පාරුව | දිනමිණ

පාරුව

ඇළ ඉවුරේ මාර ගසේ අත්තක ලැග ඉන්නා පිළිහුඩු පොඩ්ඩා කුරුමාණම් අල්ලන්නේ මාළුවකුටය. නිසොල්මනේ ඕනෑ තරම් වෙලා බලා ඉන්නට ඒ අලංකාර කුඩා පක්ෂියාට පිළිවන. එහෙත් දඩයක්කාරයා ගොදුරක් වූයේ එක්වනම පියඹා ආ විශාල උකුස්සා හේතුකොටගෙනය. කුරුලු කැළ නද දෙන්නට වූයේ විපතකදී විලාප නඟන ගැහැනුන් පරිද්දෙනි. ආ සැණින්ම ගොදුර ඩැහැගත් යෝධ දඩයක්කාරයා ඈතට ඉගිල ගියේය. සොබාදහමේ රීතිය දෙස මම විමතියෙන් හෝ ශෝකයෙන් නොව උපේක්ෂාවෙන් බලා සිටියෙමි. බලවතා දුබලයා ගොදුරු කර ගනියි. එහෙත් ඒ හුදෙක් කුසගින්න නිවාගැනීම සඳහා පමණි.

දිය නා හමාර වී මා ගෙට ගොඩවූයේ හැමදාමත් සිය අලංකාරත්වයෙන් සහ තීක්ෂණ බවින් මා සතුටු කළ පිළිහුඩු පොඩ්ඩා ගැන උපන් සංවේගයෙනි. එහෙත් හෙට ඒ මාර අත්තේ වෙනත් පිළිහුඬුවකු ලැඟුම් ගනු ඇත. එකකුගේ වියෝවෙන් ලෝකය නොනවතී. හිස් තැන සදාකාලික නොවේ. එය කාගෙන් හෝ පිරවෙනු නිසැක ය.

“බලන්ඩ. ඔයාගෙ ළමයි මේ ළමයට ගහලා.”

අල්ලපු ගෙදර අබේ අයියා සිය දියණියද සොහොයුරාගේ දියණියද සමඟ පැමිණියේ චෝදනාවක්ද එල්ල කරමිනි.

“දෙවියනේ...”

මම විමතිය පළ කළෙමි.

“ඔව්. නිම්සරාට ගහලා ඔයාගෙ නිවුන්නු දෙන්නා...”

මම විළියෙන්ද කෝපයෙන්ද උතුරා ගියෙමි.

“චූටි තමා මට ගැහුවෙ... ඉන්ඩ බෑ රිදෙනවා”

දැරිය කඳුළු සැලුවාය.

“ගෑනු ළමයින්ට ගහනවාද? පිරිමි ළමයි. මොන ලැජ්ජ නැති වැඩක්ද මේ දෙන්නා මේ කරල තියෙන්නෙ...”

අපේක්ෂා කළ තරමට මා රකුස් වෙස් නොදැරූ බැවින් කලකිරුණු අබේ අයියා ආපසු ගියේ “කිත්සිරි අයියට කිව්ව නං ළමයි දෙන්නට ගස් බැඳල ගහන්නෙ...” යි ආඩපාලි කියමිනි.

“මගෙ දෙයියනේ... ළමයින්ගෙ තාත්තා නොහිටපු එක කොච්චර හොඳද...” යි තොල් මතුරමින් මම මගේ මැරවරයන් සොයා ගියෙමි.

“පුංචි පුතා... චූටි පුතා..‍. කෝ මේ කොල්ලො දෙන්නා?”

ඔවුන් කවදාවත් නැතිව ඇඳේ වැතිර ගුලි වී සිටිති. එකකු ඉහේ සිට පොරවාගෙන ය. මම පොරෝනය ඇද පසෙකට දැමීමි.

“චූටි පුතා... ඇත්තද අර අබේ අයියා කියන්නෙ..? ඇයි ඔයා නිම්සරාට ගැහුවෙ?”

“මට උණ අම්මේ... මැලේරියාවද කොහෙද... ඉන්න බෑ... මුළු ඇඟම රිදෙනවා...”

ඔහු කෙඳිරි ගාන්නට වූයේ හත් දවසක් උණෙන් පෙළුනාක් මෙනි.

“මගෙත් බඩ රිදෙනවා... මටත් මොකක් හරි භයානක ලෙඩක් හැදිල වගේ අම්මේ... වමනෙ යන්නත් එනවා... ඇස් පේන්නෙත් නෑ...”

පුංචි පුතාද කෙඳිරි ගාන්නට පටන් ගත්තේ ය.

“ගෑනු ළමයකුට ගැහුවා මදිවට තව බොරුත් කියන ලස්සන. ඔය දෙන්නට හොඳට රඟපාන්න පුළුවන් කියල මං දන්නවා. දැං කරුණාකරල ඔය කෙඳිරි ගෑවිලි නවත්තලා මං අහනදේට උත්තර දෙන්න.”

මම මහත් නොඉවසිල්ලෙන් අණ කළෙමි.

“බොරු නෙමේ අම්මේ... අපිට හුඟාක් අමාරුයි. ඇයි අම්මා අපිව බෙහෙත් ගන්න එක්ක යන්නැත්තෙ...”

