මුහුණ පිරිසුදු කිරීමේදී කළ නොකළ යුතු දේ | දිනමිණ

මුහුණ පිරිසුදු කිරීමේදී කළ නොකළ යුතු දේ

රාත්‍රියේදී නිදා ගැනීමට පෙර හොඳින් මුහුණ පිරිසුදු කර ගැනීමෙන් සුවසේ නිදාගැනීමටත්, සුවසේ පිබිදීමටත් හැකියාව ලැබෙනවා. මුහුණ නොසෝදා සිටිවිට මුහුණෙහි අන්තර්ගත විෂබීජ අපි නොදැනුවත්ම අපගේ සෞඛ්‍යයට හානි කරනවා. මුහුණ මත විෂබීජ තැන්පත් වූවිට, මුහුණේ කාන්තිය ඈත්වී දුර්වර්ණ වීමට පුළුවන්. මේ නිසා නිරතුරුවම මුහුණ පිරිසුදු කර ගැනීමට ක්‍රියා කළ යුතුයි. එසේ කිරීමේදී පොදුවේ සිදුවන වැරැදි සහ ඒවා මඟහරවාගෙන, දීප්තිමත් සුමුදු සමක් ලබාගත හැකි ආකාරයේ රහස් ක්‍රම කිහිපයක් මේ ආකාරයට සඳහන් කරන්න පුළුවන්.

පළමුවෙන්ම ඔබේ සම කුමන ආකාරයේ එකක් ද යන්නඅවබෝධ කරගෙන,ඒ අනුව මුහුණ පිරිසුදු කර ගැනීමට අවශ්‍ය මුහුණ සේදුම්කාරක ද්‍රව්‍ය ලබාගත යුතුයි. එමඟින්,සියයට සියයක්ම සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

1. වැරැදි ක්ලෙන්සර් භාවිතය

ඔබේ සමට ගැළපෙන ක්ලෙන්සර් වර්ගය තෝරා ගැනීමේදී, සමට සුවදායී සත්කාරක ක්‍රමයක් වෙත ළඟාවීමට පුළුවන්. නිවැරැදි ක්ලෙන්සර් එකක් තෝරා ගැනීමේදී මාපටැගිල්ලෙන් එය අල්ලා,තමන්ගේ සමට ගැළපෙන ක්ලෙන්සර් වර්ගයක්ද යන්න සොයා බැලිය යුතුයි. ඔබට ඇත්තේ වියළි සමක් නම්, ජෙල් සහිත හෝ පෙණ නඟින ක්ලෙන්සර් වර්ග භාවිත කරන්න පුළුවන්.

2. නිවැරැදි ක්ලෙන්සර් භාවිත කිරීම

නිවැරැදි ක්ලෙන්සර් එකක් භාවිතය මඟින්, හිරු කිරණ මඟින් ඔබේ සමට සිදුවන පීඩාව අවම කර ගන්න පුළුවන්.

ඔබේ මුහුණට සරිලන මොයිස්චරයිසර් එකක් මඟින් සමෙහි තිබෙන වියළි තත්ත්වය මඟහරවා ගෙන, සමට අවශ්‍ය තෙතමනය ලබාගැනීමටත් හැකියාව ලැබෙනවා. සීනයිතන්ද රෝහලේ චර්ම රෝග පිළිබඳ සහකාර මහාචාර්යවරයකු වන යොෂුවා සෙයිච්නර් පවසන්නේ, ක්ලෙන්සර් මඟින් කුරුලෑ ඇතිවීමට හේතුවන බැක්ටීරියා විනාශ කිරීමට හැකි බවයි.

3. උදෑසන ක්ලෙන්සර් කිරීමෙන් වැළකීම

ඔබ උදෑසන නැගිට ක්ලෙන්සර් කිරීමේදී බලාපොරොත්තු වන්නේ, රාත්‍රී කා‍‍ලයේදී මුහුණෙහි පවතින විෂබීජ ආදිය පිරිසුදු කර ගැනීමයි.උදෑසන අවදිවූ මොහොතේ මුහුණ මත ඇත්තේ ස්වභාවිකව අපගේ මුහුණෙහි ඇතිවන තෙල් සහිත ස්වභාවයයි. අප රාත්‍රී කාලයේදී නිදාගැනීමට පෙර හොඳින් මුහුණ පිරිසුදු කර ගන්නා නිසා, නැවතත් උදෑසන නැගිට ක්ලෙන්සර් කිරීම අනවශ්‍යයි.

4. මේකප් අමතක කර දැමීම

අපගේ මුහුණෙහි ඇති මේකප් මුළුමනින්ම ඉවත් කර ගත හැකි පිරිසුදුකාරක ද්‍රව්‍ය, මේ වනවිට වෙළෙඳ පොළෙහි ඕනෑතරම් තිබෙනවා. එහෙත්, සාමාන්‍ය මේකප් ඉවත් කර ගැනීමේදී එවැනි ක්ලෙන්සර් භාවිතය ඵලදායී වන්නේ නැතිබව සෙයිච්නර් පවසනවා. මුහුණ මේකප් කළවිට,එය ඉවත් කිරීම සඳහා ජලයෙන් පිරිසුදු කර, පසුව Wash cloth හෝ ස්පොන්ජයකිත් පිසදා ගැනීම නිවැරැදි පිළිවෙතයි.

