මං ඔයාට ලියනවා මං ලියනවා | දිනමිණ

මං ඔයාට ලියනවා මං ලියනවා

සාහිත්‍යයෙහි දී, නවකතාව සේ ජනප්‍රිය සාහිත්‍යාංගයක් නොමැති තරම් ය. කවිය, කෙටිකතාව වැනි සාහිත්‍යාංග කොතෙක් වුවත්, නවකතාවට පාඨකයන් අතර හිමි ස්ථානය අතික්‍රමණය කිරීමට අන් ප්‍රකාශන මාධ්‍යයනට නොහැකි වූ බවයි මගේ හැඟීම. පළමුවෙන් ප්‍රබන්ධ කතාවත්, ඉන්පසු නවකතාවත් සකස් වූ බවයි පැවසෙන්නේ. නවකතාව පිළිබඳ නොයෙක් වර්ගයේ නිර්වචන ඉදිරිපත් වී ඇති බව ද අපි දනිමු. “නවකතාව වනාහි ජීවිතය හා ආශ්‍රිත මිනිස් ස්වභාවය නිරූපණය කෙරෙන සේ යම් කාල පරිච්ඡේදයක් තුළ මානව වර්ගයාත්, ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයත් විවරණය කෙරෙන කල්පිත ගද්‍යමය ආඛ්‍යානය” යනුවෙන් නිර්වචනය වේ. කිසියම් වෙනස්වීමකට තුඩු දෙන චරිත සමූහයක අන්‍යෝන්‍ය සම්බන්ධතා ප්‍රකාශ වන්නා වූ ද එක් වරෙක දී දිගටම කියවා අවසන් කළ නොහැකි තරම් ප්‍රමාණයකින් යුක්ත වූ දීර්ඝ එහෙත් ඒකාබද්ධතාවකින් යුක්ත වූ ද “කතාව” ලෙසින් මැල්කම් කව්ලි තවත් නිර්වචනයක් දී ඇති බව අප ගුරුවර මහාචාර්ය ඒ. වී. සුරවීර තම සාහිත්‍ය කලා ප්‍රදීපිකා (විචාර වචන කෝෂ) ග්‍රන්ථයෙහි සඳහන් කොට ඇත. නවකතාව පිළිබඳ දීර්ඝ නිර්වචන හා වන මේ ඇරැඹුම, අප සාමාන්‍යයෙන් කියවා හුරු පුරුදු, නවකතා විශේෂයක්, එනම් ඓතිහාසික, වීර චරිතාපදාන රහස් පරීක්ෂක, යොවුන් ප්‍රේම ආදී වශයෙන් වර්ගීකරණය වී ඇති නවකතාවකට වඩා වෙනස් වූ අපූරු නවකතාවක් පිළිබඳව කතාබහක් සඳහාය.

මං ඔයාට ලියනවා. මං ලියනවා යනු ප්‍රංශ ජාතික ජෙවා කබාන් ලේඛිකාව විසින් රචිත Je t’ecris J’ ecris නම් හසුන්මැදි නවකතාවේ (Epistolary novel) සිංහල පරිවර්තනයයි. හසුන්මැදි නවකතාව, හසුන්පත් හෙවත් ලියුම් ගනුදෙනු මාර්ගයට විශේෂ ස්ථානයක් හිමි, නවකතා රචනා මාර්ගයකි. Epistle හෙවත් ලිපිය, සන්දේශය අර්ථ ගැන්වෙන හසුන්පත් මූලික නවකතාවක දී, ලිපි මඟින් චරිත හා සිද්ධි විකාශය වේ. නූතන නවකතා රචනයේ ආරම්භක අවස්ථාවේදී ඉංග්‍රීසි ජාතික රිචර්ඩ්සන් නම් ලේඛකයාගේ පමෙලා (Pamela) නම් කෘතිය හසුන්පත් මැදි ආකෘතියෙන් රචිත නවකතාවකි. ජෙවා කබාන් ලේඛිකාව පැරීසියේ ඉපිද සෝර්බෝන් හි ඉගෙනුම ලැබූ ලේඛිකාවකි. යෞවනයන්ට රචිත නවකතා, වැඩිහිටි නවකතා, නාට්‍ය හා ගුවන් විදුලි කතා ඇගේ නිර්මාණ අතර වේ. ‍මම ඔබට ලියනවා, මග්දෙලා නිරුවත් මරණය, ගැඹුරු නිහඬතාව ජෙවා කබාන් විසින් ලියන ලද කෘති කිහිපයකි. මං ඔයාට ලියනවා. මං ලියනවා 1995 දී ප්‍රකාශිතයි. විදේශ සංචාරයට ද ඇළුම් කළ, ජෙවා කබාන් ඇතැන්ස්, ඇල්ජියර්ස් සහ ඉතියෝපියාවේ අඩිස්අබ්බාස්, වියානා, රෝමය හා මොන්ට්‍රියෙල් ද ජෙවා ගේ ප්‍රියතම නගර අතර වීය. මේ අපූරු හසුන් මැදි නවකතාව, මෙරට පාඨකයනට හඳුන්වා දෙන්නී ‍පත්මා විජේසිංහ (වියන්ගොඩ) යි. ප්‍රාථමික අධ්‍යාපන අංශයේ ගුරුවරියක ද වූ පත්මා, මුල් ප්‍රංශ බසින් මේ කෘතිය ශ්‍රී ලාංකේය පාඨකයන් වෙනුවෙන් සිංහලට නඟන්නීය. ලේඛනයට අමතරව ඕ චිත්‍ර ශිල්පයෙහි ද දස්කම් දක්වන්නීය.

