැනි ගම්වල තමන්ගේ නිවසේ වැසිකිළි නැති මිනිසුන් ඇත. ඉන්දියාවේ සංචාරයකදී චෙන්නායි දුම්රිය පොළේ වැසිකිළිය බලා ගන්න ගැහැනිය දොරට යටින් වැසිකිළියට එබී ඇතුළට ගිය මා ඒ තරම් වෙලා ගන්නේ ඇයි දැයි විපරම් කළා ය. එවැනි අත්දැකීම නිසා පුද්ගලික නිදහස ගැන සමහර රටවල් තවමත් එවැනි තැන්වල සිටින බව මම හොඳින් දනිමි.

ලෝකයේ සමහර රටවල මීට පෙර කලක ගැහැනු පිරිමි යන වෙනස පමණක් නොව සුදු කළු සමේ වර්ණය අනුව පවා වැසිකිළි පහසුකම වෙන්කර තිබිණි. එයින් බොහෝ දුර පැමිණ ඇති මිනිසුන් ආබාධිත පුද්ගලයන්ට, කුඩා දරුවන් ඇති පවුල්වලට පහසුවෙන ලෙස සැකසුණු වැසිකිළි පවා ප්‍රසිද්ධ ස්ථානවල ස්ථාපිත කරවා ගැනීමට සමත් වී ඇත. ඒ වැසිකිළිය පාවිච්චි කිරීමේ ස්වාභාවික මානව අයිතිය නිදහසේ විඳිම පහසු කරන්නට ය. යුනිසෙක්ස්/ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම සරිලන වැසිකිළි ගැන මා මෙතරම් පැහැදී සිටින්නේ ඇයි?

සොබාදහම් මෑණියන් විසින් තමන් ගැහැනියක ද පිරිමියකු ද යන අනන්‍යතාව නිශ්චිතව සඳහන් නොකර තමන් කවුදැයි තීරණය කරන්නට සම්පුර්ණ නිදහස දී බිහි කළ ඇගේ මනුෂ්‍ය දරුවන් කොටසක් ද මේ ලෝකයේ සිටින නිසා ඔවුන් වෙනුවෙන් යුනිසෙක්ස් වැසිකිළි ගැන මම සතුටුවෙමි. ‘ට්‍රාන්ස්ජෙන්ඩර්’ මිනිසුන්ට ජීවිතකාලයක් තුළ මානව අයිතිවාසිකම් වෙනුවෙන් කරන්නට සිදු වී ඇති සටන අඩුම තරමේ වැසිකිළි යාම යන ස්වාභාවික වුවමනාවේදීවත් නවතා දමන්නට ඉඩක් ලෝකය ලබා දිය යුතු ය.

පිටරටවල දී වැසිකිළිය කොතැනදැයි ඇසූ විට තමන්ට ගැහැනු වැසිකිළියට මඟ පෙන්වූ මිනිසුන් වූ බව ‘තුම්පනෙන් අමෙරිකාවට’ පොතේ හෙනේපොළ ගුණරතන නාහිමියෝ සඳහන් කර ඇත. ඒ උන්වහන්සේගේ සිවුර ගහැනු ඇඳුමක් ලෙස සිතා උන්වහන්සේගේ ගැහැනු පිරිමි බව පෙනුමෙන් හඳුනා ගැනීමට නොහැකි වීමෙනි.

ඔටාවා නගරයේ ලස්සන, එහි ඇති ජේත්තුව වැඩි වන්නේ සෑම මිනිසකුටම ජීවිතය මොනයම් විදියකින් හෝ පහසු කරවන දේවල් එහි තිබෙන නිසා ය. එහි වූ ආඩම්බරකාර ගොඩනැඟිලි, මනරම් උද්‍යාන, උණුසුම් කඩමණ්ඩි තරමටම වැසිකිළි නිසා ඒ නගරය ලස්සනට මම දකිමි. මගේ මිතුරා විසින් පළ කළ ලංකාවේ වැසිකිළියේ ඡායාරූපය ද එසේම ය. කුමන අදහසකින් සිදු වූවත් ඒ දොරේ ගසා ඇති පුවරුව කෙනකුට පහසුවක් ඇතිකරයි.

හිමාලි එන්. ලියනගේ

[email protected]


නව අදහස දක්වන්න