5. ජලයේ නිවැරැදි උෂ්ණත්වයට අනුව සම පිරිසුදු කර ගැනීම

උණුසුම් ජලයෙන් මුහුණ සෝදා ගැනීමට අප කවුරුත් කැමතියි. එහෙත් එමඟින් සාර්ථක ප්‍රතිඵල සමට ලැබෙන්නේ නෑ. යන්තම් රස්න ජලය මඟින් මුහුණ පිරිසුදු කර ගැනීමෙන්, කේශනාලිකා හා රුධිර නාල තුළට ඉතා ඉක්මනින් උෂ්ණත්වය ගමන් කරනවා.

එමඟින් මුහුණෙහි ඇතිවන රතු බිබිලි, කුරුළෑ අසාත්මිකතාවන්ට එය මහඟු ප්‍රතිඵලයක් ළඟා කර දෙනවා. මේ ආකාරයට ක්‍රියා කිරීමෙන්, මුහුණෙහි ඇල්මැරුණු ස්වභාවය මඟහරවා ගත හැකියි.

6. Wash Cloth භාවිත කිරීම

Wash Cloth, එසේත් නැතිනම් සුමුදු රෙදි වර්ගයක් මඟින් සම ජලයෙන් පිරිසුදු කර පිසදමනවානම්, මුහුණෙහි සෞඛ්‍යාරක්ෂිත බව තව දුරටත් රැක ගැනීමට පුළුවන්. මහාචාර්ය සෙයිච්නර් පවසන්නේ, Wash Cloth භාවිත කිරීම මඟින් තද පැහැති බිබිළි, රතු පැහැති බිබිළි හා කුරුළෑ ස්වභාවය මුළුමනින්ම අඩුකර ගත හැකි බවයි.

7. මුහුණ හොඳින් පිරිසුදු කරගත් පසු වියළිව තබා ගැනීම

ඔබේ මුහුණ හොඳින් සෝදා පිරිසුදු කර ගත් පසු, මුහුණ වියළිව තබා ගැනීමට අමතක නොකරන්න. අපගේ පිරිසිදුකාරකය සමට හොඳින් අවශෝෂණය කරගන්නා තෙක් Wash Cloth හෝ තුවායක් වැනි වියළි රෙදි වර්ගයක් භාවිත කර ගැනීමෙන්, සමෙහි ඇතිවන දරුණු බැක්ටීරියා ආසාත්මිකතා මඟහරවා ගැනීමට පුළුවන්.

8. සබන් භාවිතයෙන් වැළැකීම

සබන් භාවිතය මඟින් සම තද වියළි ස්වභාවයකට පත් වෙනවා. සමේ මෘදු බව නැතිවීමට සබන්වල පවතින සංඝටක බලපානවා. සබන් භාවිතය හේතුකරගෙන වියළෙන සම, මොයිස්චරයිසර් එකක් හෝ සේරම් එකක් භාවිතය මඟින් තප්පර 60ක කාලයක් තුළ යථා තත්ත්වයට පත් කළ හැකියි.

සෑම විටෙකම ලාභය පරමාර්ථ කර නොගෙන, තමන්ට සරිලන මොයිස්චරයිසර් එකක් යොදා ගැනීම මඟින්, සමට මහඟු ප්‍රතිලාභ අත්කර ගන්න පුළුවන්.

9. මුහුණ පිරිසුදු කිරීමේදී ආදේශක ක්‍රම භාවිත නොකිරීම

මුහුණ පිරිසුදු කර ගැනීමට අවශ්‍ය සහ ඊට අනුකූලව යොදාගතයුතු ක්‍රමවේද පවතිනවා. තමන්ට හිතෙන හිතෙන ක්‍රම මඟින් මුහුණ පිරිසුදු කිරීමට යාමේදී, සමට අනවශ්‍ය බැක්ටීරියා, කුඩු හෝ දූවිලි ඇතුළුවීම වළක්වා ගැනීමට අපහසු යි.

මේකප් දැමු මුහුණක් පිරිසුදු කිරීමේදී, අවශ්‍ය ක්‍රියාවලිය නිසි ලෙස සිදු කරනවානම්, කිසිදු අනවශ්‍ය අපද්‍රව්‍යක් මුහුණ මත රඳා නොතිබේවි. ඇස්වලට දැමූ මේකප් ඉවත් කිරීමේදී අවශ්‍ය උපදෙස් නිසි ලෙස ලබාගෙන, එම කාර්යය නිවැරැදිව ඉටු කර ගැනීමට වගබලා ගත යුතුයි.

10. දීර්ඝ කාලීනව හෝ දිනපතා අධික ලෙස ස්ක්‍රබ් නොකිරීම

මුහුණ පිරිසුදු කර ගැනීමට පිරිසිදුකාරක භාවිත කිරීම උදේ හෝ සවස කිරීම එතරම් ගැටලුවක් නැහැ. එහෙත් ස්ක්‍රබ් කිරීම මඟින් සමේ මැරුණු සෛල ඉවත් කිරීම සිදු වෙනවා. සති දෙකකට වරක් ස්ක්‍රබ් කිරීම නිවැරැදි පිළිවෙතයි. සතියකට හෝ සති දෙකකට වරක් ස්ක්‍රබ් කිරීම සුදුසු බව සෙයින්චර් පවසනවා. ඒකට හේතුව, ස්ක්‍රබ්වල අන්තර්ගත අධික රසායනික ද්‍රව්‍ය, දිනපතාම සම මත පතිත වීම සුදුසු නොවීමයි.

මේ රහස් ක්‍රම මඟින්, නිවැරැදිව මුහුණ පිරිසුදු කරගෙන ඔබේ සෞඛ්‍ය සම්පන්න බව රඳවා ගත හැකිවාක් මෙන් ම, දීප්තිමත්, නිරෝගී , සුමුදු සමක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

අන්තර්ජාලය ඇසුරිනි

මදාරා මුදලිගේ

නව අදහස දක්වන්න