ජාන වෙනස් කළ ඔටිසම් වඳුරු පරපුර | දිනමිණ

ජාන වෙනස් කළ ඔටිසම් වඳුරු පරපුර

මංජුලා විජයරත්න

ඔටිසම් රෝගී තත්ත්වය සහිත වඳුරන් සමූහයක් නිර්මාණය කරගන්නට චීන විද්‍යාඥයෝ පිරිසක් සමත් වෙති. සාමාන්‍යය තත්ත්වයේ පසු වූ වඳුරන්ගේ ජාන වෙනස් කිරීම තුළින් ඔටිසම් සහිත වඳුරන් සමූහය නිර්මාණය කරගත් බව වාර්තා වේ. මේ කාර්යයේදී විද්‍යාඥයන් උපයෝගී කරගෙන ඇත්තේ ජාන ඉංජිනේරු විද්‍යාවෙන් ලබාගත් ඥානයයි. සාමාන්‍යය තත්ත්වයේ පසුවුණු වඳුරන්, ජාන වෙනස් කිරීමෙන් ඔටිසම් සහිත වඳුරන් බවට පත් කරගත් ක්‍රියාදාමයට වඩා වැදගත් යමක් මේ පර්යේෂණයෙහි අන්තර්ගතව ඇත. මනුෂ්‍යයන්ට ඔටිසම් ඇතිවන්නේ කෙසේද? යන්න තේරුම්ගැනීමට මේ පර්යේෂණයෙන් ලැබෙන දැනුම සම්භාරය යොදාගැනීම ඒ වැදගත්කමයි.

පර්යේෂණය සිදුකර තිබෙන්නේ ජෛව විද්‍යාවන් සඳහා වූ ෂැන්ග්හායි ආයතනයේ ස්නායු සම්බන්ධ විශේෂඥයන් පිරිසකි. එහි නායකත්වය ගෙන කටයුතු කර තිබෙන්නේ සිලොන්ග් චූය. හෙතෙම ස්නායු සම්බන්ධ විශේෂඥයෙකි.

ජානවල සිදුවන විකෘති හේතු කරගෙන දරුවන්ට විවිධ රෝග ඇතිවේ. ඔටිසම් ඒ අතර ප්‍රධානය. ඒ හැරුණුවිට මන්ද මානසිකත්වය සහිත දරුවන් ඇතිවීමත් දකින්නට පුළුවන. ඒ රෝග තත්ත්වයන් සහිත දරුවන්ට, ඔවුන්ගේ මුළුමහත් ජීවිත කාලය පුරාම ඒවායින් මිදෙන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැත. එහිලා ඔටිසම් තත්ත්වය කැපී පෙනෙන බව විද්‍යාඥයෝ පවසති. වඩාත් භයානක සහ බරපතළ කාරණය වන්නේ ඔටිසම් සහිතව දරුවන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළයාමයි.

2010 වසරේදී කළ සමීක්ෂණවලින් හෙළිවුණේ සෑම පුද්ගලයන් දහසකින් එක් අයෙකු හෝ දෙදෙනෙකු හෝ ඔටිසම්වලින් පෙළෙන බවකි. 2013 වසරේදී අනාවරණය වූයේ ලොව පුරා සිටින පුද්ගලයන් මිලියන 21.7ක් ඔටිසම් නිසා පීඩාවට පත්ව ඇති බවය. ඔටිසම්වලින් පෙළෙන අමෙරිකා එක්සත් ජනපද දරුවන් ප්‍රමාණය 1988 වසරේ සිට 2010 දක්වා කාලය තුළ 30%කින් ඉහළ ගොස් ඇති බව තහවුරුව ඇත. සෙසු රටවල් සම්බන්ධයෙන් විමසා බැලුවත් තත්ත්වය මෙයටම සමානය. එනිසා ඔටිසම් රෝගය මිනිස් සිරුරෙන් බැහැර කරන්නට හැකි ක්‍රමවේදයක් තිබේද යන්න විවරණය කරගැනීම මානව සංහතියේ ඉදිරි ගමනට අවශ්‍යම පියවරක් වී ඇත. එය වඩාත් තීරණාත්මක තැනකට ළඟා වී තිබෙන්නේ මේ වනතුරුත් ඔටිසම් සම්බන්ධයෙන් මිනිසා අනාවරණය කරගෙන ඇති තොරතුරු ප්‍රමාණය අල්ප බැවිනි. ඔටිසම් සහිත වඳුරන් නිර්මාණය කරමින් චීන විද්‍යඥයන් පිරිස එනිසා උත්සාහ කර තිබෙන්නේ යට කී ගැටලුවට කිසියම් ආකාරයක විසඳුමක් ලබා ගැනීමටය.

