හිට්ලර් දැවැන්ත වැඩක් | දිනමිණ

හිට්ලර් දැවැන්ත වැඩක්

ප්‍රවීණ නාට්‍යවේදී ඩග්ලස් සිරිවර්ධන විසින් මීට වසර තිහකට ඉහත නිෂ්පාදනය කළ ‘හිට්ලර්’ වේදිකා නාට්‍යය නව නිෂ්පාදනයක් ලෙසින් මේ මස 05 හා 06 දිනවල පස්වරු 6.30ට ටවර් රඟහලේ දී වේදිකා ගතවෙයි. ‘හිට්ලර්’ වේදිකා නාට්‍යය පිළිබඳත්, වේදිකා නාට්‍ය කලාව පිළිබඳත් ඔහු සමඟ ‘රසමංජරිය’ට කළ සාකච්ඡාවකි මේ.

‘අඹු සැමියෝ’, ‘සුබ සැන්දෑවක්’, ‘සිහල වංශලා’ ආදී නාට්‍ය රැසක් ප්‍රේක්ෂකයන් හමුවට රැගෙන පැමිණි සම්මානනීය නාට්‍ය නිෂ්පාදකයකු වන ප්‍රවීණ නාට්‍යවේදී ඩග්ලස් සිරිවර්ධන කලකට පසුව නැවතත් වේදිකාවට පිවිසෙයි. ඒ ‘හිට්ලර්’ සමඟිනි. එහි ප්‍රධාන චරිතය රඟපෑ දිවංගත ප්‍රවීණ නාට්‍යවේදී එච්. ඒ. පෙරේරාගේ හයවන ගුණ සමරුව වෙනුවන් ඔහුට උපහාරයක් පිණිස වේදිකාවට නැවත ගෙනෙන ‘හිට්ලර්’ දෙවන ලෝක යුද්ධය පසුබිම් කරගෙන, යුද්ධයේ අමානුෂික බව පිළිබඳ නිර්මාණය කළ වේදිකා නාට්‍යයකි.

* “ඔබ ‘හිට්ලර්’ වේදිකාවට රැගෙන පැමිණීමෙන් බලාපොරොත්තු වූයේ එච්. ඒ. පෙරේරා නාට්‍යවේදියාව සිහිපත් කිරීම ද?”

“එච්. ඒ. පෙරේරාත් කියන රංගධරයා සමඟ එකමුතුවෙන් මා ශ්‍රී ලංකාවේ හැමතැනක ම ගිහින් වැඩමුළු රාශියක් කළා. විශේෂයෙන් තරුණ සේවා නාට්‍ය පාසල ඒ ආයතනයේ අනුග්‍රහය ඇතුව ආරම්භ කළේ මමයි, එච්. ඒ.පෙරේරායි. එහි අපි පාඨමාලා අධ්‍යක්ෂවරුන් වුණා. ඒ වගේ ම ටවර් රඟහල පදනමට ආවට පස්සේත් ඔහු එහි උපදේශකවරයෙකු විදියට කටයුතු කළා. බොහෝ අවස්ථාවල පෞද්ගලික ජීවිතයේ දී නාට්‍ය උපදේශකවරුන් ලෙස අප දෙදෙනා කටයුතු කළ බවත් කිව යුතුයි. මේ ආකාරයෙන් එක්ව කටයුතු කිරීම නිසා ලැබුව අත්දැකීම් සමඟ අප දෙදෙනා අතර ඇතිවුණේ අපූරු සහෝදරත්වයක්. ඒ කාරණය වගේම මගේ ‘හිට්ලර්’ වේදිකා නාට්‍යයේත් අප එකට රඟපෑවා. ඒ විතරක් නොවෙයි එහි සහය අධ්‍යක්ෂවරයාත් ඔහුයි. ඔහු මිය ගියාට පස්සේ යමක් කළ යුතුයැයි සිතුණත්, ඊට අවස්ථාව ලැබුණේ නැහැ. ඒ වගේම එච්. ඒ. පෙරේරා සමඟ සහභාගි වී කළ වැඩමුළුවල අභ්‍යාස පිළිබඳ පොතක් ලියන්න සිතාගෙන සිටියා. ඔහු කළ නාට්‍ය කලාව ඇතුළේ රංග කලා රංගනය පිළිබඳ ප්‍රගුණ කළ දේවල් ආශ්‍රය කරගනිමින් ලිපි එකතුවක් සකස් කළ යුතුයැයි සිතුණා. මේ කිසිවක් කරන්නට මට මෙතෙක් හැකියාව ලැබුණේ නැහැ. මෙහෙම ඉන්න අතරෙයි වසන්ත විට්ටච්චිත්, ජයලාල් රෝහණත්, මමත් නාට්‍යයක් නරඹලා අවසානයේ එකඟතාවකට පැමිණෙන්නේ. ඒ එච්. ඒ. වෙනුවෙන් යමක් කරමු කියලා. එතැනදියි මා යෝජනා කරන්නේ ඔහු වෙනුවෙන් ‘හිට්ලර්’ වේදිකා ගත කරන්න. ඒ අදහසයි මේ ක්‍රියාත්මක වෙන්නේ.”

