මනූ-ශනූ සමඟ ආදරණීය හෝරාවක් | දිනමිණ


 

මනූ-ශනූ සමඟ ආදරණීය හෝරාවක්

මනූ-ශනූ සමඟ ආදරණීය හෝරාවක්

 

මනුරංග විජේසේකර අපේ කාලයේ ජනප්‍රිය ගී පද රචකයෙක්. නිවේදකයෙක් ලෙසත් මනූ මේ දිනවල කල එළි බැහැල තියෙනවා අපිට දැක ගන්න පුළුවන්. එතකොට ශනුද්‍රි ප්‍රියසාද් යොවුන් පරපුරේ ජනප්‍රිය ගායිකාවක් මෙන්ම රංගන ශිල්පිනියක්.. ඉතින් වැලන්ටයින් දවසේ අපිට හමු වූ මේ දෙපළ අතර අපුරු සුසංයෝගයක් ගොඩ නැඟුණොත් කෙසේ දැයි සිතිවිල්ලක් අපට පහළ වුණා. මං කිව්වේ ආදර සුසංයෝගයක් වගේ.... හැබැයි මෙය සිතිවිල්ලක් පමණයි. ඉතින් අපේ ඒ සිතිවිල්ලට ඔවුන්ගේ ප්‍රතිචාර කෙසේ වේවිදැයි දැන ගන්නත් ඕනේ නෙ.. මනූ නම් ඕන දේකට ඔට්ටුයි. අපේ මාතෘකාව උපකල්පනයක් පමණක්ම නිසා ශනූ ගෙනුත් ඊට අකැමැත්තක් තිබුණේ නැහැ. ඉතින් මුලින්ම මනුවයි ඊට සම්බන්ධ කර ගත්තේ.

ශනූ ගැන ඔබට දැනෙන්නේ කොහොමද?

හරිම ආකර්ෂණීය, ආශ්‍රය කිරීමට සුදුසු, හරිම පහසුවෙන් අදහස් හුවමාරු කර ගත හැකි චරිතයක්. ඇය ගැන මට තිබෙන්නේ බොහොම හොඳ හැගීමක්.

ඇය ඔබේ හිත සොරා ගත්තැයි හිතමුකෝ..මොකද්ද ඇගේ විශේෂත්වය?

කවුරු කොහොම කිව්වත් අපිට මුලින්ම කෙ‍නකුට හිත යන්නේ බාහිර රූපෙට නේ.. මන්දා මගේ තාලෙට නම් මං මුලින්ම ආකර්ෂණය වෙන්නේ ඇගේ රුවට. හරියට ගීතයක මුලින්ම හිත යන්නේ ගී තනුවට වගේ. ඉතින් ගී තනුව කියන්නේ බාහිර ස්වරූපය නම් ගී පද කියන්නේ කෙනකුගේ චරිත ලක්ෂණ වගේ. ඉතින් ඇගේ රූ සපුව හැරුණු විට මොන ප්‍රශ්නේ ආවත් කිසිම බරක් පතළක් නැතිව හිනා වෙවි ඉන්න ගුණයට මගේ හිත ගියා කියමුකෝ.

හිත ගිය සැණින් ආදරේ ප්‍රකාශ කරනවාද?

මගේ ඉතින් හැංගි හොරා වැඩ නැහැ නේ.  ඕන දෙයක් ඩිරෙක්. අනික මට ලේසියෙන්ම කරන්න පුළුවන් එකම දේ කෙල්ලෙක්ගෙන් යාළු වෙන්න අහන එක. ඉතින් වා නා වා.. පෝනා පෝ.. කියලා කෙළින්ම අහලා දානවා..

ඇයව දකින්න කැමැති ?

මේ ඉන්න විදිහටම.

බාහිරව හෝ වෙනසක් විය යුතු නැද්ද?

කට පොඩ්ඩක් පාලනය කරගෙන ඇඟ ගැන හිතනවා නම් හොඳයි. කලින්ම අනතුරු අඟවලයි තියෙන්නේ. නැත්නම් ටික දවසකින් වට්ටක්කා ගෙඩියක් වගේ වෙන්නත් පුළුවන්. මට ආරංචියි මේ දවස් වල ඇය අන්තර්ජාලයෙනුත් ව්‍යායාම ‍ඉගෙන ගන්නවා කියලා.

ශනු වෙනුවෙන් ගීතයක් ලියන්න යැයි ඔබට කීවොත්?

