තිලිණ | දිනමිණ

තිලිණ

“කෝච්චිය එන්න තව විනාඩි හතළිස් පහක් ම තියෙනවා. මම ඉන්නම්. ඔයා යන්න.”

“කමක් නෑ. මම ඉන්නම් ඔයා යනකල්. නැත්නම් ආපහු කවදා දකින්න වෙයි ද..?”

“එහෙනම් යමුද ඇවිදින්න..?”

ඕකට අමුතුවෙන් ‘හා’ කියන්න දෙයක් තිබුණෙ නෑ. උත්තරේ ඇස් දෙකේ ම ලියැවිලා තිබුණෙ පුදුම සතුටකින්.. අපි දෙන්නටම ඕනෙ වුණේ අපේම වෙලා අත් පටල ගෙන සතුටින් සැහැල්ලුවෙන් ඉන්න. හරිම සතුටින් හිනා වෙන්න. ඒත් නිදහසේ ඇවිදගෙන යන්න තරම් මහ ලොකු වෙලාවක් ඉතිරි වෙලා තිබුණෙ නෑ.

දන්නෙ නෑ කොහේද යන්නේ කියලාවත්. අපි ඔහේ ඇවිද්දා.. පාර කෙළවර වෙන්නත් ඇවිත්.. එක පාරට අපි නැවතුණා. ඇස් දෙකත් නළලෙ රඳවගෙන කටත් ඉබේ ම ඇරගෙන අපි බලන් හිටියේ අපිට වඩා දහ ගුණයක් විසාල බෝඩ් එකක් දිහා...

ROOMS

එයා මට එන්න කිව්වේවත්, මම එයාට යමු කියලාවත් කිව්වේ නෑ..මට හොඳට ම මතකයි ඒක නම්...

ඒත්.., හරියට ඉන්ද්‍රජාලිකයෙක් කනට මතුරනවා වගේ දැනුණා..‘එන්න, එන්න’ කියලා..

මම හිතන්නේ ඒ රහස් හඬ අපිව මෝහනය කළා.

හරියට අහසෙ පා වුණා වගේ අපි ඇතුළට ඇදිලා ගියේ.. මම තාම එයාගේ අත අල්ලගෙන. දෙන්නම ඉස්සරහට ම පියවර තිබ්බේ එකටම යි..

පුයර තවරපු රතු පාට තොල් පෙති තිබුණු මන්තරකාරියක් ඉස්සරහ ම හිටිය. එයා පොතක මොනවද ලිව්වා..බයටම මම එයාගෙ අත හයියෙන් මිරිකුවා. එයා ළඟට ම වෙලා එයා ළඟ හැංඟුනා.. එතනින් තවත් ඉස්සරහට අපි ගියා. එතන තවත් එක දොරක්.පුදුම සැලකිල්ලකින් අපිට කෙනෙක් දොර ඇරල දුන්නා..

මගෙ හීනෙට වඩා ගොඩාක් වෙනස්..කිළුටු පාට ඇඳ කවරයකින් සරසපු පුංචි ඇඳක්. එක පැත්තක දූවිලි බැඳුණු කන්නාඩියක්.. අඳුරු කාමරේක පාසි ගඳ ගහන නාන කාමරයක්...

අපි ආපහු දොර වැහුවා. එයා නාන කාමරේට ගියා. වතුර වැටෙන සද්දේ මට ඇහුණා. හ්ම්ම්ම්... එයා නානවා..

ඒ වතුර හුඟක් සීතල නෑ. අනේ මන්ද.. මම බය වෙලා ද? මාව වෙව්ලුවේ වතුරෙ සීතලට ද..?

වෙලාව ගියේ කොහොම ද..? මට මතක නෑ.. ඒත් අන්තිම ට...

මට ඕනෙ වුණු හැමදේ ම......

* * *

ඒත් ඊට පස්සෙ මට දැනුණෙ මම හිතපු විදිහෙ සතුටක් නෙමෙයි. එයාගෙ ම වෙන්න ඕනෙ කියලත්.., එහෙම වුණා ම මම සතුටු වෙන හැටිත් මම දැකපු හීනෙට වඩා මේ දැනුණු දේ හුඟාක් වෙනස්..

සතුටට වඩා එතන තිබුණෙ බයක්, දුකක්...

කෝච්චිය කියපු වෙලාවට ම ආවා. මම බලාගෙන ඉන්න කොට ම එයා මගෙ නළලට හාදුවක් දීල යන්න ගියා. එයාගෙ මූණෙ තිබුණු සතුට, හිනාව...මට සතුටක් ගෙනත් දුන්නා..

හ්ම්ම්ම්...අවුරුදු හතරක්...කොච්චර සුන්දර ද..?

එයා දීපු තෑග්ග.. දැන් එයා වගේමයි.. ඒ ඇස් දෙක.. ඒ නහය, කට.. එදා තිබුණු හිනාව හැමදාම මට දකින්න..

කොයි තරම් මම ගැන හිතලද? මම වෙනුවෙන් දෙයක් මට දෙන්න...

හැමදාට ම මතක් වෙන්න..

ඒ තෑග්ග මගෙ ඉස්සරහ හැමදාම.. ඒ තෑග්ග, ..එයාව මතක් කර කර ලොකු වෙන හැටි..

ආපහු කෝච්චියෙ එයා එනකල් බලන් ඉන්නවා මම..

එයා දීපු තෑග්ග ඇස් දෙක වගේ පරිස්සම් කර ගෙන...

ලෝචනා මිහිරාණි මහවත්ත


නව අදහස දක්වන්න