මාසෙට දාහයි | දිනමිණ

මාසෙට දාහයි

“අර සම්මන්ත්‍රණයට යනවද ටොම්සන් මහත්තයා... ” කියා ඇම්බන් මහත්තයා ඇසුවේ ය.

“මොන සම්මන්ත්‍රණයටද ඇම්බන් මහත්තයා..” කියා ටොම්සන් මහත්තයා ඇසුවේ ය.

“ඇයි අර 1000 කියලා සම්මන්ත්‍රණයක් තියෙනවා කියලා පණිවිඩයක් ආවා නේද? ”

“ඔව්.. පණිවිඩයක් නම් ආවා තමයි.. ඒ වුණාට මොනවද 1000ක් කියන්නේ.. කජු ඇටද? කොස් ඇටද? නැතිනම් ඩොලර්ද? පවුම්ද? ඔය තියෙන තියෙන සම්මන්ත්‍රණවලට යන්න අපට කාලයක් තියෙනවද ඇම්බන් මහත්තයා.. මං මේ කල්පනා කර කර ඉන්නේ ලබන මාසේ විතර පොඩි හෝටලයක් දාන්න කියලා.. ඒකේ වැඩ ලෑස්ති කර ගන්නත් තියෙනවා... ” කියා ටොම්සන් මහත්තයා හුන් තැනින් නැඟිට්ටේ ය.

“ඒකට කමක් නෑ.. මාත් යනවා නේ... මේ උන්නැහෙත් යනවා නේ.. ටොම්සන් මහත්තයත් යමු.. මොනවා හරි දාහක් නේ.. ලේසි පාසු ගානක් ද? නිකම් ඉන්න එකේ යමු...”

ටොම්සන් මහත්තයාත්, ඇම්බන් මහත්තයාත්, උන්නැහේත් රැස්වීම් ශාලාවේ මැද හරියේ හිඳ ගත්තෝ ය. වේදිකාවේ පිටු පසින් තිබුණේ විශාල බැනරයකි. එහි ලොකු ඉලක්කම්වලින් 1000? කියා සලකුණු කර තිබුණි. රැස්වීම පටන් ගන්නා විට තරමක සෙනඟක් ශාලාවේ පිරී සිටියහ. හැම දෙනාම සිටියේ කුතුහලයෙනි. මොකක්ද මේ 1000.

“මේ මහත්තුරුන්ට නෝනලාට හිතෙන්නේ මොනවා 1000ක් කියලාද? ” කියා ප්‍රධාන කථිකයා සභාවෙන් ප්‍රශ්න කළේ ය.

“මං හිතන්නේ නිවාස දාහක් කියලා...”

“මං හිතන්නේ තෑගි දාහක් කියලා...”

“මං හිතන්නේ ශිෂ්‍යත්ව දාහක් කියලා...”

“මං හිතන්නේ ඉස්කෝල දාහක් කියලා...”

“නෑ... ඒ එකක්වත් නෙවෙයි.. මේ මහත්තුරු නෝනලා හිතන්නේ නැති විදිහේ දාහක්... මාසෙකට දාහක්.. කොළඹ දිස්ත්‍රික්කයේ විතරක් මාසෙකට දාහක්.. දික්කසාද නඩු දාහක්... ”

සභාව එහා මෙහා ඇඹරෙන්නට වූයේ නොසිතූ තැනකට කතාව යොමු වූ නිසා ය.

“මාසෙකට දික්කසාද දාහක්... අපි මේ රැස්වීම තියන්නේ... මේක අපට හරි ලැජ්ජාවක්..මාසෙකට දික්කසාද නඩු දාහක්... ”

“අපට තේරුණේ නෑ...ඒ මොකද ලැජ්ජා හිතෙන්නේ... එකට ජීවත් වෙන්න බැරි නම් දික්කසාද වෙන්න ඕනෑ... අපි පහු ගිය කාලෙම මේ රටේ තරුණ තරුණියන්ට ඉගැන්නුවේ ඒ ගැන තමයි.. අපි නම් මේ ගැන ආඩම්බර වෙනවා... ” කියා බොහොම වේගෙන් කිව්වේ කාන්තාවකි.

“මේ නෝනා කාන්තා සංවිධානයකින් වෙන්න ඇති... ” කියා කථිකයා ඇසුවේ ය.

“ඔව්... අපි කාන්තා සංවිධානයකින් තමයි. මහත්තයා මොකද මේ දික්කසාද 1000 ගැන ලැජ්ජා වෙන්නේ... එහෙම වෙන්න ඕනැ නෑ.. ඉස්සර අපේ අම්මලා අප්පච්චිලා විඳව විඳවා පවුල් පවත්වා ගෙන ගියාට වඩා කොච්චර හොඳද? තමන්ට එක පවුලක ඉන්න බැරි නම් දික්කසාද වෙන එක... ඒක අපේ අයිතිවාසිකමක් නේ... ”

“ඒකම තමයි මාත් මේ කියන්නේ අපි ලැජ්ජා වෙන්න ඕනෑ.. මේ කාන්තා සංවිධාන මේ තරම් අරගල කරලත්, මේ තරම් අලුත් අලුත් දේ සමාජයට උගන්නලාත්, අලුත් අලුත් අදහස් කාන්තා පත්තර, මාධ්‍ය මගින් සමාජයට ඉදිරිපත් කරලාත් මාසෙකට දික්කසාද 1000ක් වෙච්චි එක.. අපි අද මේ කතා කරන්නේ ඒක මාසෙකට දික්කසාද 2000ක් කර ගන්නේ කොහොමද කියලා.. එතකොට නේ මේ නෝනලාට ආඩම්බර.” කියා කථිකයා කොචොක් හඬින් කීවේ ය.