“අපි මැරෙන්ඩ යන්නෙ අම්මේ...”

චූටි පුතාගේ මුහුණ වේදනාවෙන් හැකිළේ

“මැරෙන්ඩ වෙලා තියෙන්නෙ මටයි. ම‍ගේ ළමයි මේ තරම් නොහොබිනා වැඩක් කරයි කියලා මම කවදාවත් හිතුවෙ නෑ. මම හිතුවෙ මට ඉන්නෙ මේ ලෝකෙ හොඳම කරුණාවන්තම ළමයි කියලා...”

පොඩි පුතාත් මද්දු පුතාත් දිව ආවේ හතිලමිනි.

“ඒයි... ඇත්තද ඕගොල්ලො නිම්සරාට ගැහුව කියන්නෙ?”

ඔවුන් දෙදෙනාම ඇසුවේ එකම ප්‍රශ්නයකි.

“බලන්න පොඩී... බලන්න මද්දු මේ දෙන්නා කරල තියෙන වැඩේ. දැං ඉතිං හැමෝම බණින්නෙ මට නේද...? දරුවො වැරදි කළාම අම්මට තමා කවුරුත් බණින්නෙ හරියට හදලා නෑ කියලා...”

මම මහත් ‍ශෝකයෙන් කීවෙමි.

“වෙන කොල්ලො ගහගන්නෙ කොල්ලො එක්ක. මේ දෙන්නා ගහගෙන තියෙන්නෙ කෙල්ලෙක් එක්ක...” යි පොඩි පුතා හිනැහුණේය.

“ලැජ්ජ නැද්ද හලෝ... කොල්ලකුට නම් ගැහුවත් කමක් නෑ.. කෙල්ලකුට ගැහුව කියන්නෙ ඉතිං මහ චාටර් වැඩක්නෙ...”

මම මද්දු දෙස රවා බැලුවෙමි.

“කා එක්කවත් ගහගන්න ඕන නෑ. ඇයි බැරි සතුටින් සාමයෙන් ඉන්න.”

“හරි හරි... කියනවලකො බලන්න මොකද නිම්සරාට ගැහුවෙ කියලා...?”

පොඩි පුතා ඇසු‍ෙව් මා ඇසිය යුතු වූ ප්‍රශ්නයකි.

අධික කැළඹීම නිසා ඒ ඉතාම වැදගත් ප්‍රශ්නය මගෙන් ගිළිහිණ.

“ඒ... එයා... එයා අපේ අම්මට බැණ්නා...”

“නිකම්ම බනින්නෙ නෑනෙ. ඔය ඩබලත් නිම්සරාගෙ අම්මට බණින්න ඇති...” යි සැහැල්ලුවෙන් කී මද්දු හිනැහුණේය.

“ඒ වුණාට අපෙ අම්මට බණින්නෙ කොහොමද කවුරුවත්? අපෙ අම්මා කොච්චර හොඳද...”

මගේ කෝපය වියැකිණ.

“ඔයාලට ඔයාලගෙ අම්මා හොඳ වගේ තමා නිම්සරාට එයාගෙ අම්මා තමා මේ ‍ලෝකෙ හොඳම අම්මා...”

මම මෘදු මොළොක් ලෙස පහදා දුන්නෙමි.

“ගහගන්න ඕන සමානයෙක් එක්ක. ගෑනු ළමයි පිරිමි ළමයි ශාරීරිකව සමාන නෑ. කොහොමටත් පිරිමි ළමයි ගෑනු ළමයින්ට ගෞරවයෙන් සලකන්න ඕන. ඔය දෙන්නම නිම්සරාගෙන් සමාව ගන්න.”

“බෑ... බෑ...” යි බෙරිහන් දුන් නිවුන්නු සියලු ලෙඩ දුක් අමතක කොට පලා ගියෝ ය.

ගත ව ගියේ දින කීපයකි. ඒ ගෙදරින් මේ ගෙදරටත් මේ ගෙදරින් ඒ ගෙදරටත් යෑම් ඊම් මෙන්ම කතා බහ ද නැවතී තිබිණ.

ඇළට බැස රෙදි සෝදමින් හුන් මා දුටුවේ කෙසෙල්කොට පාරුවක නැඟුණ ළමයින් සිව් දෙනෙකි. ඔවුන් හඳුනාගත් මගේ මුව’ඟ සිනහවක් නැඟිණ.

කිරි අම්මාත් අබේ අයියාත් ඇළ අද්දරට වී පාරු පදින ළමයින් දෙස බලා සිටියේ විමතියෙන් විය යුතු ය. එහෙත් ළමා ලෝකය හොඳින් දැන හඳුනන මම විමතියෙන් නොව මහත් සතුටින් සිනා සුණෙමි.

එකට එක්ව පාරු පදින්නේ කොල්ලන් දෙදෙනෙක් සහ කෙල්ලන් දෙදෙනෙකි. නිවුන් පුතුන් ගේ සහ නිම්සරාගේත් චතුරිගේත් සතුටු සිනා රැව් පිළිරැව් දුන්නේය.

ශාන්ති දිසානායක

[email protected]


නව අදහස දක්වන්න