සාග් ක්‍රීඩා රන් දිනන්න ක්‍රීඩා ඇමැතිගේ අතහිත | දිනමිණ

සාග් ක්‍රීඩා රන් දිනන්න ක්‍රීඩා ඇමැතිගේ අතහිත

නිරෝෂාන් ප්‍රියංකර

ක්‍රීඩා ඉතිහාසයේ ලබාදුන් දැවැන්තම මුදල් ප්‍රමාණයක් දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කර ගනිමින් ක්‍රීඩා සංගම්වලට ලබාදුන් බවත්, එම සංගම් මෙවර ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 37ක් අත්කර දෙන බවට සහතික වී ඇති බවත් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසයි.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවන මාධ්‍යවේදීන්ගේ හමුවකදී මේ අදහස් පළ කළ ඇමැතිවරයා, රන් පදක්කම් 37ක් කෙසේ වුවත්, අවසන් වරට පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී දිනාගත් රන් පදක්කම් 16 අභිබවා යන්නේ නම් එය විශාල ජයග්‍රහණයක් බව පැවැසීය.

ඔක්තෝබර් මාසයේදී තමන් ක්‍රීඩා ඇමැතිවරයා ලෙස වැඩ බාරගන්නා විට මේ සඳහා කිසිදු වැඩපිළිවෙළක් හෝ සංචිතයක් ස්ථාපිත කර නොතිබූණ ද මෙලෙස විශාල මුදල් ප්‍රමාණයක් ලබාදී ක්‍රීඩා අමාත්‍යාංශය මගින් දැවැන්ත සහයෝගයක් ලබාදෙමින් මාස කිහිපයක් තුළ ආසියානු ක්‍රීඩා උළෙල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සූදානම් කිරීමට හැකිවූ බවද ඇමැතිවරයා පැවැසීය.

එබැවින් සියලු නිලධාරීන්, පුහුණුකරුවන් ක්‍රීඩකයන් රට ඉදිරියෙන් තබාගෙන කටයුතු කරමින් ශ්‍රී ලංකා කොඩිය දකුණු ආසියාවේ ඉහළින් ඔසවා තැබීමට කටයුතු කරනු ඇතැයි ඒ මහතා විශ්වාසය පළ කළේය.

ජාතික වොලිබෝල් සංගම්යට රුපියල් කෝටියකට අධික මුදලක් ලබාදී ඇති අතර, පාපැදි සංගමයට ලක්ෂ 84, වුෂු ලක්ෂ 76, මල්ලවපොර ලක්ෂ 74, ස්කොෂ් ලක්ෂ 64, බැඩ්මින්ටන් ලක්ෂ 61, මේස පන්දු ලක්ෂ 58, ටයිකොන්ඩෝ ලක්ෂ 53, හොකී ලක්ෂ 52, පැසිපන්දු ලක්ෂ 49, පාපන්දු ලක්ෂ 48, බර ඉසිලීම ලක්ෂ 46, බොක්සිං ලක්ෂ 42, ජල ක්‍රීඩා ලක්ෂ 20 හා දුනුවීදීම ලක්ෂ 10ක් බැගින් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලබාදී තිබේ.

ක්‍රීඩා 16ක් සඳහා විදෙස් පුහුණුකරුවන් ලබාදී ඇති අතර පුහුණුකරුවන්ටද ගෙවීම් කරමින් මේ ක්‍රීඩා උළෙල කණ්ඩායම් සූදානම් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කර ඇත.

මේ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන්, ජාතික ඔලිම්පික් කමිටුව, පුහුණුකරුවන් හා ක්‍රීඩක ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබාදුන් සහයෝගයද ඇමැතිවරයා අගය කළේය.

මෙවර තරගාවලිය සඳහා හොකී කණ්ඩායම සහභාගිවීම වළකාලමින් හිටපු හොකී ක්‍රීඩකයකු පෙරේදා (3) අධිකරණ නියෝගයක් ගෙන තිබිණි. ඒ පිළිබඳ අදහස් දැක්වූ ඇමැතිවරයා උසාවිය නොමග යවමින් හොකී පිල තරගාවලියට සහභාගිවීම වළක්වමින් එක් ක්‍රීඩකයකු වාරණ නියෝගයක් ලබාගෙන ඇති බවත්, තමන්ගේ පුද්ගලික උවමනාව වෙනුවෙන් රට නියෝජනය කරන කණ්ඩායම තරගාවලියට එක්වීම වැලක්වීමට කටයුතු කිරීම කනගාටුවට කරුණක් බව පැවසීය.