“මහත්තයා... දැන් ඔය පවුල් ආරවුල් නැති කරන්න ගෘහස්ථ ප්‍රචණ්ඩ නීතියක් හෙම හැදුවා නේ.. ඒකෙන් නැද්ද කිසි සහනයක්... ”

“මොකද නැත්තේ.. දැන් ගෑනිගෙයි.. මිනිහගෙයි පවුලේ අඬ දබර බේරන්නේ නීතියෙන් නේ.. ඉතින් දික්කසාද කියන්නේ ඒකට තමයි.. ”

“මහත්තයෝ දැක්කද මේ අද පත්තරේ තියෙන එක... එක තරුණ භාර්යාවක් ගිනි තියා ගෙන මැරිලා... ”

කාන්තා සංවිධාන නෝනා හරහට පැන්නා ය.

“ඒක තමයි කියන්නේ.. මොකටද ගිනි තියා ගන්නේ... දික්කසාද වුණා නම් ඉවරයි නේ.. ”

“ටිකක් අහ ගෙන ඉන්නකෝ නෝනා.... මේ ගිනි තියා ගෙන මැරිලා තියෙන්නේ අඬ දබර නිසාවත් මිනිහාගේ අඩන් තේට්ටම් නිසාවත් නෙවෙයි.. කසාද බැඳලා මාස හයක් ගිහිල්ලත් මේ භාර්යාව ගෙදරින් පිට කොහේවත් එක්ක ගිහිල්ලා නෑ කියලා... ඒ මිනිහා කියනවා මං දවසම වැඩ කරලා එන්නේ.. ඉතින් මට භාර්යාව කොහේවත් එක්ක යන්න වෙලාවක් නැති වුණා කියලා... ”

“ඔය වගේම කතාවක් මාත් දන්නවා.. එක ජෝඩුවක් දික්කසාද නඩුවක් දාන්න ගිහිල්ලා තියෙනවා.. හේතුව බැලුවාම මිනිහා බස් කොන්දොස්තර කෙනෙක්.. ගෑනි ගෙදර ඉන්නවා.. මිනිහා හවසට වැඩ ඇරිල්ලා ඇවිල්ලා ටීවී බලනවා.. ගෑනි එක්ක කතා බහක්වත් නෑ... ඒක හින්දා දෙන්නම දික්කසාද වෙන්න තීරණය කරලා... මිනිහා කියනවා. මං මුළු දවසම බස්වල මගීන් එක්ක ගැටිලා ගෙදර එන්නේ.. මට හරි මහන්සියි... ඒකයි මං ගෙදර ඇවිත් ටීවී බලන්නේ කියලා... ”

ටොම්සන් මහත්තයා සභාවේ මැද සිට නැඟිට්ටේ ය.

“මේක හරි ඛෙදවාචකයක් මහත්තයා... පවුල් ජීවිතවල අවුල වෙන පැත්තකට හැරිලා වාගේ.. ඒවා ඔය නීති දාලා විසඳන්න පුළුවන් ප්‍රශ්න නෙවෙයි... මේ සංකීර්ණ සමාජය තේරුම් අරගෙන ඒකේ ගැටලුවලට මුහුණ දෙන්න පුළුවන් අධ්‍යාපනයක් නැතිව මේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න බෑ... ”

“හරි ඉතින් මහත්තයා කියන්නේ අපි මේ 1000, 2000 කරන එක හොඳ නෑ කියලාද? ”

“හොඳයි හොඳයි.. ඔය පෙරකදෝරුවන්ට නම් හොඳයි... මං නිකං උදාහරණයක් දෙන්නම්.. දැන් බලන්න අර ඉස්කෝලේ තියනවානේ ගෘහ ආර්ථික විද්‍යාව කියලා විෂයයක්... ඒකේ ඔය කේක් හදන්න.. පැටිස් හදන්න.. ජනෙල් තිර රෙදි දාන්න.. කෑම හදන්න.. බොජුන් පත් හදන්න.. ඔය ඔක්කොම උගන්නනවානේ. ඒත් ඒවා කරන්න ගෙදරක් තියෙන්න එපායැ.. ඒක උගන්නන්න පුළුවන් එක පාඩමක් නෑනේ..ඔන්න පටන් ගන්න ඕනැ තැන.. ”

“ඒක ඇත්ත ටොම්සන් මහත්තයා... ඒ වුණාට ඒක නම් මේ කපේ දි වෙන එකක් නෙවෙයි.. ”

“ඒ මොකද මහත්තයා....” කියා ටොම්සන් මහත්තයා ඇසුවේ ය.

“මේකනේ ටොම්සන් මහත්තයා... ඒවා කරන්න පෙළ පොත් ඔස්තාද්ලාටයි... විෂය නිර්දේශ ඔස්තාද්ලාටයි තේරුමක් තියෙන්න එපායැ.. ඊටත් එහා බලපුවාම ඒවායේ ලොක්කෝ තමන් කරන දේ ගැන දැන ගෙන ඉන්න එපායැ.. ඒ හින්දා බය වෙන්න එපා ඒ මුකුත් වෙන්නේ නෑ. ඒ වුණාට අපට ලබන අවුරුද්දේ මේ රැස්වීම තියන්න පුළුවන් වෙයි 2000 කියලා... ” කථික මහත්තයා කීවේ ය.

බන්දුල පී දයාරත්න

[email protected]


නව අදහස දක්වන්න