යාචකයෙක් දුප්පත් දැරියන්ට රන් කරාබු බෙදා දෙයි | දිනමිණ

යාචකයෙක් දුප්පත් දැරියන්ට රන් කරාබු බෙදා දෙයි

යාචකයෙක් දුප්පත් දැරියන්ට රන් කරාබු බෙදා දෙයි

ප්‍රජාපතී‍ ගේ දැන් වයස අවුරුදු 68යි. හැමදාම උදෑසන කිහිලි කරු දෙකත් රැගෙන ඔහු පාරට බහින්නේ කීයක් හෝ හොයා ගන්නයි. අනුන්ට ගිනි නොදී කාට හෝ අතපා ලැබෙන දෙයක් එකතු කර ගෙන ඔහු ජීවත් වෙන්නේ ඉතාම අරපරෙස්සමෙන්. ඔහු තම ජීවිකාව ගෙනගියේ ඉන්දි‍යාවේ ගුජරාටයේ මෙහ්සානා පළාතෙයි. යාචකයෙකු වුවත් ප්‍රජාපතී සුවිශේෂ පුද්ගලයෙකි. ඔහු හිඟමනේ ගියේ තමන් ගේ යැපීමට පමණක් නොවෙයි. ප්‍රජාපති සතු සුවිශේෂීතාව වූයේ එයයි. ඔහු එදිනෙදා හිඟමන් කර උපයා ගන්නා දෙයින් යන්තම් එදා වේල කාලා ඉතිරි කර ගන්නා සියල්ල යෙදවෙන්නේ ඔහු වැනිම වූ අසරණයන් වෙනුවෙනුයි.

තමන් වැනිම වූ අසරණයන් වෙනුවෙන් ඔහුගේ හිත උණු වෙන්නේ අද ඊයෙක සිට නොවෙයි. වසර දහතුනක් තිස්සේම ප්‍රජාපතී මේ සද්කාර්යයේ යෙදෙනවා. මේ ඊයේ පෙරේදා දවසකත් ප්‍රජාපතී, මෙහ්සානා පළාතේ මග්පාරා ගමේ අන්ගන්වඩියකට ගොඩ වැදුණා. ඉන්දියාවේ අන්ගන්වාඩි ලෙස හැඳින්වෙන්නේ ළමා සුබ සාධනය සඳහා රජය විසින් පිහිටුවනු ලැබූ ඉතා කුඩා ආයතන විශේෂයකටයි. ඈත ගම් දනව්වල මෙන්ම නාගරික මුඩුක්කු පළාත්වල කුඩා දරුවන්ගේ සෞඛ්‍ය සහ අධ්‍යාපන පහසුකම් ඇති කිරීම සඳහා ඉන්දියානු රජය 1975 දී පිහිටුවනු ලැබූ මේ අන්ගන්වඩි ගෙමිදුලේ සුබ සාධක ස්ථානයක් ලෙසයි සැලකෙන්නේ. මුඩුක්කු පළාතක නම් මුඩුක්කු අතර ඉඩක ගමක නම් ගමේ මැද ඉඩ ඇති තැනක කිසි දෙයක් කර කියා ගන්න බැරි මට්ටමේ දුප්පත් දෙමවුපියන්ගේ දරුවෝ ටික එකතු කර ගෙන ඒ ළමයින්ට පෝෂණ ආහාර වේලක් ලබා දීම, අකුරක් කියා දීම ඒ වගේම පෙර පාසලක් පවත්වා ගෙන යෑම මේ අන්ගන්වඩි මගින් සිදු වෙනවා. මුළු ඉන්දියාව පුරාම මේ වගේ අන්ගන්වඩි ලක්ෂ දාහතරකට ආසන්න ප්‍රමාණයක් තියෙනවා.

මග්පාරා අන්ගන්වඩියට ප්‍රජාපතී අමුත්තකු නොවෙයි. ඔහු මේ ලෙස අන්ගන්වඩියට ගොඩ වැදෙද්දී තමන්ට කුමක් හෝ ලැබෙන බව එහි සිටින කුඩාවුන් දන්නවා. කිහිලි කරු දෙක අනිමින් ප්‍රජාපතී අන්ගන්වඩිය දෙසට ඇදෙද්දී එදා එහි රැස්ව සිටි කුඩා ගැහැනු ළමයින් බලාපොරොත්තුවේ දෑස් දල්වා බලා සිටියේ ඒකයි. මින් වසර තුනක සිටම අන්ගන්වඩියට ප්‍රජාපතී යම් යම් දේ ලබා දුන්නා. ඒ අතර පොත් පත් හා පාසල් නිල ඇඳුම් ද වූවා. එදා ප්‍රජාපතී අන්ගන්වඩි යද්දී එහි දැරියන්ගේ මවුවරුන් කීප දෙනෙක් ද පැමිණ සිටියා. ඔවුන් පැමිණ සිටියේ කලින් කළ දැනුම් දීමක් මතයි. මෙදා ප්‍රජාපතී ගෙනැවිත් ඇත්තේ මොනවාදැයි කවුරුත් දෑස් දල්වා බලා සිටියා.