එකල ඩග්ලස් නම් තරුණයා අතින් ‘හිට්ලර්’ නිර්මාණය වන්නේ වෙනස් ම ආකෘතියක් ඔස්සේ ය. වේදිකා නාට්‍යය වේදිකා ගතවන අතරතුර දෙවන ලෝක යුද සමය අලළා නිමැවුණු සත්‍ය චිත්‍රපටයක් ද මෙහි තිරය මත පතිත වනු ඇත. බොහෝ විචාරකයන් පවසන්නේ ඒ අයුරින් එදා චිත්‍රපටයක් සහ ස්ටීරියල් සවුන්ඩ්ස් වේදිකාවක භාවිත වුණේ පළමු වතාවට බව ය.

* “එවැනි නිර්මාණ කාර්යයක් නැවතත් වේදිකාවට රැගෙන පැමිණීමට බලපාන්නට ඇත්තේ සිය නාට්‍ය සඟයාගේ ගුණානුස්මරණය පමණක් බව අපට පිළිගත හැකි නොවේ. මේ සඳහා බලපෑ අනෙකුත් කාරණා මොනවා ද?”

“මේ නාට්‍යය වේදිකා ගත කරන්න තවත් කාරණා රැසක් ම මට බලපෑම් කළා. පසුගිය දවස්වල නැවතත් එදා වගේ නාට්‍යයක් කිරීමේ උවමනාව මගේ සිතේ පිළිසිඳ ගෙනයි තිබුණේ. ඒ සඳහා ඇරැඹුමක් හා අත්හදා බැලීමක් ලෙසත් මේ නාට්‍යය නිර්මාණය යොදා ගන්න මා සිතුවා. ‘හිට්ලර්’ කියන්නේ ලෙ‍හෙසි පහසු නාට්‍යයක් නොවෙයි. ඒ වගේම එච්. ඒ. පෙරේරා වගේ ජ්‍යෙෂ්ඨ නළුවෙකු කළ චරිතයට කෙනෙකු පුහුණු කිරීම හා සමහර ප්‍රධාන චරිතවලට නළු - නිළියන් පුහුණු කිරීම මඟින් ‘හිට්ලර්’ කරනවා කියන්නේ ලොකු අභ්‍යාසයක්. එදා තරම් ම අදත් ඊට වෙහෙස විය යුතුයි. මේ කාරණාත් ‘හිට්ලර්’ වේදිකා ගත කරන්න හේතුවුණා. එහි රඟපාන සියලු ම නළු - නිළියන් ටවර් රංග කලා පාසලේ ඉගෙන ගත්ත ළමයින්. ඔවුන් විසින්මයි නාට්‍යයේ රංගාලෝකය, අංගරචනය ඇතුළු අනෙකුත් සියලු ම කටයුතු කරන්නේ. ඒ නිසා අලුත් නළු - නිළියන් පිරිසක් බිහි කිරීම එච්. ඒ. වෙනුවෙන් කළ හැකි හොඳම උපහාරය ලෙසයි මා දකින්නේ. ඒ උපහාරය කරන්න මේ මාසේ තුන්වැනිදා සවස 2.30ට ටවර් රඟහලේ දී නාට්‍යය දර්ශනයක් පවත්වනවා. එය එච්. ඒ.ට උපහාරයක් ලෙස කරන විශේෂ දර්ශනයක්. ඊට අමතරව 05, 06 දිනවල ඔහුට උපහාරයක් පිණිස වේදිකා ගතවන ‘හිට්ලර්’ නාට්‍යයේ සම්පත් තෙන්නකෝන්, රත්නා ලාලනී ජයකොඩි, ගාමිණී හෙට්ටිආරච්චි, උදේනි අල්විස්, ජනක් ප්‍රේමලාල්, ජයලාල් රෝහණ චරිත නිරූපණය කරන අතර අංගරචනය වසන්ත විට්ටච්චිගෙන්. එදා එච්. ඒ. රඟපෑ කාල්ගේ චරිතය මෙදා රඟපාන්නේ චම්මින්ද මැදගෙදරයි. මේ සියලු දර්ශන පැවැත්වෙන්නේ නොමිලයේයි.”

