වැඩි වැඩ අඩු ලෙඩ | දිනමිණ

වැඩි වැඩ අඩු ලෙඩ

අපේම රටට ගැළපෙන අපේම දෑතින් හැදූ කෘත්‍රිම පාදයක් වෙළෙඳ පොළේ

දේශීය අමුද්‍රව්‍ය පමණක් යොදා ගනිමින් උසස් ක්‍රියාකාරිත්වයකින් යුතු කෘත්‍රිම පාදයක් නිපදවීමට මිනුවන්ගොඩ බුරුල්ලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන තිලක් ප්‍රේමසිරි මහතා සමත් වී තිබේ. විදේශ රටවලින් ආනයනය කරනු ලබන කෘත්‍රිම පාදවලට වඩා බරින් අඩුවීමත් වළලුකර ප්‍රදේශය ඉදිරියට හා පසුපසට නැමිය හැකි අයුරින් මේ කෘත්‍රිම පාදය නිපදවා තිබීම විශේෂත්වයකි.

තවද එම කෘත්‍රිම පාදය පැළඳ සිටින ආබාධිත අයෙකුට ක්‍රීඩා කිරීමට සහ ඕනෑම රළු වැඩ කටයුතුවලදී ඉතාමත් පහසුවෙන් එම පාදය හැසිරවීමට හැකියාව තිබීමත්, වතුරේ දී ද භාවිත කළ හැකි වීමත් මෙම කෘත්‍රිම පාදයේ තවත් විශේෂත්වයක් වී ඇත.

තිලක් ප්‍රේමසිරි මහතා විසින් දේශීය අමුද්‍රව්‍ය පමණක් යොදා ගනිමින් නිපදවා ඇති මේ කෘත්‍රිම පාදය පිළිබඳව ප්‍රේමසිරි මහතා දිනමිණට මෙසේ කීය.

මේ කෘත්‍රිම පාදය මම සම්පූර්ණයෙන්ම නිපදවා ඇත්තේ දේශීය අමුද්‍රව්‍ය යොදාගෙනයි. විදේශීය රටවලින් අපේ රටට ගෙනැවිත් විකුණන කෘත්‍රිම පාදයක් රුපියල් එක්ලක්ෂ විසිපන්දහසක් පමණ වෙනවා. නමුත් මම නිපදවා ඇති මේ කෘත්‍රිම පාදය රුපියල් හතළිස්පන්දහසක් වැනි ඉතා අඩු මුදලකට හදලා දෙන්න පුළුවන්.

විදේශීය රටවලින් ආනයනය කරන කෘත්‍රිම පාද වසරක් දෙකක් යනකොට අලුත්වැඩියා කරන්න වෙනවා. එයට විශාල වියදමකුත් යනවා. නමුත් මම දේශීය අමුද්‍රව්‍ය යොදා නිපදවා ඇති මෙම කෘත්‍රිම පාදය වසර 10ක් කිසිදු අලුත්වැඩියාවක් නැතිව පාවිච්චි කරන්න පුළුවන්. එසේම කෘත්‍රිම පාදය පළඳින තැනැත්තාගේ වයසට හා ශරීරයේ පැහැයට අනුව එම කෘත්‍රිම පාදය හදන්න පුළුවන්. මම මීට පෙරත් දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් කෘත්‍රිම විකලාංග උපකරණ නිපදවා තියෙනවා. එහෙම නිපදවපු උපකරණ ආබාධිත රණවිරුවන් සඳහා ලබා දුන්නා.

මගේ එකම බලාපොරොත්තුව අපේ රටේ අමුද්‍රව්‍ය යොදා ගනිමින් කෘත්‍රිම විකලාංග උපකරණ නිපදවා එමඟින් අපේ රටේ මෙන්ම විදේශ රටවලද සිටින ආබාධිත අය සඳහා ඉතා සහන මිලකට කෘත්‍රිම විකලාංග උපකරණ නිපදවා දීමටයි. පිටරටවල නිපදවා අපේ රටේ විකුණන කෘත්‍රිම අත්, කකුල් මිල දී ගැනීමට ආධාර මුදල් එකතු කරමින් සිටින ආබාධිත අසරන අයටද මෙම කෘත්‍රිම පාදය සහන මිලකට ලබා දෙන්න මම කැමතියි. මෙම කෘත්‍රිම පාදය පැළැඳ සිටීම හරිම පහසුයි. ඒ වගේම හරිම ශක්තිමත්. මෙම කෘත්‍රිම පාදය ආබාධිත ගැහැනු, පිරිමි ඕනෑම වයසක අයෙකුට හා කුඩා දරු දැරියන් වෙනුවෙන්ද නිපදවා තියෙනවා.

සටහන හා ඡායාරූප

මිනුවන්ගොඩ විශේෂ 

නව අදහස දක්වන්න