හිම කන්දක් සේ චෙකොෆ් දුටු විප්ල­වය | දිනමිණ

හිම කන්දක් සේ චෙකොෆ් දුටු විප්ල­වය

ඇන්ටන් චෙකොෆ් ලෝක ප්‍රසිද්ධ ව සිටින්නේ කෙටිකතාකරුවකු හා නාට්‍ය රචකයකු වශයෙන්. ඔහු ලියා ඇත්තේ එකම එක නවකතාවක් පමණයි. ඒ ‘ද ෂූටිං පාටි’. නමුත් ඔහු කෙටි /නවකතා කීපයක් ලියා තිබෙනවා. කෙටි/නවකතා කලා‍වේ (NOVELETTE) පීතෘවරයා චෙකොෆ් නොවුණද ඔහු එහි එක්තරා පුරෝගාමියකු ලෙස හඳුන්වන්ට පුළුවන්.

චෙකොෆ්ගේ කෙටිකතා බොහෝමයක්ම සිංහලට පරිවර්තනයව තිබෙනවා. ඔහුගේ නාට්‍ය හා කෙටි නාට්‍ය කීපයක්ද සිංහලට නැඟී ‍වේදිකාගතව තිබෙනවා. චෙකෝ‍ෆ්ගේ ජීවිතය හා නිර්මාණ අළලා විමර්ශන පොත්ද පළව තිබෙනවා.

මේ අතරට අලුතින්ම එක්වන්නේ ආරියරත්න විතාන ලියූ ‘චෙකොෆ් නාට්‍ය අනන්‍යකරණය’ නම් වූ පොතයි. මා දන්නා තරමට ආරියරත්න විතාන යනු චෙකෝෆ්වාදියෙක්; චෙකොෆ් ලෝලයෙක්. ඔහු කලකට ඉහත ‘ඇන්ටන් චෙකොෆ් ජීවිතය හා නිර්මාණ’ නමින් අගනා විමර්ශන කෘතියක් ලියා පළ කළා. එසේම චෙකෝෆ්ගේ ‘මුහුදු ලිහිණියා’, ‘පරස්තාව’ හා ‘වලහා’ යන නාට්‍ය තුන සිංහලට නැඟුවා.

ආරියරත්න විතාන තම පොතේ සඳහන් කරන ආකාරයට චෙකොෆ් දිගු නාට්‍ය හයක් හා කෙටි නාට්‍ය අටක් ලියා තිබෙනවා. ඉහත සඳහන් නාට්‍ය අතරින් ‘මුහුදු ලිහිණියා’ දිගු නාට්‍යයක්. සෙසු නාට්‍ය දෙක කෙටි නාට්‍යයයි.

චෙකෝ‍ෆ්ට පුළුල් ජීවන දැක්මක් - පෘථුල ජීවන දෘෂ්ටියක් තිබුණා. එය ඔහුට ළමා වියේ ලද කටුක අත්දැකීම් ඔස්සේ ලැබුණක් යැයි සිතන්ට පුළුවන්. එසේම මෙලොව නරකාදියක් ලෙස හැඳින්වූ ‘සක්හලින්’ දූපතට ගිය ගමන ඔහුගේ ජීවිතය හා කලාව වෙනස් කළ තීරණාත්මක සාධකයක් බව පෙනෙනවා. මෙම ගමනේදී මිනීමරුවන්, අපරාධකරුවන්, ගණිකාවන්, අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් යුතු මන්දපෝෂිත දරුවන් දැකීමෙන් චෙකොෆ් මහත් කම්පනයට පත්වුණා. ඔහු වඩාත් බැරෑරුම් නාට්‍ය හා කෙටිකතා ලියන්න පටන්ගත්තේ මෙයින් ඉනික්බිතිවයි. විශේෂයෙන් ‘හයේ වාට්ටුව’, ‘මිනීමරුවා’, ‘පිටුවහල් ජීවිත’ වැනි කෙටිකතා මෙන්ම ‘චෙරිවත්ත’, ‘මුහුදු ලිහිණි’, ‘වන්යා මාමා’, ‘සොහොයුරියන් තිදෙන’ වැනි දිගු නාට්‍ය ඔහු ලිව්වේ මේ සක්හලින් සංචාරයෙන් පසුවයි.

කලාව අරභයා චෙකෝෆ්ගේ මතය පළවන එක් ප්‍රකාශයක් මෙසේයි. කලාව බොහෝම වටින දෙයක්. ඒ නිසා අපිට බොරු කියන්න බැහැ. වෙදකම් කරද්දි, ආදරය කරද්දි, දේශපාලනය කරද්දි කාටහරි බොරු කරන්න පුළුවන්. ඒ වුණාට කලාවේදී එහෙම රැවටිලි කරන්න බැහැ.”