‘හිට්ලර්’ වේදිකා නාට්‍යය එදා නැරැඹූ අයට ගෙන ආවේ අලුත් අත්දැකීමකි. මේ නිර්මාණය වර්තමාන පරපුරට ද නව නාට්‍යය අත්දැකීමක් ගෙන එනු නියත ය. අද මෙහි රංගනයේ නියැළෙන තරුණ පරපුර එදා ‘හිට්ලර්’ වේදිකා ගතවන විට ඉපදීමට තබා සිතලාවත් තිබුණේ නැති වග අපට සහතික විය හැකිය.

* “ එදා ‘හිට්ලර්’ වේදිකා නාට්‍යයේ රඟපෑ නළු - නිළියන් අද ක්ෂේත්‍රයේ ප්‍රවීණ රංගන ශිල්පීන් පිරිසකි. ඔවුන්ගේ තෝරා ගැනීමත්, දක්ෂ නළු - නිළියන් සොයා යෑමත් සිදු වන්නේ ඔබගේ මූලිකත්වයෙන් නේද?”

“මගේ පළමු නාට්‍යය වුණු ‘අඹු සැමියෝ’ වේදිකා නාට්‍යය නිර්මාණය වෙන්නේ 1976 දී. පරාක්‍රමගේ හා එච්. ඒ. ගේ පළමු නාට්‍යය ‘සෙක්කුව’ යි. රාජ්‍ය නාට්‍ය උලෙළට අපි නාට්‍ය ඉදිරිපත් කළා. එහෙත් නාට්‍ය අනු මණ්ඩලයට විරුද්ධ ප්‍රකාශ කිරීමෙන් මගේ නාට්‍යය ඒ වසරේ දි අවසන් වටයේ දී ඉවත්කර ගන්නවා. එහෙම කළත් මම අනෙක් නාට්‍ය නරඹන්න ආවා. ඒ නාට්‍ය උලෙළේ සම්මාන ලබා ගත්තේ පරාක්‍රම හා ධර්මසිරියි. ඔවුන් දෙදෙනා වගේ ම ගාමිණී හෙට්ටිආරච්චි ඇතුළු අපි හැමෝම සහෝදර නාට්‍ය ශිල්පීන් ලෙස ඒ කාලයේ සහෝදරත්වයෙන් එකට බැඳිලයි සිටියේ. ඒ විතරක් නොවෙයි ඒ කාලයේ එච්. ඒ.ගේ සිතේ ගොඩනැඟී තිබුණු ජනතාවාදී ආකල්පය අප අතර බැඳීමක් නිර්මාණය කළා. ඔහුට අවශ්‍ය වී තිබුණේ ජනතාවට හිතවාදී නාට්‍ය කලාවක්. වීදි නාට්‍ය කළ කෙනෙක් විදියට ඊට ඔබ්බට ගිහින් නළු - නිළියන් පුහුණු කිරීම ඇතුළු ක්‍රියාවලියක යෙදෙන්න ඔහුට උවමනා වුණා. එහි ප්‍රතිඵලයක් විදියටයි සෝවියට් මිත්‍ර සංගමයේ මම, එච්. ඒ, වසන්ත, පරාක්‍රම එකමුතුවෙන් සෑම වසරක ම දින දහයක නොමිලේ වැඩමුළුවක් කරන්නේ. ඒ මඟින් කලඑළි බැස්ස පිරිසයි එදා ‘හිට්ලර්’ නාට්‍යයේ එච්. ඒ. ලට අමතරව රඟපෑවේ. ජයලාල් රෝහණ, උදේනි අල්විස් වගේ අද කලා ලොවේ සක්මන් කරන, නමක් දිනාගෙන සිටින නාට්‍යකරුවන් බිහි වෙන්නේ ඒ හරහායි. ඒ වගේ ම නව පරපුරක් බිහිකර ගැනීමේ උවමනාව මට වගේ ම එච්. ඒ.ටත් තිබුණු පොදු අදහසක්. ඒ සඳහා අපි තරුණ සේවා එක හරහා දිස්ත්‍රික් සංචිත හදන්න රට වටේ ම ගියා. මේ ඔස්සේ අපි දක්ෂයන් ගෙනාවා. අද ඉන්න මිහිර සිරිතිලක, මාදනී මල්වත්ත, සුමිත් රත්නායක, සම්පත් ජයවීර ආදී බොහෝ නළු - නිළියන් මේ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ඒ හරහායි.”

