තල කැරලි නිෂ්පාදනය කරන දෙබෑගම දමයන්ති | දිනමිණ

තල කැරලි නිෂ්පාදනය කරන දෙබෑගම දමයන්ති

වෘත්තියක නොයෙදෙන කාන්තාවන් බොහෝවිට දිවා කාලයේදී දිවි ගෙවා දමන්නේ, නිවෙසටවී කම්මැලිකමෙන් කාලය කා දමමිනි. සැමියා රැකියාවටත්, දුවා දරුවන් පාසල්වලටත් ‍නිවෙසින් බැහැරව ගියවිට, නිවෙසේ තනිවම දිවි ගෙවනා කාන්තාවන්ට, ස්වයං රැකියාවක නියැළෙමින් අතට කීයක් හෝ එන මාර්ගයක් සකසා ගැනීමට හැකිනම් එය සැබැවින් ම යහපත් ක්‍රියාවකි. කම්මැලි ගති ඇත්තියන් එසේ නොසිතුවත්, දිරියෙන් ජීවිතය ජය ගැනීමට බලාපොරොත්තු වන කාන්තාවන්, දෑතේ වීරියෙන් යමක් කරන්නට හිතන්නේ සිතේ ඇති එඩිය නිසා ම ය.

දෙහිඕවිට දෙබෑගම එල්.ඇම්.දමයන්ති විජේරත්න, දෙබෑගම ග්‍රාම සංවර්ධන සමිතියේ සාමාජිකාවකි. ඇය දිරියෙන් ජීවිතය ජය ගැනීමට සිතූ කාන්තාවන් අතරින් තවත් එක් කාන්තාවකි. මැය , ග්‍රාම සංවර්ධන සමිතියේ උපදෙස් ලබාගෙන ස්වයං රැකියාවක් ඇරැඹීමට අදහස් කළා ය.

'ළමයි පාසල් ගියහම ගෙදර නිකන් ඉන්න කම්මැලි නිසා, මුලින්ම රුපියල් දස දහසක් සමිතියෙන් ලබාගෙන තොග විකුණන තැනකින් ගෙනත් කඩල,බයිට්, රටකජු බැදලා කුඩා පැකට් කරලා කඩවලට දැම්මා. ටික දවසකින් මට කිසි කරදරයක් නැතිව ණය මුදල ගෙවීමට හැකිවුණා. මේ අතරේ මගේ ව්‍යාපාරය ලියාපදිංචි කළා. මේ නිසා මට රුපියල් හතළිස් දහසක ණය මුදලක් සමිතියෙන් අනුමත වුණා. මෙයට වඩා හොඳ නිෂ්පාදනයක් කළ යුතුයි කියලා මම හිතුවා. මම තලගුලි සෑදීමට පටන් ගත්තා. මේ සඳහා විදාතා ආයතනයෙන් උපදෙස් ලැබුණා. ඒ අනුව මම මේ කර්මාන්තය තනියම වගේම, සාර්ථකව කළා. මේ අතරේ කෙටි කාලයක් ගතවෙද්දී , ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසල්වලට ඇනවුම් ලැබුණා.

මේ ආකාරයට කාලයක් යද්දි ඉල්ලුම වැඩි නිසා, මේ වැඩ කටයුතු කිරීම සඳහා මා එක් අයෙක් සහායට ගත්තා. ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාගේ උපදෙස් අනුව, නිෂ්පාදන කටයුතු සඳහා වෙනම ගොඩනැගිල්ලක් සෑදුවා. මේ සඳහා සමිතියෙන් රුපියල් පනස් දහසක ණයක් වගේම දිවි නැගුමෙන් දිරිය කාන්තාවන්ට ගෙවන රුපියල් හතළිස් පන්දහසක මුදලත් ලැබුණා. ඒ අනුව මා හට නිෂ්පාදන කටයුතු කිරීම සඳහා අංග සම්පූර්ණ ස්ථානයක් හදා ගැනීමට හැකි වුණා.

කලක් ගතවෙද්දී තලගුලි ඉල්ලුම වැඩිවීම නිසා , මේ කාර්යය කරගෙන යාමට තව දෙදෙනෙක් ගේ සහාය ලබා ගැනීමට සිදු වුණා. මේ වනවිට මා ළඟ රැකියාව කරන සියලු දෙනාටම හොඳින් ජීවත් වෙන්න හැකියාව ලැබෙන පරිදි ආදායම් ලැබෙනවා. මේ වනවිට තල කැරලිවලට විශාල ඉල්ලුමක් තියෙන නිසා , මේ වගේ රැකියාවක් තෝරා ගැනීමට ලැබීම ගැන මා සතුටට පත් වෙනවා.

උනන්දුව ඇත්නම් සාර්ථක ව්‍යාපාරයක් කරගෙන යන්න පුළුවන්. මම ස්ථීර අධිෂ්ඨානයෙන් යුතුව මේ රැකියාව කරගෙන යන්නේ. තව වසර කිපයකින් විශාල දියුණුවක් ලබා ගැනීමට මට හැකි බව මා හොඳාකාරවම දන්නවා. සැමියා හොයාගෙන එන මුදලින් කා බී ජීවත් වන්නේ නැතිව, නිවෙසට වෙලා කාලය කා දමන්නේ නැතිව මේ වගේ ස්වයං රැකියාවක් කරන්න කටයුතු කළොත්, ඔබටත් ජීවිතය ජයගන්න පුළුවන්. ඒ බව මට ස්ථිරවම කියන්න පුළුවන්.

ඡායාරූප හා සටහන

කුමාරසිංහ ගුණදාස

යටියන්තොට සමූහ

නව අදහස දක්වන්න