පිටාර ගලන්නට පෙර | දිනමිණ

පිටාර ගලන්නට පෙර

අපේ ගෙදර පල්ලෙහායින් ගඟක් ගලාගෙන යනවා. කවදාවත් නිල්පාට වතුර නොතිබිච්චි ඒ ග‍ඟේ පුංචි දවස්වල අපි දියඹුං ගගහ නානවා. පායන කාලෙට ග‍ඟේ වතුර හොඳටෝම අඩු වෙනවා, ග‍ඟේ පතුලෙ සුදු වැලි තලාව පේන තරමටම. කාෂ්ඨකේට පායන සමහර කාලවල මගේ හිත මැළවෙන්නෙ රස්නෙ හින්දම නෙමෙයි. ලොකු බේසමකට වතුර පුරෝලා අම්මා මාව නාවනකොට, දියඹුං ගහද්දි දැනෙන සනීපෙ අහලකින්වත් නොදැනෙන හින්දයි.

සමහර කාලවල අහස කළු කරලා දවස් ගානක් යනකල් හොඳටෝම වහිනවා. ඒ කාලෙට ගඟ හොඳටෝම පිරිලා පිටාර ගලනවා. ‘ගං වතුර’ කියන්නෙ පුංචි දවස්වල හිත ප්‍රමෝදයෙන් පුරවන වචනයක් වුණාට, ලොකු මිනිස්සුන්ට ඒක වදයක්. පාරෙ බස් වැඩ කරන්නෙ නැති වුණාම, දණක් වතුරෙ බැහැලා ඇවිදගෙන ටවුමට යන්න පොඩි දරුවො මිසක ලොකු මිනිස්සු කැමති නෑ. ඒ හන්දම ගඟ උතුරලා පිටාර යන්න මත්තෙන් වාන් දොරටු අරින්න ගම්මු පරිස්සම් වෙනවා.

ලොකු ලොකු උපාධි හදාරලා නැති වුණාට ගම්මුන්ට සාමාන්‍ය දැනීම තියෙනවා. ලොකු උපාධි හදාරලා, දේශපාලනේ වගේ ලොකු රස්සාවල් කරන ඇත්තොන්ට කාලගුණ විපර්යාස එච්චර දැනෙන්නෙ නෑ. පින් කරපු ඒ ඇත්තොන්ට දේශගුණේ හැමදාම සෞම්‍යයි. ඡන්දෙ කාලෙට පොඩ්ඩක් වැස්සට ඒ උදවියගෙ පැවැත්ම ස්ථිරයි. සාමාන්‍ය මහජනතාවගේ ජීවිතවල කාලගුණ විපර්යාස ඒ ඇත්තොන්ට වැඩිපුර දැනෙන්නෙ නැත්තෙ ඒකයි.

‘තොරතුරු තාක්ෂණය’ කියන්නෙ ටිකක් විතර බර වචනයක් වුණාට, ‘අයි.ටී’ (Information Technology) කිව්වම ඒ බර වචනෙ සැහැල්ලුවට දැනෙන්න පටන් ගන්නවා. අයි.ටී මිනිස්සු කියන්නේ සාමාන්‍යයෙන් හරිම සරල මිනිස්සු කොට්ඨාසයක්. හුඟක් වෙලාවට ඩෙනිමයි ටී ෂර්ට් එකයි ඇදන් වැඩට යන ඒ මිනිස්සුන්ගෙ රස්සාවට වෙලාවක්, අවේලාවක් නෑ. හවස පහට වැඩ ඉවර වෙලා අනිත් මිනිස්සු ගෙවල් දොරවල්වලට යනකොට අයි.ටී මිනිස්සු ළඟ කඩේකින් තේ කෝප්පයක් බීලා ඇවිත් ආයෙමත් වැඩ පටන් ගන්නවා. ‘අයි.ටී අයට සෑහෙන්න පඩි’ කියලා අනිත් රස්සාවල් කරන උදවිය කිව්වට, සල්ලි කොල වෙනුවෙන් ජීවිතේ දියවෙලා යන අරුමෙ දන්නෙ ඒ රස්සාව කරන ඇත්තො විතරයි. මඟුල් කපු උන්නැහැලට, සමහර පිරිමි ළමයින්ගේ අම්මලා ‘අපෝ කපු උන්නැහැ, අයි.ටී රස්සාවක් කරන ගෑනු දරුවෙක් නම් කැපෙන්නෙ නෑ. ඒ දැරිවියො ගෙදරක නෑ නොවැ’ කියලා කියන්නේ ඒ හන්දයි.

