ගිය නුවණ අලින් හා හංසයන් ලව්වාවත් ඇදගන්න පුළුවන් වෙයිද? | දිනමිණ

ගිය නුවණ අලින් හා හංසයන් ලව්වාවත් ඇදගන්න පුළුවන් වෙයිද?

ජාතික සංහිඳියාව පිළිබඳ තිරසාර වැඩපිළිවෙළක් හෝ හැබෑ උවමනාවක් සම්මුතිවාදි ආණ්ඩුවට තියෙනවාද කියා ප්‍රශ්න කරන්න කාලෙ එළඹිලා තිබෙනවා. කතාවෙන් බහෙන් වගේම බාහිර පෙනුමෙනුත් වාර්ගික සුහදත්වය හා ජාතික ඒකාබද්ධතාව ගැන උද්‍යෝගයක් පෙන්නුවත් ක්‍රියාත්මක බව අතින් නම් වැඩකටයුතු සිද්ධ වෙන්නේ බොහොම ඉබි ගමනින් බවයි පෙනෙන්න තියෙන්නෙ. ඒකත් හරියටම ‘කතාව දෝලාවෙන් ගමන පයින් කියනවා’ වගේම තමා.

සම්මුතිවාදි ආණ්ඩුව යටතේ ජාතික සංහිඳියාව උදෙසා කටයුතු කිරීම පිණිස පමණක් ආයතන ගණනාවක් පිහිටුවා තිබෙනවා. ඒ ආයතන කෙතරම් බලවත්ද කීවොත් රටේ ප්‍රධාන පුරවැසියා විසින් හොබවනු ලබන ජනාධිපති ධුරයම ජාතික සංහිඳියාව මෙහෙයවන ප්‍රධාන ආයතනයක් සේ ක්‍රියා කරනවා. මනෝ ගනේෂන් ඇමැති ධුරය දරන ජාතික සංවාදයක් සඳහා වූ අමාත්‍යාංශය, ඒ. එච්. එම්. පවුසි ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයා යටතේ ක්‍රියාත්මක ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසංධාන රාජ්‍ය අමාත්‍යාංශය, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපනය සඳහා වන අමාත්‍යාංශය වගේම හිටපු ජනපතිනියගේ ප්‍රමුඛත්වයෙන් පිහිටුවා ඇතැයි පැවසෙන ජාතික සංහිඳියා වැටසටහනත් එක්ක ගත්තහම ඉතිහාසයේ මෙතෙක් නොවූ විරූ සංහිඳියා සිත්තමක් සම්මුතිවාදි ආණ්ඩුව විසින් සිතුවම් කර තිබෙන බව බැලූ බැල්මට පෙනෙනවා.

මෙහෙම ආයතන පොකුරක් හදලා ජාත්‍යන්තර ප්‍රජාවට පෙන්නනපුවහම ජාතික ප්‍රශ්නෙ ඉබේම විසඳෙයි කියලා ආණ්ඩුව හිතනවද දන්නෙ නැහැ. අනිත් අතට මේ ආයතන අතර ඒකාබද්ධතාවක් දක්නට නොලැබීම තමා අපි දකින හැටියට ජාතික සංහිඳියාව යථාර්තයක් බවට පත් කරගැනීමට තිබෙන ප්‍රධානම බාධකය. එකම අරමුණක් ජයගැනීම සඳහා පිහිටවපු ආයතන වෙන් වෙන්ව තමන්ට හිතෙන හිතෙන විදහේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න ගියහම වෙන්නේ සම්පත් අපතේ යාමක් වගේම වැඩේ අනාගැනීමක් විතරයි.

එකම වැඩේ කීප දෙනෙක් කරන්න යාමෙන් අනවශ්‍ය තරගයකුත් ඇති වෙනවා. අපි නිකමට වගේ සොයා බැලුවොත් මනෝ ගනේෂන් ඇමැතිවරයාට බාර ජාතික සංවාද අමාත්‍යාංශයයි පවුසි ඇමැතිවරයාට බාර ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසංධාන අමාත්‍යාංශය හා හිටපු ජනපතිනිය නායකත්වය දරනවාය කියන සංහිඳියා වැඩසටහන කියන ආයතන තුන මේ වෙනකොට ජාතික එකමුතුකම වෙනුවෙන් දියත් කර තිබෙන වැඩසටහන් මොනවාද කියලා.... බිම් මට්ටමේ ජනතාවට දැනෙන යමකට තාමත් අතගහලා නැති බව නම් ස්ථිරයි. ආඬි හත්දෙනාගෙයි කැඳහැලියෙයි කතාව වගේ කවුරුත් බකංනිලාගෙන උන්නොත් වැඩේ එතනම කම්බස්.