චෙකොෆ් කිසිදාක කිසිම දේශපාලන කඳවුරකට නැඹුරුව සිටියේ නැහැ. ඔහු ගෝර්කි මෙන් විප්ලවය උදෙසා කිසිවක් ලිව්වෙත් නැහැ. නමුත් මීට වඩා හොඳ වඩාත් පළල් අරුතින් ගතහොත් මීට වඩා යහපත් සමාජයක් ජීවිතයක් ඔහු අපේක්ෂා කළ බව පහත සඳහන් ප්‍රකාශයෙන් උද්ධරණය කෙරෙනවා.

“මා මිනිසුන්ට කීමට අදහස් කළේ මෙයයි; නුඹලා කොතරම් අයහපත් ලෙස ජීවත් වෙනවාදැයි යන්න දැනගැනීමට නුඹලා දෙසම බලාපල්ලා. ප්‍රධාන දෙය මිනිසුන් මෙය වටහාගැනීමය. එලෙස වටහාගත් ඉක්බිතිව ඔවුහු අනිවාර්ය වශයෙන්ම වෙනත් වඩා හොඳ ජීවිතයක් ගොඩ නඟනු ඇත්තාහ.”

විප්ලවයක් ළඟ එන බවට සංඥාවක් චෙකෝෆ්ගේ මනසේ පැවති බව ඔහු ලියූ ‘සොහොයුරියන් තිදෙන’ නාට්‍යයේ එක් චරිතයක මුවට නංවන මේ දෙබසෙන් පැහැදිලි වෙනවා. මෙහිදී ඔහු විප්ලවය දකින්නේ හිම කන්දක් ආකාරයෙන්. මහා කුණාටුවක් පරිද්දෙන්.

“මහා හිම කන්දක් අප සියල්ලන් මත ඇදී එමින් පවතී. ප්‍රබල කුණාටුවක් හමා බසින්නට සූදානමින් ඇත. එය හමමින් තිබේ. දැනටම එය අත ළඟට ඇවිත් ඇත. එය සියලුම මැළිකම් උදාසීනකම්, වැඩට අරුචිකම් හා වෙහෙසකර හිරිහැර, කරදර සමාජයෙන් අතුගා දමනු ඇත. මම වැඩ කරන්නෙක්මි. තව අවුරුදු විසිපහකින් හෝ තිහකින් සෑම කෙනකුටම වැඩ කිරීමට සිදුවනු ඇත. සෑම කෙනකුටම!”

චෙකොෆ් හුදෙක් කටින් පමණක්, අතින් පමණක් (ලේඛනයෙන්) මානව හිතවාදියකු වුණේ නැහැ. ඔහු ප්‍රායෝගිකවම, ඒ කියන්නේ ක්‍රියාවෙන්ම මානව භක්තිය ප්‍රකට කළ ලේඛකයෙක්. එය වඩාත් පැහැදිලිව සාක්ෂාත් වන්නේ රුසියාවේ සාගතය පැවති අවස්ථාවේ හා කොළරා වසංගතය අවස්ථාවේ කළ කී දේ ආශ්‍රයෙන් ඔහු සාගතය මැඩපැවැත්වීමටත්, කොළරා රෝග මර්දනයටත් ඍජුව මැදිහත් වුණා. තමා ගැන ලියූ ප්‍රවෘත්ති කියවූ චෙකොෆ් පුවත්පත් කලාවේදීන්ට බැණ වැදුණේ මේ අයුරින්.

“මේ නගරය තමුසෙලට පේන‍්නේ නැහැ. හරියට වතුර පයිප්ප නැහැ. හොඳ පුස්තකාලයක් නැහැ. ඒවා ගැන ලියනවකෝ මං ගැන නොලියා.”

ලේඛකයකු වශයෙන් චෙකෝෆ්ගේ වටිනාකම හා ඔහුගෙන් අපට ගතහැකි ප්‍රයෝජනය ගැන මාර්ටින් වික්‍රමසිංහ අපූරු අදහසක් ‍ෙමසේ පළකර තිබෙනවා.

“චෙකොෆ් විශ්ව සාහිත්‍ය පිළිබඳ මහා කලාකරුවකු පමණක් නොවේ. මහා ප්‍රාඥයෙක් හා මානව ප්‍රේමියෙක්ද වෙයි. ලෝකය පිළිබඳ ඔහුගේ දර්ශනය, ප්‍රගතිශීලි අනාගතයක් සඳහා අප ගන්නා උත්සාහයට මහත් අනුබලයකි. අපේ ලේඛකයන් චෙකෝෆ්ගේ කෘති කියවිය යුතුය. නැවත කියවිය යුතුය. ඒවා ගැඹුරු ලෙස හැදෑරිය යුතුය. “

සුනිල් මිහිඳුකුල

[email protected]

නව අදහස දක්වන්න