‘හිට්ලර්’ වේදිකා නාට්‍යයට පාදක වන්නේ දෙවැනි ලෝක යුද සමයේ වූ හිට්ලර්ගේ ක්‍රියාකලාපයි. පසුගිය කාලයේ යුද්ධයේ බිහිසුණු බව අපි ද අත්වින්දෙමු.

* “මෙවැනි නිර්මාණයක් ඔබගේ සිතේ පිළිසිඳ ගැනීමට හේතු වූ විශේෂ කාරණයක් තිබේ ද?”

“83 වසරේ අපේ රටේ පැවතුණු ජාතිවාදී අරගලය දැකලා ඒ ඔස්සේ ඇතිවුණු කම්පනයෙනුයි මා ‘හිට්ලර්’ නිර්මාණය කරන්නේ. ඒ වනවිට මේ රටේ භීෂණයක් ඇතිවෙලා තිබුණේ නැහැ. නමුත් භීෂණයක ලක්ෂණ පහල වෙලා තිබුණා. අසූහත, අසූඅට, අසූ නවය වසරවලදි පැහැදිලිව ම භීෂණයේ උපරිමයට ගියා. ඒ වනවිට මේ නාට්‍යයෙන් කිව්ව දේවල් ඇත්ත වුණා. එදා අසූ තුනේ මා සිතුව දේ ඊට පස්සේ අපේ සමාජයේ සැබෑවක් බවට පත්වුණා.”

* “නමුත් අද අපේ රටේ භීෂණයක් වගේ ම යුද්ධයක් ඇත්තේත් නැහැ.”

“එහෙම කිසිම පරිසරයක් අද වනවිට අපේ රටේ නැහැ. ඒ නිසා අද කිසිවෙකුත් ඇයි ‘හිට්ලර්’ කරන්නේ කියලා වැරැදි අර්ථකථනයක් නොකළ යුතුයි. මා මේ උදා කරන්නේ මෙවැනි පර්යේෂණ නාට්‍යයක් තරුණ පරපුරට නැවතත් නැරැඹීමේ ඉඩ හසරයි. වර්තමානයේ සිටින පරපුර මෙවැනි කාලපරිච්ජේදයක් ලෝකේ තිබුණා දැයි දන්නේත් නැහැ. මෙහි රඟපාන නළු - නිළියන් පවසන්නේත් මේ තරම් බිහිසුණු දෙවැනි ලෝක යුද්ධයක් ගැන ඔවුන් නොදන්නා බවයි. ලෝකයේ රටවල් හැටඑකක් පුරා මේ තරම් මිනිස්සු ප්‍රමාණයක් මිය ගිය, ප්‍රබල සිදුවීම් ගණනාවක් සිදුවුණු දෙවැනි ලෝක යුද්ධය ගැන ඔවුන් සොයන්න උනන්දු වෙන්නේ දැනුයි. ඒ මේ නාට්‍යය පුහුණු වීම් කරන්න ගියාට පස්සෙයි.”

මීට පෙර වසර කිහිපයකට ඉහත වේදිකා ගතවුණු ඩග්ලස් සිරිවර්ධන තරුණයාගේ ‘හිට්ලර්’ දැවැන්ත වේදිකා නිර්මාණයකි. වරක් එය රාජ්‍ය නාට්‍ය උලෙළේ දී තරග කරන්නේ ප්‍රවීණ නාට්‍යවේදී සුගතපාල ද සිල්වාගේ ‘මරාසාද්’ නම් දැවැන්ත වේදිකා නාට්‍යය සමඟ ය. එහිදී ‘හිට්ලර්’ සඳහා හොඳම රංගාලෝක නිර්මාණය, හොඳම පසුතල නිර්මාණය, හොඳම ඇඳුම් නිර්මාණය, හොඳම අංගරචනය යන සම්මාන කිහිපය හිමිකර ගැනීමට තරම් ඩග්ලස් දක්ෂ තරුණ නාට්‍යකරුවකු වෙයි.

* “වර්තමානය වනවිට නිර්මාණය වී ඇති බාල බොලඳ හාස්‍ය රුල්ලට ප්‍රවීණයන් දොස් පවරනවා. ඔබත් ඒ ප්‍රවීණයන් ගණයට ම ද අයත් වන්නේ?”