යෞවනයෙකු හා යෞවනියක අතර ඇරැඹෙන ලිපි හුවමාරුවක් පසුව යෞවනිය විසින් දින පොතක සටහන් ලිවීමට පෙලඹෙන අවස්ථාවක් දක්වා වර්ධනය වේ. කිසිදින හමු වී නොමැති යෞවනිය ජූලි මස නිවාඩුවකදී ලියුම්කරු එන‍ තෙක් මඟ බලා සිටින්නීය. අගෝස්තුවේදීත් ඈ මඟබලා සිටියා වූ ලියුම්කරු ඇගේ නමින් වන හසුනක් රැගෙන නොපැමිණෙන්නේය. ඉන්පසු ඈ අගෝස්තුවේ සිට දින පොතක සටහන් ලිවීම අරඹන්නීය. ඇගේ ශෝකය, ඇගේ තරහව ගැන ද ඈ ලියන්නීය. ඈ ඇගේ පූසි පිළිබඳවත් පූස් පැටව් පිළිබඳවත් ඇගේ මාපියන් නිවාඩුව ගත කළ අන්දම, මුහුදු වෙරළ පිළිබඳ මතකයන් ද, ඈ විසින් ඇගේ ලිපි විසිහතරෙහි සටහන් කරන්නීය. එක් අවස්ථාවක, එනම් අඟහරුවාදාවක, ඇගේ ලියුමක මෙසේ සඳහන් වේ. “තැපැල් කන්තෝරුවෙන් මං මුද්දර විස්සක්ම ගත්තා. එතකොට මං මගේ ඔක්කොම සල්ලි වියදම් කරන්නෙ ඔයා වෙනුවෙන්ම. ඔයාට ලියන්න. මං හිතනවා මට ඔයාගෙ පළවෙනි ලියුම ලැබෙයි කියලා. ඒ වගේම ඔයාට පුළුවන් වෙයි කියලා අගෝස්තුවෙ එන්න...”

තම කතාව කියන්නී ප්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණයෙනි. සරල භාෂා භාවිතය, කියවීම අත් නොහැර කියවා ගෙන යන්නට පොලඹවයි. සිකුරාදාවක ඈ තම පළමු ලිපිය අරඹන්නේ මෙසේය. “මං ඔයාට ලියනවා ඉක්මනින්ම. මං ඔයාට ලියන්නෙ දණහිස් දෙක උඩ තියාගෙන. කාර් එක ඇතුළෙ ඉඳගෙන. පාර අයිනෙ තියෙන පුංචි කැලයේ අම්මයි තාත්තයි ඇවිදිනවා. ඔයාට පේනව නේ මමයි පටන් ගන්නෙ. අපි දෙන්නා හැමදාම ලියනවා. අපි පොරොන්දු වුණා. හරිම රස්නෙයි. මං ඔයාට ගොඩාක් ආදරෙයි. මං ඔයාගෙ නම දාන්නෙ නැහැ. මං මගේ නම දාන්නෙත් නැහැ. ඒක රහසක් නිසා.” ඇගේ ලිපි කිසිවකට පිළිතුරු නොලැබෙන මොහොතකයි, ඈ දින පොතක් ලිවීම අරඹන්නී. හසුන්පත නවීන යෞවන පෙම්වතුන් පෙම්වතියන් අතර ආදරය ප්‍රකාශ කිරීමේ අවලංගු වූ මෙවලමක් ද කියා මට සිතේ. තාක්ෂණයේ දියුණුව හදවත් හි ළෙන්ගතු ඇමතුම් විලාස, අදහස් හුවමාරුව, සමීපතාව, යෞවන හදවත් තුළින් ඉවතට ඇද දමා නොවේද? ජංගම දුරකතන, කෙටි පණිවුඩ, අන්තර්ජාල සන්නිවේදනය, මුහුණු පොත, wifi, ස්කයිප් හා නවීන විද්‍යුත් සන්නිවේදන ඔස්සේ පෙරදා පෙම්පත් හුවමාරුවකින් දෙහදක් ලද මිහිර විඳි ආස්වාදය මෙදා ලබන්නේ ද යන්න සමාජ ප්‍රශ්නයක් නොවේදැයි සිතේ.