අයි.ටී උදවිය ස්ට්‍රයික් කරන්නෙ නෑ. මෑත අතීතෙ කවදාවත් ඒ උදවිය බෝඩ් ලෑලි අල්ලගෙන පාරවල හිටගෙන ඉඳලත් නෑ. ඒ අයට සාමාන්‍යයෙන් අය වැයෙන් පඩි වැඩි වෙන්නෙත් නෑ. සාක්කුවට සල්ලි එන්නෙ බුද්ධියේ ප්‍රමාණයටයි, මහන්සියේ ප්‍රමාණයටයි විතරයි. සාක්කුවට සල්ලි ලැබෙන ප්‍රමාණය මදි කියලා හිතුණොත් ඒ ඇත්තො කරන්නෙ, එක්කො වෙන රස්සාවක් හොයාගන්න එකයි. එහෙම නැත්නම් හැකියාවට ගැළපෙන වැටුපක් දෙන පිටරටකට හරි යන එකයි. ඒකට සරිලන ප්‍රමාණයේ බුද්ධියක් වගේම හැකියාවක් ඒ ඇත්තොන්ට තියෙනවා.

ඒ නිසාමදෝ මන්දා සාමාන්‍ය සමාජයේ සිද්ධවෙන කාලගුණ විපර්යාසවලින් ඒ ඇත්තොන්ට ඒ හැටි බලපෑමක් නෑ. එහෙමයි කියලා නවතින්නෙ නැතුවම වහින්න ගත්තොත් ඒ ඇත්තොන්ගේ වටපිටාවෙ තියෙන ගංගාවල් පිටාර ගලන්නෙ නැතුව තියෙන්නෙත් නෑ. මේ දවස්වල ලංකාවෙ අයි.ටී අංශයේ රැකියාවල් කරන උදවියගෙ ජීවිතවලට හොඳටෝම වහිනවා. ලංකාවට, ඉන්දියාවෙන් අයි.ටී රස්සාවල් වලට ‘රැකියා යෝජිත’ උදවිය ළඟදි ඉඳන් එන්න පටන් ගන්නවලු.

තොරතුරු තාක්ෂණ අංශයේ රැකියාවලට ප්‍රමාණවත් තරම් උදවිය ලංකාවෙ ඉන්නවා වුණාට, ලොකු පුටුවල ඉන්න දේශපාලන මහත්තුරු කියන්නෙ එහෙම නෑ කියලයි. රැකියා වියුක්ති ප්‍රතිශතය මුළු ජනගහනයෙන් 7% , ඒ කියන්නේ මිලියන 37.2 වෙච්ච ඉන්දියාවෙ ඇත්තො ලංකාවට එන්නෙ අඩු පඩියකට විත්තිය අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. ඉන්දියාවෙ රස්සාවක් හොයාගන්න පුළුවන් ඇත්තො ලංකාවට රස්සාවල් හොයාගෙන එන්නෙත් නෑ. ‘ලාබ බඩුවෙ හිලක් ඇතේ’ කියන උපහැරණෙ මේ වෙලාවෙ මට මතක් වෙන්නෙ නිකමට වෙන්න ඇති මගෙ හිතේ.

එකම රස්සාව අඩු පඩියකට කරන මිනිස්සු කොටසක් ලංකාවට ඒම ගැන සේවායෝජකයො සතුටු වුණාට, ඒකෙන් සිද්ධවෙන්නෙ බුද්ධිමත්, වැඩි වැටුපක් උපයන්න පුළුවන් ලාංකිකයින් රැකියා වෙළෙඳ පොළෙන් ඉවත් වෙන එකයි. ‘බුද්ධිගලනය’ කියන්නෙ නිකම්ම නිකන් වචනයක් විතරක් නෙමෙයි. ඊට පස්සෙ සිද්ධවෙන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ බුද්ධියෙන් පිටරටවල් පොහොසත් වෙන එකයි.

‘ඕවා බොහොම සාමාන්‍ය දේවල්’ ලොකු දේශපාලක මහත්තුරුන්ට එහෙම හිතුණට, එංගලන්තෙ වගේ දියුණු රටවල්, පිට රටවලින් තමන්ගෙ රටට ආපු ස්ථිර පදිංචිකරුවනුත් රටට සේවයක් සිද්ධ වෙන්නෙ නැත්නම් ආපහු තමන්ගෙ රටවලට යවන්නෙ, වැස්ස වැඩිවෙලා ගංගාවල් පිටාර ගලන එක නවත්වන්නයි.

අහස කළුකරලා හොඳටෝම වහිනවා. අයි.ටී ඇත්තොන්ට පරිගණකයක් ඉස්සරහා ඉඳගෙන බුද්ධිය අකුරු කරන්න පුළුවන් වුණාට, ගං වතුර නවත්තන්න බෑ. වාන් දොරටු අරින්න පුළුවන් බලය තියෙන ඇත්තොන්ට විතරයි. එහෙම වුණාට, බලේ තියෙන හැමෝටම මොළේ තියෙනවා කියලා කොහේවත් ලියවිලා නෑ.

දසුනි හෙට්ටිආරච්චි

[email protected]


නව අදහස දක්වන්න