අපි එදත් අදත් දුකේ | දිනමිණ

අපි එදත් අදත් දුකේ

වවුනියාව බෝගස්වැව මාර්ගයේ තත්ත්වය, වැසිකිළියක් සහ දේවිකා සහ පවුලේ අය
ඡායාරූප දිඹුලාගල සමූහ

අතීතයේ රජ දවස සිට උතුරු පළාතේ පැවති වැව් ගම්මාන බොහෝමයක් ත්‍රස්තවාදී තර්ජන හේතුවෙන් වල් බිහි වී ගියේය. මෙලෙස වවුනියාව දිස්ත්‍රික්ක‍යේ තිස් වසරකට වැඩි කාලයක් කැලයට වැසී තිබූ පැරැණි ගම්මාන යළි ස්ථාපිත කිරීම පසුගිය රජය සමයේ ආරම්භ විය. යුද හමුදාවේ පූර්ණ මැදිහත්විම මත පදිංචිකරුවන්ට යටිතල පහසුකම් ලබාදෙන බවට පොරොන්දු විය. ඒ අනුව මූලික වශයෙන් පදවිය සිට කච්චකොඩිය හරහා වවුනියාව දක්වා මං තීරු දෙකක මාර්ගය ඉදි කිරීම් කටයුතු 2012 වර්ෂයේදී ආරම්භ විය.

මීට සමගාමීව මාර්ගය දෙපස ගම්මාන ඉදිවිය. වෙහෙරතැන්න, බෝගස්වැව, නාමල්ගම, සැලළිහිණිගම මෙම ගම්මාන විය. මෙහි මුල් ඉඩම්හිමියන්ට අමතරව දිවයිනේ විවිධ ප්‍රදේශවල අය පදිංචිකර ඇත. ඒ අතර නාය යෑමේ අවදානමක සිටි නුවරඑළිය, බදුල්ල, මහනුවර වැනි දිස්ත්‍රික්කවල මෙන්ම සුනාමි ව්‍යසනයට ගේ දොර අහිමිවූ දකුණු පළාතේ ජනතාව ද විය.

වවුනියාව සැලළිහිණිගම සදගිරිරජමහා විහාරාධිපති තණමල්විල පියනන්ද හිමි - “මෙම ගම්මානවල ඉතිහාසය දුටුගැමුණු රජසමය දක්වා දිවෙනවා. නන්දිමිත්‍ර යෝධයා මෙම ප්‍රදේශයේ ජීවත්වූ බවට දළදා වහන්සේ වැඩම කළේ මෙම මාර්ගයේ බව ජනප්‍රවාදයේ සදහන් වෙනවා. 1965-70 කාලය දක්වා මෙම ගම්මාවල ජනතාව පදිංචිවෙලා ඉදලා තිබෙනවා. ඒ අයට සින්නක්කර ඔප්පු පවා තිබෙනවා. පසුගිය රජය ආරම්භ කළ සංවර්ධනය අද ඇනහිටලා.ඒ නිසා මිනිස්සු අසීමිතව දුක් විදිනවා. නන්දිමිත්‍රගම, සැළලිහිණිගම, නාමල්ගම,බෝගස්වැව 01 සහ බෝගස්වැව 02 විදිහට අලුත් ගම්මාන ඇති කළා.මේ හැම ගමකම අයට කුඹුරු දෙනවා කිව්වා. පිරිසිදු පානීය ජල ව්‍යාපෘතියක් ලබාදෙනවා කිව්වා.දැන් ඒ ගැන කථාවක් වත් නැහැ. ගොඩ ඉඩම්වල වගා කරන්න පුළුවන් මාස් කනනේ විතරයි. ඒ ආදායම අවුරුද්දක් ජීවත්වෙන්න ප්‍රමාණවත් නැහැ. කුලී වැඩක් හොයාගෙන යන්න තැනක් නැහැ.මේ මිනිස්සු අද කබලෙන් ලිපට වැටී තිබෙනවා.

අද විශාල ප්‍රශ්න ඒ හැම ප්‍රශ්නයක්ම පොදු ඒවා.”

බෝගස්වැව, සැළලිහිණිගම ඩී. එම්. වික්‍රමසිංහ මහතා - මේ ගම්මාන පහේ පවුල් 5000කට ආසන්න පිරිසක් පදිංචි කළා. දැන් සෑහෙන පිරිසක් මේ ඉඩම් අතහැරලා ගිහිං. මූලික පහසුකම්, ජීවත්වෙන්න ආදායමක් නැහැ. අපිට අද යන්න තැනක් නැහැ. ගම්වල තිබුණු දේවල් විකුණලා මෙහෙට ආවේ.පහුගිය ආණ්ඩුව කාලේ ගෙවල් හදාගන්න අපිට ආධාර කොටසක් දුන්නා. එක ගෙදරකට ලක්ෂ පහක් දෙනවා කිව්වා. මූලිකව හැට දහසක් දුන්නා. අදියර තුනකට මුදල් දෙනවා කිව්වා. ඒ ලැබුණ මුදලේ හැටියට අපි වැඩ කළා. අපේ ගමේ හැමෝගෙම ගෙවල් භාගෙට හදලා නතරවෙලා. මේ වැඩසටහන ඉදිරියට ගෙනයන ලෙසයි අපි ඉල්ලන්නේ.