මසක් පමණ ගතවීත්, එකදු ලිපියකට හෝ පිළිතුරු නොවූ මොහොතේ, ඈ අගෝස්තු හතරවෙනි බ්‍රහස්පතින්දා දිනපොත ලිවීමට පෙලඹෙන්නීය. යෞවනියකගේ දින සටහන් සාහිත්‍යය සමඟ මාහට එක්වර සිහිවූයේ ඈන් ‍ෆ්‍රැන්ක්ගේ ලෝ පතල දින සටහන් කෘතියයි. Diary of Anne Frank 1952 දී පළමුවරට එංගලන්තයේදී ප්‍රකාශ වූ පසු මිලියන තිහකට ආසන්න පිටපත් සංඛ්‍යාවක් හා භාෂා හැට හතකට පරිවර්තනය වූ කෘතියක් බවට පත් වී තිබේ. එහෙත් දහතුන් හැවිරිදි ඈන්ගේ දින සටහන්හි අන්තර්ගතය හා ජෙවා කබාන්ගේ යෞවනියගේ දින සටහන් අතර දුරස්ථ වෙනසක් පෙනේ. දෙවන ලෝක යුද සමයේ නාසි රෙජීමයට බියෙන් ඇමැස්ටර්ඩෑම් හි රහසිගත අටල්ලක තම පවුලේ සාමාජික සාමාජිකාවන් හා වසර ගණනාවක් සැඟවී සිටියදී ලියන ලද අත්දැකීම් සහිත සටහන් ද ඈන්ගේ ජීවනාභූතීන් ඉදිරිපත් වන්නේ මුත්, ජෙවා කබාන්ගේ යෞවනියගේ අත්දැකීම් ඇතුළත් සටහන් සමඟ සංසන්දනය කළ නොහේ. ජෙවා කබාන්ගේ යෞවනිය දින සටහන් ලිවීම අරඹන අගෝස්තු හතරවනදා මෙලෙස සටහනක් ලියන්නීය. “අද අගෝස්තු හතරවන බ්‍රහස්පතින්දා. මෙ මගේ දිනපොතේ ආරම්භය. ඉස්සර මම “එක්ස්” ට ලිව්වා. (මං හිතලමයි “එක්ස්” කියල දාන්නෙ) ඒ වුණාට එක්ස්ගෙයි මගෙයි එක ඉවරයි. මං කවදාවත් එයාට ලියන්නෙම නැහැ. ඒ වගේම දිනපතා කෙනෙකුට ආයි ලියන්නෙ නැහැ. කාටවත් නෙවෙයි. මං මීට පස්සෙ ලියන්නෙ. මං මටම ලියනවා.” දින සටහන් අවසන් වන්නේ අනුවේදනීය උච්චාවස්ථාවකිනි. එහි ඇගේ ශෝකය නො අඩුව දැවැටී තැවැරී ඇත. මම ඔයාට ලියුම් දාස් ගාණක් එව්වා. මම ඔයාට ලියුම් දාස් ගාණක් හිතෙන් ලිව්වා. ඇගේ ‍සුරතලුන් පිළිබඳ සිහි කරමින් අවසාන සටහනට ජීවිතය පිළිබඳ අරුතක් ද ඈ එක් කරන්නීය. “මං ඌට (පූසිට) හැමදාම ආදරෙයි. මයේ තාත්තා කිව්වා “අපි ආදරේ කරනකොට මරණය කියලා දෙයක් නැහැ.”

මං ඔයාට ලියනවා. මං ලියනවා (සංහිඳ ප්‍රකාශනයක්) අප අපූරු කියවීමකට කැඳවාගෙන යාමට සමත් වන්නේ පරිවර්තිකා පත්මා විජේසිංහ විසින් භාවිත සරල, සුගම, කෙටි වැකි සහිත භාෂාව නිසාය. දිනෙන් දින කුතුහලය වර්ධනය කෙරෙන ලිපි මාලාව ද, යෞවනියකගේ හද පිළිබිඹු කෙරෙන දින සටහන් ද කියවන්නට අප ආසක්ත වන්නේ, ඊළඟට පසුදා කුමක් සිදුවන්නේ ද කියා දැනගැනීමේ කුතුහලයෙනි. පත්මාගේ පරිවර්තනය හා එහි තේමාව සංක්ෂිප්ත කොට දක්වා ඇත්තේ මෙසේය. “හැම ගිම්හානයකම වගේ මුහුදු වෙ‍රළේ දී හමුවන නම නොකී කෙල්ල සැම දවසකම ඈ ආදරේ කරන කොල්ලාට ලියුමක් ලියනවා. ඈ ලියනවා, මුහුදු වෙරළ ගැන, බෝට්ටුව ගැන, දෙමාපියන් ගැන. එහා පැත්තෙ ගෙදර ඉන්න කොල්ලා ගැන. පූසි ගැන. නමුත් ඇගේ ලියුම් තවමත් පිළිතුරු රහිතයි.”

බුද්ධදාස ගලප්පත්ති

[email protected]


නව අදහස දක්වන්න