කිහිලි කරු පසෙකින් තැබූ ප්‍රජාපතී පුටුවක වාඩිවී තම ඔලොගුව අදිද්දී කවුරුත් ආසාවෙන් බලා හිටියා. ප්‍රජාපතී ඔලොගුව අතරින් කුඩා පෙට්ටි කීපයක් අතට ගනිද්දී කවුරුත් පුදුම වී ඒ දෙස බලා සිටියේ මෙදා ඔහු ගෙනැවිත් ඇත්තේ කුමක්ද යන කුහුලත් සමඟයි. එක් කුඩා දැරියක තමා වෙත කැඳවා ගත් ප්‍රජාපතී එක් කුඩා පෙට්ටියක් විවර කර ඒ තුළ වූ දෙය දැරිය ට පෙන්වද්දී එතැන සිටි සැමෝගේම දෑස් පුදුම‍‍යෙන් දිලිසුණා. එහි වූයේ ඉතාම කුඩා නාසය ට දමන ප්‍රමාණයේ පුංචිම පුංචි කරාබු ජෝඩුවක්. ඔහු මෙලෙස කුඩා රන් කරාබු ජෝඩු දහයක් සිය ඔලොගුවෙන් එළියට ගත්තා. ඒ සියල්ල අන්ගන්වඩියේ සිටින ඉතාම දුප්පත් දැරියන් දස දෙනා ‍සඳහායි. මේ දැරියන් තෝරා ගෙන තිබුණේ එහි පාලිකාවයි. ප්‍රජාපතී වෙනදා හැමදාමත් දැරියන්ගේ අධ්‍යාපනයට අත දීම සඳහා පාසල් උපකරණ ලබා දුන්නත් මෙදා පාර දැරියන් සඳහා ගෙනැවිත් ඇති දේ දැන ගත් පසු දැරියන් මෙන්ම ඔවුන්ගේ මවුවරුන් ද පුදුමයට පත් වුණා.

ඉන්දියාවේ අන්ත දුප්පත් දෙමවුපියන්ට සිය දියණිවරුන් වෙනුවෙන් රන් කරාබු යුවළක් තබා එදා වේල කන්න දීමත් ප්‍රශ්නයක්. එසේ තිබියදී දැරියන්ට රන් කරාබු යුවළක් ලැබීම යනු ඔවුන්ට රටක් රාජ්‍යයක් ලැබුණා හා සමානයි. කදුළු පිරුණු දෑසින් මවුවරුන් දියණියන්ට කරාබු පළඳවද්දී දැරියන් ඒ දෙස බලා සිටියේ අදහා ගත නොහැකි යමක් සිදුවූ විලසිනුයි.

“අපි එදා වේල හොයා ගන්නෙත් හරිම අමාරුවෙන්. එහෙව් එකේ අපේ දුවට රත්රන් කරාබු දෙකක් ලැබීම හීනයක් වගෙයි.“ තෙහැවිරිදි භූමි දුවගේ කන් පෙති රනින් බබළන අයුරු බලමින් ඇගේ මව කුමුද් ලිහාරියා පැවසුවා. ඇය මෙන්ම එදා ප්‍රජාපතී අතින් රන් කරාබු ලද දැරියන් ගේ මවුපියන් හැමෝම වාගේ කම්කරුවන් හා කම්මල්කරුවන් ලෙස සේවය කරන අයයි. ඒ හැමෝම ජීවත් වෙන්නේ මෙහ්සානා ටවුමේ මුඩුක්කු පැල්පත්වලයි.