දැනටමත් ලියලයි තියෙන්නේ. හැබැයි මං නෙමෙයි.

අර “උලත් එකයි පිළත් එකයි...

අපි හැමදා සොමියේ ඉන්නවා.....“ කියලා රූකාන්ත මහත්මයා කියන්නේ අන්න ඒ ගීතය තමයි.

නැහැ මං අහන්නේ ඔබේ අතින් පදවැල් ලියැවුණොත් කියලයි?

“අහසට බැහැ හිනා වෙන්න ඔබ තරම්

සයුරට බැහැ දුක් නොවන්න ඔබ තරම්

කවුරුත් නෑ මං දැක්කේ ඔබ තරම්

සරල ද නුඹ හැමදාමත් මේ තරම්...“

කැමැති වගේම ඇගේ වෙනස් විය යුතු යැයි සිතන ගුණාංග ඇති ?

සමහර දෙවල් ගැන වැඩිය නොහිතා ජීවත් වීම සහ සමහර දේවල් කියද්දි වැඩියේ හිතන්නේ නැතිව කතා කිරීම වගේ දේවල් වෙනස් කර ගන්නවා නම් හොඳයි.‍

අපි බලමු මනූ ගැන ශනූට තියෙන්නේ මොන වගේ අදහසක්ද කියලා...

මනූ ඔයාට ආදර යෝජනාවක් ගෙනාවොත් එක පයින් කැමැත්ත දෙනවාද?

අපෝ නැහැ. ආශ්‍රය කරලා දෙන්නට දෙන්නව තෝරූම් ගන්න ඕනෙනේ.

ඔහොම කිව්වාට අකැමැති වෙන්න හේතුවකුත් නැහැ නේ?

මනුරංග අයියා ආශ්‍රය කරන්න හරිම පහසු කෙනෙක්. මොනව හරි වුණු ගමන් පවා එයාලට තමයි කෝල් කරලා කියන්නේ. සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් හොඳ පුද්ගලයෙක්. හැබැයි ඉතින් ආදර යෝජනාවකදි ඊට වැඩිය හිතන්න එපැයි..

මනූගේ විලාසිතාවලට ඔබේ අකැමැත්තක් නැද්ද?

මම සාමාන්‍යයෙන් ෆන්කි ෆැෂන්ස් කරන අයට කැමැති නැහැ. ෂර්ට් එකක් ඇඳලා ලස්සනට කොණ්ඩේ කපලා ඉන්නවා නම් මං කැමැතියි. අනික රැවුල වවන අයට ගොඩක් කැමැතියි. ඉතින් මේ හැම දේම මනුරංග අයියා ළඟ තියෙනවා.

ඔබේ මිතුරියකගෙන් හෝ කිසියම් අයුරින් ඔහු ගැන නරක ආරංචියක් අහන්න ලැබුණොත් ඔබේ ප්‍රතිචාර කෙසේ වේවිද?

මම විශ්වාස කරන්නේ නම් නැහැ. මේ වනතුරු මනු අයියා ගැන කිසිම නරක කතාවක් ආරංචි වෙලත් නැහැනේ. නමුත් හිතුනොත් ඔහුගෙන් අහලා බලනවා.

සමාව දෙන්න බැරි වැරුද්දක් ඔහුගෙන් සිදු වි තිබුණොත්?

වෙන කෙනෙකුට ආදරය කරනවා නම් ඒ කියන්නේ මට ආදරේ නැහැයි කියන එකනේ. ඉතින් මං මොකටද මට ආදරේ නොකරන කෙනකුට සමාව දීලා භාර ගන්නේ.

ඔබ අඳින පළඳින විදිහ සහ මිතුරු ආශ්‍රය ගැන ඔහු ගෙන් තහංචි පැනවුණොත්?

මුලින් කතා කරලා බලනවා බැලන්ස් කර ගන්න පුළුවන්ද කියලා. එහෙම බැරි වුණොත් ඉතින් මනුරංග අයියා කියන දේ කරන්න වෙනවානේ.

හොඳයි අපි හිතමු ඔබ දෙදෙනා දැන් පෙම්වතුන්. හැබැයි ශනූ ගේ දෙමාපියන් ඊට තදින්ම විරුද්ධයි?

එයාලා එහෙම කියන්න මොනවා හරි හේතුවකුත් ඇති. හැබැයි මගේ ආදරේ වෙනුවෙන් මම සටන් කරලා හරි දිනා ගන්නවා.

නව අදහස දක්වන්න