ලස්සන නම්වලින් බෝඩ්ලෑලි ගහපු තට්ටු ගණන් උස බිල්ඩිනුයි ටයිකෝට් දාගත්තු ඔපිසරලා රංචුවකුයි විතරක් හිටියට වැඩක් තියෙනවද ක්‍රියාවට නඟන්න හරිහමන් වැඩපිළිවෙළක් නැතුව. ඒ වගේ ම ඔය ආයතනවලට පත්කරලා ඉන්න නිලධාරින්ටත් ජාතික සංහිඳියාව හෝ සමාජ ඒකාබද්ධතාව පිළිබඳව අවංක හැඟීමක් හෝ පැහැදිලි ඉදිරි දැක්මක් තියෙනවද කියන එකත් ප්‍රශ්නයක්. මොකද අපි දන්න විදිහට ඔය එක්කෙනෙක්වත් අදාළ විෂය පිළිබඳව විශේෂ දැනුමක් අවබෝධයක් ඇති උදවිය බව නොපෙනෙන නිසා. දේශපාලන බලවතුන්ගේ දැනහැඳුනුම්කම් මත මිස කොමිසමකින් සුදුසුකම් හොයා බලලා පත්කරපු අය බව නෙපෙනෙන නිසා.

සංහිඳියා ආයතන ගැනයි ඒවායේ නිලධාරි ගැනයි පුන පුනා කතා කළේ ඒ ආයතන හෝ ඒවා කරවන උදවියත් එක්ක තියෙන තරහා අමනාපයකින්ය කියා වරදවා තේරුම්ගන්න එපා. අද බොහොම ශීඝ්‍රයෙන් උතුරු - දකුණු දෙකොණින්ම ඇවිලීගෙන එන අන්තවාදි හා ජාතිවාදි ගිනිදැල් දිහා බලපුවහම සාමකාමි පුරවැසියන් හැටියට අපේ හිත්වලට සාධාරණ බයක් දැනෙන නිසයි මේ විදිහේ ප්‍රශ්නයක් මතු කළේ. ආණ්ඩුවේ සංහිඳියා වැඩසටහන බාර උදවිය ඈලිමෑලි ඇරලා වැඩට බහිනකොට සිංහලේ තියෙනවාය කියන ඇත්තොයි බොදුබලය හා රාවණාලයි එකතුවෙලා ආයෙමත් රට ගිනි තියලා ඉවරවෙයි කියන භීතිය දැන් සාමකාමි රටක් ගැන හීන මවමින් ජනවාරි 8 හා අගෝස්තු 17 පෙරළිවලට දායක වූ බහුතරකයගේ සිත්සතන් තුළ හොල්මන් කරන බව අමතක කරන්න එපා. හෙට අනිද්දාම අලුත් පක්ෂයක් හදාගෙන ආණ්ඩුව ගෙදර යවන අවසන් වෙඩිමුරය පත්තු කරනවාය කියමින් පාරම්බාන ඒකාබද්ධ විපක්ෂයත් මේ හනුමලා පිටිපස්සේ ඉන්න බව බොහොම පැහැදිලියි.

අස්සයා පැනලා ගියාට පස්සෙ ඉස්තාලයේ දොර වහලා පලක් තියෙයිද? යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද? ගිය නුවණ අලියන් හා හංසයන් ලව්වාවත් ඇදගන්න පුළුවන් වෙයිද ? ඕනෑනම් මේ වගේ තවත් උපහැරණ ඕනාතරම් රට කරවන ඇත්තනට මතක් කර දෙන්න අපිට පුළුවන්.

කමල් පෙරේරා

[email protected]


නව අදහස දක්වන්න