'ගැහැනු ළමයින්ට ඉගෙනීම ගැන මීට වඩා උනන්දු කළ යුතුයි. ඒ හැමෝම තනිවම සිය දෙපයින් නැගී සිටිය යුතුයි. මෙහ්සානාවේ තත්ත්වය එතරම් හොඳ නැහැ. මෙහි පිරිමි ළමයි සමඟ ගත් විට ගැහැනු ළමයින් ඉගෙනීමට යොමු වෙනවා අඩුයි. මං මේ විදිහට ඉගෙන ගන්නා පුංචි ගැහැනු ළමයින්ට රන් කරාබු දෙන්න හිතුවේ ඔවුන් ඉගෙනීම කෙරෙහි වඩාත් පෙලඹවීමටයි.“ යනුවෙන් ප්‍රජාපතී එහිදී පැවසුවා.

මග්පාරා හි අන්ගන්වඩිය පවත්වා ගෙන යන්නේ ශීලා සත්වාරා ය. “ යාචකයා කියන කෙනා පසෙකින් තැබුවත් දුප්පත් කෙනෙකුට ලෙහෙසියෙන් තවත් අයකුට යමක් දෙන්න පුළුවන් කමක් නැහැ. එහෙව් ‍එකේ මේ විදිහේ කෙනෙක් ගැහැනු ළමයින්ට රත්රන් කරාබු දෙනවා මං ජීවිතයටම අහලාවත් දැකලාවත් නැහැ“ යැයි ඇය පවසයි.

පසුගිය වසර 13ක් පුරා ප්‍රජාපතී රුපියල් 80000ක් වැය කරමින් විවිධ ආකාරයේ ප්‍රදානයන් කළා. ඒ අතර පාසල් පොත් බෙදා දීම් පාසල් නිල ඇඳුම් බෙදා දීම් හා දුප්පත් ගැහැනු ළමයින්ගේ පාසල් ගාස්තු ගෙවීම් ද වූවා. ආබාධිත දැරියන් සඳහා වූ පාසලක් ඇතුළු ප්‍රාථමික පාසල් 12කට ඔහු මෙලෙස ප්‍රදානයන් කර තිබුණා.

ප්‍රජාපතී දැරියන් සඳහා රන් කරාබු මිලදී ගත්තේ නගරයේ රන් ආභරණ වෙළෙන්දකු වන දීපක්ගෙනුයි. ඔහු ඉතා පහසු මිලකට ඒ රන් කරාබු ලබා දුන්නේ ප්‍රජාපතී කරන සේවය අගය කරමිනුයි.

“මේවා ඉතා කුඩා කරාබු. යන්තම් නාසයට දමන කරාබුවක් හා සමානයි. මේ සියල්ලටම මිල වුණේ රුපියල් 13000ක් පමණයි. ප්‍රජාපතී මේ කරාබු මිලට ගන්නේ මෙවැනි සද්කාර්යයකට කියා දැන ගත් පසු මං රුපියල් 3000ක් අඩු කළා.“

ප්‍රජාපතී දැරියන්ට රන් කරාබු පරිත්‍යාග කළ දිනයේ ඔහුට එදා වේල සොයා ගැනීමට යෑම අතපසු වීම නිසා ඒ දවසේ කන්න බොන්න තරම්වත් මුදලක් ප්‍රජාපතී අතේ ඉතිරි වුණේ නැහැ. එනිසා ඔහුට සිද්ධ වුණේ දවසේ වේල හොයා ගන්න යළිත් හිඟමනේ යන්නයි. ඒත් මෙතැන සිටි ගුරුවරියක් ඒ දවසේ ඔහුට පිහිට වුණා. මේ ගුරුතුමිය මග්පාරා පාසලට පැමිණෙන අවසන් දිනය වුණේ එදිනයි. පසුදා සිට ඇය නගරයේ පාසලකට මාරු වීමක් ලැබ යෑමට නියමිතව තිබුණා. ප්‍රජාපතී අත සතයක්වත් ඉතිරිව නොමැති‍බව දැන ගත් ඇය ප්‍රජාපතීට රුපියල් 500ක් දුන්නා. ඒ නිසා ප්‍රජාපතීට එදා දවසේ කාටවත් අත නොපා ඉන්න පුළුවන් වුණා.

පොහොසතුන් අතර කොතෙක් මුදල් ගැවසුණත් දුප්පතුන් වෙනුවෙන් සිත් උණු වන්නේ ඉන් කීයෙන් කීදෙනෙකුගේද? ‍එහෙත් අතේ සතයක් නැතත් ප්‍රජාපතී වැනි අය ලැබෙන අන්තිම සතය හෝ දුප්පතුන් වෙනුවෙන් වැය කිරීමට සිතන්නේ ඔවුන් හදවතින් පොහොසත් නිසාය.

 

අදහස් 2ක් ඇත

oyat boho pin Dave pihitai

පිටු

නව අදහස දක්වන්න