අද ඉන්න තරුණ පරපුරට හාස්‍ය නාට්‍ය කරනවා යැයි පවසමින් දොස් පවරනවා. බොහෝ වෙලාවට නවක තරුණ පරපුර ආදර්ශයට ගන්නේ ප්‍රවීණයන්. ඉතිං අපි නාට්‍ය කලාවේ ජ්‍යෙෂ්ඨයන් විදියට කළ යුත්තේ ඔවුන්ව විවේචනය කරනවාට වඩා ඔවුන්ට සාප කරනවාට වඩා ඔවුන්ට ඇගයීමක් ලැබෙන, ආදර්ශයක් ලැබෙන ‘හිට්ලර්’ වැනි නාට්‍ය කිරීමයි. ඔවුන්ට ඒවා අලුතින් නරඹන්නට ඉඩකඩ සලසා දීමත් වැදගත්. ඒ වගේ ම අලුත් නාට්‍ය කරන එකත් වැදගත් බවයි මා පවසන්නේ. අලුත් පරපුරට අවශ්‍ය ශක්තිය සැපයිය යුත්තේ අප විසින් බවයි මා සිතන්නේ. තරුණ පරපුර විදියට අපේ කාලයේ අපි නැරැඹුවේ මහාචාර්ය සරච්චන්ද්‍රගේ, සුගතපාල ද සිල්වාගේ, දයානන්ද ගුණවර්ධන, ගුණසේන ගලප්පත්තිගේ, බන්දුල ජයවර්ධනගේ, හෙන්රි ජයසේන, රන්ජිත් ධර්මකීර්ති වැනි ප්‍රවීණ මහත්වරුන්ගේ නාට්‍යයයි. ඒ නාට්‍ය අපට බර වැඩිවුණු බව සත්‍යයක්. ඒවා අපට ඔරොත්තු දුන්නෙත් නැහැ. ඒත් අපි ඒ පසු පස්සේ ගියා. එකපාරක් නොවෙයි මේ නාට්‍ය දෙපාර, තුන්පාර නැරැඹුවා. එහෙත් එදා වගේ නොවෙයි අද පරපුරට අපට වගේ නරඹන්න නාට්‍ය ඇත්තේ නැහැ. මම රාජ්‍ය නාට්‍ය උලෙළට ‘හිට්ලර්’ නාට්‍යය ඉදිරිපත් කළේ ආර්. ආර්. සමරකෝ, සුගතපාල ද සිල්වා, දයානන්ද ගුණවර්ධන, රන්ජිත් ධර්මකීර්ති වගේ ප්‍රවීණ නාට්‍යකරුවන්ගේ නිර්මාණත් සමඟයි. ඒත් සම්මාන කිහිපයක් ම ලබා ගන්න ඒ වෙලාවේ මට හැකියාව ලැබුණා. මේ වගේ අත්දැකීම් අපට ලබා ගන්න පුළුවන් වුණත් අද පරපුරට එහෙම අත්දැකීම් ලැබෙන්නේ නැහැ. ඒක බොහොම කනගාටුවට කාරණයක්. අද නිර්මාණවලින් මිනිස්සුන්ට මතුපිටින් හිනාවෙනවා වෙනුවට අභ්‍යන්තරයෙන් හිනා වෙන්න සැලැස්සුවොත්, ඔවුන්ව ප්‍රඥා සම්පන්න කළොත් එයයි වැදගත් වෙන්නේ. මා ‘හිට්ලර්’ නැවත වේදිකාවට රැගෙන ඒමෙන් බලාපොරොත්තු වන්නේ එයයි. මෙහි යොදා ගන්නා තාක්ෂණය හා ආකෘතිය එදා කොහොමද මා යොදා ගත්තේ කියලා ඔවුන්ට වැදගත් වේවි. එදා භාවිත කළ ස්ටීරියෝ හඬ පටය එලෙසින්ම අදත් භාවිත කරනවා. නාට්‍ය නරඹලා අවසන් වුණාට පස්සේ ප්‍රේක්ෂකයාට ඒ නිර්මාණය දැනෙන්න ඕනෑ. ඒ නිසා චිත්‍රපටයකින් කරන දේ නාට්‍යයකින් කරලා පෙන්වීමේ අභියෝගය ජයගන්නේ කොහොමද කියලා මෙහිදී නව පරපුරට දැක ගන්නට ලැබේවි. මට පවසන්නට තිබෙන්නේ ඒ කියන කාරණය එක කටකින් කියන්න බැහැ. ඇවිත් නාට්‍ය නරඹලාම මේ අත්දැකීම විඳ ගන්න යන්නයි.

තිලානි ශානිකා විතානාච්චි

ඡායාරූපය-මාලන් කරුණාරත්න

නව අදහස දක්වන්න