චර්යාත්මක වශයෙන් ඇතිවුණු විසංවිධානාත්මක තත්ත්වයක්, ඔටිසම් සහිත අයගෙන් විද්‍යමාන වේ. එකී තත්ත්වය රෝගියාගෙන් රෝගියාට වෙනස් වේ. චීන විද්‍යාඥයන් කියා සිටින්නේ ඔටිසම් සහිත වඳුරන්ගෙනුත් එවැනිම විසංවිධානාත්මක චර්යාවන් දක්නට ලැබුණු බවකි. ඔටිසම් සහිත වඳුරෝ අනෙක් වඳුරන් සමඟ සම්බන්ධතා නොපැවැත්වූහ. ඉතා සුළු දෙයකින් පවා ඔවුන් ක්ලමත තත්ත්වයකට පත්වූ බව විද්‍යාඥයෝ පවසති. ක්ලමත තත්ත්වයට පත් වූ වඳුරන් උස් හඬින් කෑගසන්නටත් ගොරවන්නටත් පටන් ගෙන තිබේ. එමෙන්ම ඒ වඳුරන් එකම ක්‍රියාකාරකම්වල නොනවත්වාම යෙදුනු බවත් පෙනී ගොස් ඇත.

ඔටිසම්වලින් පෙළුණු වඳුරන්ගේ මොළය ක්‍රියාකරන්නේ කිනම් ආකාරයෙන්ද යන්න අධ්‍යනය කිරීමට චීන විද්‍යඥයෝ පිරිස සමත් වූහ. මොළයෙහි දකින්නට ලැබෙන එකී ස්වරූප යථා තත්ත්වයට පත් කරගන්නට කළ යුත්තේ කුමක්ද යන්නත් මේ විද්‍යඥයන්ට අවබෝධ වී තිබේ.

ජාන විකෘතිය නිවැරදි කරන්නට හැකි නම් ඔටිසම් සහිත වඳුරන් යළිත් සාමාන්‍යය අතට ගන්නට පුළුවන් බව විද්‍යඥයෝ සඳහන් කරති. එය සිදු කළ හැකි වන්නේ ජීනෝම හෙවත් ජාන සංස්කරණ තාක්ෂණය භාවිතයෙනි. චීන විද්‍යඥයන් වඳුරන් තුළින් හඳුනාගත් මේ පිළියම ඔටිසම් සහිත මනුෂ්‍යයන් සම්බන්ධයෙනුත් ක්‍රියාත්මක කළ හැකිද? මේ ප්‍රශ්නයට ස්ථිර පිළිතුරක් තවමත් නැත. කෙසේ නමුත් සිලොන්ග් චූ සහ පිරිස කළ පර්යේෂණයත් එයින් ලද නිගමනත් මේ වනවිට විවිධ විවේචනවලට භාජනය වෙමින් ඇත. එහිදී නැඟෙන එක තර්කයක් වන්නේ MECP2 ජානය මුල්කරගෙන ඇතිවන රෙට් සින්ඩ්‍රෝම (Rett Syndrome) තත්ත්වය මේ පර්යේෂණයෙන් ලද ප්‍රතිඵල හරහා විග්‍රහ කරන්ණේ කෙසේද යන්නයි.

රෙට් සින්ඩ්‍රෝමයද ඔටිසම් තත්ත්වයක් ලෙස සැලකේ. එය දැකිය හැකි වන්නේ ගැහැනු ළමුන් තුළය. චීන විද්‍යාඥයන්ට විවේචනයට ලක් කරන අනෙක් පිරිස කියා සිටින්නේ වඳුරන් එකම ක්‍රියාකාරකමෙහි නොනවත්වාම යෙදීම ඔටිසම් නිසා ඇතිවුණු අසාමාන්‍යය තත්ත්වයක් නොවන බවකි. එනිසා වඳුරන්ට ඇත්තටම ඔටිසම් තිබුණිද?. වඳුරන්ට ඔටිසම් තිබුණි නම් උන්ගේ චර්යාවන් ඔටිසම් සහිත මනුෂ්‍යයන්ගේ චර්යාවන්වලටම සමානයැයි කියා කීමට හැකිද? යන සැකය ඒ විවේචකයෝ මතුකරති.

ScienceNews ඇසුරෙනි

නව අදහස දක්වන්න