ක්‍රීඩා සංගම් තුළ තිබෙන යම් යම් අර්බුද නිර්මාණය වීම සඳහා මෙවැනි කරුණු බලපාන බවත් ඒවා විසඳීමට කටයුතු කරන බවත් පැවසු ඇමැතිවරයා කෙසේ වෙතත් මේ ක්‍රීඩකයාගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් මතුවු ගැටලුවක් හේතුවෙන් ඔහු සංචිතයට එක් කර නොමැති බව පැවැසීය.

“ඒ ක්‍රීඩකයාගේ ශාරීරික යෝග්‍යතා ගැන ප්‍රශ්න තියෙනවා. ඒ බව පාකිස්තාන පුහුණුකරුත් මට දැන්වුවා. මෙයා උසාවිය නොමග යවලා තියෙන්නේ. නීතිපති දෙපාර්තමේන්තුව මැදිහත් වීමෙන් 8වැනිදා ගන්න තිබුණ නඩුව අද (5) දිනයට ගත්තා. මේ නඩුව නිසා ක්‍රීඩා උළෙලට යන අනිත් අයටත් ගැටලු මතුවෙලා. මේක අපේ ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර තරගයකට යන්න තියෙන අවස්ථාවක්. කොහොම උනත් පෞද්ගලික උවමනා වෙනුවෙන් මේ රටේ ක්‍රීඩාවට මෙවැනි දෙයක් සිදුවීම කනගාටුවට කරුණක්“ යැයි ජයසේකර මහතා කියා සිටියේය.

කෝ-කෝ ක්‍රීඩා පුහුණුකරු සම්බන්ධයෙන් ගැටලුවක් තිබුණද එම ක්‍රීඩාව මෙරටට හඳුන්වාදුන් පුද්ගලයා ලෙසත් කණ්ඩායමේ පුහුණුකරු ලෙසත් කටයුතු කරන හෙයින් ඔහුට දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගිවීමට ක්‍රීඩා අමාත්‍යාංශය අවසර දී තිබේ. එහෙත් ඔහු මින් පෙර කණ්ඩායමක් සමග විදෙස් ගතව එහිදී කණ්ඩායමෙන් මිදී පලායාම සම්බන්ධව චෝදනා එල්ල වෙයි. එම වරද සම්බන්ධයෙන් පරීක්ෂනයක් කිරීමෙන් පසු ගතයුතු ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කරන බව ඇමැතිවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියෙන්ම සිටින කරුණාරත්න සොහොයුරන් වටිනා ක්‍රීඩකයන් බැවින් ඔවුන් සංචිතයට එක් නොවීම කනගාටුවක් බවත්, අදාළ දෙපාර්ශවයේ කරුණු සලකා බැලුවද මේ සඳහා අතදිගු කළ යුත්තේ අදාළ සංගම්වලට බවත් පැවැසූ ඇමැතිවරයා සංචිත තෝරා ගැනීම අවසන් මොහොතේ සිදු කිරීම නිසා මෙවැනි තත්ත්වයන් ඇති වන බවත් පැවැසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් කළ විමසීමකදී ඇමැතිවරයා පැවැසුවේ කිසිවකු හෝ ඒ සඳහා යැවීමට තමන් අවශ්‍ය නොවූ බවත් ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනා සැකකරුවන් ලෙස නොව එහි සිදුවන පරීක්ෂණයට සහය සහයෝග දීමට සාක්ෂි ලබාදීමට ගිය බවත්ය. ඔවුන් වැරදි කරුවන් ලෙස එහි නොගිය නිසා සැකකරුවන් හොරුන් හෝ මංකොල්ලකරුවන් ලෙස හංවඩු ගැසීම ඉතාම වැරදි සහගත ක්‍රියාවක් බව කීවේය.

පළාත් ක්‍රීඩා නිලධාරීන් ඇතුළු නිලධාරීන් 150කට ආසන්න පිරිසක් මේ ක්‍රීඩා උළෙලට යැවීමට තීරණය කළේ ඔවුන්ට අත්දැකීම් ලබාගැනීමටත්, ඉදිරියේ දී මෙරට පැවැත්වෙන තරගාවලිය සංවිධානය කිරීමේදී එය වැදගත් බවත් ඇමැතිවරයා පැවැසීය. 

නව අදහස දක්වන්න