බෝගස්වැව, නාමල්ගම දේවිකා මානෙල් මහත්මිය - ප්‍රධාන මාර්ගයේ වැඩ අවසන් වූවත් එය කාපට් නොකිරීම නිසා දූවිලි. වර්ෂා කාලයට පාරෙ යන්න බැහැ. මඩ වළවල්. මෙම ගම්මාන පහටම තියෙන්නේ බෝගස්වැව විදුහල පමණයි. ළමයි පස් දෙනෙකුගෙන් 2012 පටන් ගත්තු ඉස්කොලේ අද ළමයි 650ක් පමණ ඉන්නවා. මේ දරුවන්ට කිසිදු පහසුකමක් නැහැ. ගුරුවරු, ගොඩනැඟිලි ඩෙස් බංකු මේ කිසිම දෙයක් නැහැ. ටකරන් මඩුවල දරුවෝ දුක් විදිනවා. ගස්ලබු, පැෂන් පෘට්, තිබ්බටු, බටු, කෙසෙල් භෝග ඉතා සරුවට තිබුණත් එය දරුපවුලක් ජීවත් කිරීමට කිසිසේත් ප්‍රමාණවත් නෑ.

ඩබ්ලිව්. එච්. පුන්‍යවතී මහත්මිය - බදුල්ල රත්නෝදාගම සිට සැළලිහිණිගමට ආවේ එහේ ඉඩම් නායයන නිසා. එහෙ අපිට හොදට ගෙවල් දොරවල් තිබුණා. අද අපි මැටි පැලකට වෙලා බොන්න වතුර පොදක්වත් නෑ. මගේ නංගිගේ පුතා නාමල්ගම පදිංචි. එයාගේ දරුවට බෙහෙත් ගන්න ගිහිං එනකොට ගෙට හොරු පැනලා. හොරකම් කරලා තිබුණේ කෑම ජාති විතරයි. ගෙදර බඩු මුට්ටු ඒ විදිහට තිබුණා. හාල්, සීනි, කිරිපිටි, හාල්මැස්සො, පරිප්පු වගේ කන්න පුළුවන් සේරම අරං ගිහිං දුක හිතෙන කාරණේ මහත්තයෝ පොඩි දරුවගේ ත්‍රිපෝෂ පැකට් භාගයක් තිබුණා. ඒකයි ගාල ඉතිරිවුණූ පොල් බෑයත් අරං ගිහිං.ඉතිං හිතාගන්නකෝ මෙහෙ මිනිසුන්ගේ ජීවන තත්ත්වය.

නාමල්ගම රංජිත් කරුණාරත්න මහතා - “දැන් හැම ගමකටම විදුලිය තියෙනවා. නන්දිමිත්‍රගම යුද හමුදාවෙන් ගෙවල් හදලා දුන්නා. නමුත් අනිත් ගම්මානවලට එම වැඩ සටහන ක්‍රිමයාත්මක වෙන්න කලින් ආණ්ඩුව මාරු වුණා. අපි ඉල්ලන්නේ අපිට ගෙවල්ටික හදලා ජීවත් වෙන්න මූලික පහසුකම් ටික දෙන්න කියලා. අද අපිට තියෙන ප්‍රශ්නය උදේට කෑවම දවල්ට කන්නේ කොහොමද කියන එකයි. අපිට බොන්න පිරිසුදු වතුර පොදක් නැහැ.නාන්න හැතැප්ම තුනක් විතර දුර යන්න ඕනෑ. ඒවත් පුංචි වැවුවල අපිරිසිදු වතුර. නළ ළිං වතුර කිවුලයි. ඒක වකුගඩු රෝගයට හේතුවක්.

දිඹුලාගල සමූහ

 

අදහස් 1ක් ඇත

කරුණාකර වවුනියාවේ සැලළිහිණිගම සඳගිරි රජමහාවිහාරාධිපති පූජ්‍ය තණමල්විල පියනන්ද හිමියන්ගේ දුරකථන නොම්මරය එවිය හැකිද? - තෙරුවන් සරණයි [email protected]

නව අදහස දක්වන්න