සජින් වාස් 2012ට වත්කම්-බැරකම් දී නෑ | දිනමිණ

සජින් වාස් 2012ට වත්කම්-බැරකම් දී නෑ

සිරන්ජනි කුමාරි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා 2012 වර්ෂයට අදාළව සිය වත්කම් බැරකම් ප්‍රකාශ පාර්ලිමේන්තුව වෙත ලබා දී නොමැති බවට පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් පරාක්‍රම මහතා ඊයේ (02) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණ ආටිගල මහත්මිය හමුවේ සාක්කි දෙමින් පැවැසීය.

එහෙත් 2010, 2013 හා 2014 වර්ෂවලට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ මන්ත්‍රීවරයා විසින් 2015.01.19 වන දින කතානායක වෙත බාර දී ඇති බවට හෙතෙම වැඩිදුරටත් සාක්කි දෙමින් පැවසීය.

2012.03.31 දින සිට 2012.06.30 අතර කාලයේදී සිය වත්කම් බැරකම් වාර්ෂික ප්‍රකාශනය සාධාරණ හේතුවක් නොමැතිව ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ බව පවසමින් අල්ලස් කොමිසම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව පවරා තිබූ නඩුවේ නඩු විභාගය ඊයේ (02) ආරම්භ කරමින් නියෝජ්‍ය මහ ලේකම්වරයා අධිකරණය හමුවේ සාක්කි ලබා දෙමින් එලෙස පැවසීය.

අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් (නීති) සුභාෂිණි සිරිවර්ධන මහත්මියගේ මෙහෙය විම මත පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ‍ලේකම්වරයා පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වර්ෂයක් පාසා සිය වත්කම් බැරකම් ප්‍රකාශ කතානායකවරයා වෙත ලබා දිය යුතු බවකි. එලෙස ලබා නොදෙන මන්ත්‍රීවරුන්ට සිහි කැඳවීම් ලිපි පොදුවේ යොමු කරන බවත්ය.

සජින් වාස් ගුණවර්ධන මහතා ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් 2010, 2011, 2013 හා 2014 වර්ෂවලට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ 2015.01.19 වන දින කතානායක වෙත බාර දී තිබුණත් 2012 වර්ෂයට අදාළව සිය වත්කම් බාරකම් ප්‍රකාශ ලබාදී නොමැති බවට නියෝජ්‍ය ලේකම්වරයා සාක්කි දෙමින් පැවසීය.

මෙහිදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජිවන්ත ජයසිංහ මහතා සාක්කිකරු වෙත හරස් ප්‍රශ්න යොමු කරමින් මෙසේද විමසීය.

නීතිඥ - ඔබ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් ද?

සාක්කිකරු - ඔව්.

නීතිඥ - මහා ලේකම් කාර්යාලයේ සිදුවන්නේ මොනවාද?

සාක්කිකරු - පාර්ලිමේන්තු කටයුතු සඳහා අවශ්‍ය කටයුතු සැලැස්වීම හා පරිපාලනමය කටයුතු

නීතිඥ - ඔබ සජින් වාස් හඳුනනවාද?

සාක්කිරු - පාර්ලිමේන්තු මන්ත්‍රීවර‍යකු වශයෙන් හඳුනනවා.

නීතිඥ - හිටපු ජනාධිපතිගේ සම්බන්ධීකරණ ලේකම් වශයෙන් ඔබ ඔහු හඳුනනවාද?

සාක්කිකරු - අසා තිබෙනවා.

නීතිඥ - 2005 සිට 2015 ජනාධිපති ලේකම් කවුද?

සාක්කිකරු - ලලිත් වීරතුංග

නීතිඥ - මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ වසරක් පාසා ලබා දිය යුතුද?

සාක්කිකරු - එක් එක් ආකාරයට ලබා දෙනවා.

නීතිඥ - වත්කම් බැරකම් ප්‍රකාශය කියන්නේ මොකක්ද?

සාක්කිකරු - දේපළ ඉඩ කඩම්, යාන වාහන විස්තර ඇතුළත් ප්‍රකාශයක්

නීතිඥ - වර්ෂයෙන් වර්ෂයට වත්කම් බැරකම්වල අන්තර්ගතය වෙනස්වන්න පුළුවන්ද?

සාක්කිකරු - අභ්‍යන්තරයේ අඩංගු දෑ පිළිබඳව අවබෝධ නැහැ. නීතිමය ප්‍රතිපාදන අනුව වත්කම් බැරකම් ප්‍රකාශ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලනවා. නමුත් ඒවා විවෘත කරන්නේ නැහැ. ඉල්ලීමක් කළහොත් පමණයි විවෘත කරන්නේ.

නීතිඥ - වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ අයට ගන්නා ක්‍රියාමාර්ගය මොකක්ද?

සාක්කිකරු - සිහි කැඳවීම් ලිපි යවනවා. වෙන‍ෙදයක් කරන්නේ නැහැ.

නීතිඥ - නීතිය උල්ලංඝනය වෙලා, ක්‍රියාමාර්ග ගන්නේ නැහැ.

සාක්කිකරු - කථානායක ක්‍රියාමාර්ග ගන්නවා.

නීතිඥ - වෙනත් අයට ගන්න පුළුන්ද?

සාක්කි - ඔව්, අල්ලස් කොමිසමට

නීතිඥ - අල්ලස් කොමිසම ඔබෙන් විමසනවා. නැතුව පාර්ලිමේන්තුව කොමිසම වෙත පැමිණිලි කරන්නේ නැහැ.

සාක්කිකරු - විත්තිකරුගේ හා තවත් මන්ත්‍රීවරු කිහිපදෙනෙකුගේ වත්කම් බැරකම් ප්‍රකාශ පිළිබඳව අල්ලස් කොමිසම අපෙන් විමසුවා. ඔවුන් ලබා දුන් ප්‍රකාශවල පිටපත් කොමිසම වෙත ලබා දී සෙසු ප්‍රකාශ අපට නොදුන් බවට ප්‍රකාශ ලබා දුන්නා.

නීතිඥ - වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දෙන හා නොදෙන මන්ත්‍රීවරු සම්බන්ධ ලැයිස්තුගත වීමක් සිදු වෙනවද?

සාක්කිකරු - පොතක් පවත්වාගෙන යනවා.

අදාළ ලේඛන නොමැතිකමින් නඩු විභාගයේ හරස් ප්‍රශ්න විමසීම මැයි 11 වන දිනට කල් තැබූ මහේස්ත්‍රාත්වරිය ලේඛන කතානායක හරහා අයදුම්පත්‍රයක් යොමු කර ලබා ගන්නා ලෙසට විත්තියට නියම කළාය.

නව අදහස දක්වන්න