චුලක්ෂි වැඩියෙන්ම කැමැති දේ | දිනමිණ

චුලක්ෂි වැඩියෙන්ම කැමැති දේ

වැඩියෙන්ම කැමැති සිනමාවට දේදුනු ආකාසෙන් පායන ලක් රූ රැජන

 

චුලක්ෂි රණතුංග

 

මේ ඉන්නේ චුලක්ෂි රණතුංග. ඇය තමයි අප සිනමාවට එක් වූ අලුත්ම කතානායිකාව. ප්‍රියන්ත කොළඹගේ ගේ දේදුනු ආකාසේ සිනමාපටය හරහා රංගනයට පිවිසි චුලක්ෂි මෝස්තර නිරූපිකාවක හැටියට කලක් ක්ෂේත්‍රයේ කටයුතු කළා. ඒ වගේම 2014 වසරේ ලෝක රූ රැජණ තරගාවලිය නියෝජනය කරන්න ලංකාවෙන් ගියේ මේ චුලක්ෂි. ඇය තමයි අද ජ්ඕ හැඩ ගන්වන රුවැත්තිය.

 

චුලක්ෂි, කොහොමද ඉතින්?

හොඳින් ඉන්නවා.

ෆිල්ම් එකේ ෂූටිං පටන් ගත්තද?

තවම නැහැ. මේ දිනවල අපට වර්ක්ෂොප් තියෙනවා රංගනය සම්බන්ධ. ඒවාට දායක වෙනවා. හොඳ පුහුණුවකින් පසුව තමයි අපව කැමරාව ඉදිරියට යවන්නේ.

ඔබ කොහොමද දේදුනු ආකාසේ සමඟින් එකතු වන්නේ?

මං ප්‍රියන්ත කොළඹගේ මහත්මයාව කලින් දැනගෙන හිටියේ නැහැ. ඔහු විසින් පැවැත් වූ ඔඩිෂන් එකකට මට සහභාගී වෙන්න ලැබුණා. ඒ හරහා තමයි මට අවස්ථාව ලැබුණේ චිත්‍රපටයට එකතුවන්න.

ඔබ රංගනයට පිවිසෙන්නේ චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් මවමින්. මොකද හිතෙන්නේ?

වචනවලින් කියාගන්න බැරි තරම් සතුටක් තියෙනවා. චිත්‍රපටය තිරගත වන දවස්වල ඒ සතුට නොඅනුමානව දෙගුණ තෙගුණ වේවි.

ඔබ වඩාත් කැමැති සිනමාවට බව ඔබේ කතාබහෙන් දැනෙනවා?

ඒක නම් ඇත්ත. මම වැඩියෙන්ම කැමැති සිනමාවට.

වර්තමානය වන විට නව පරපුරේ නිළියන් ටෙලි නාට්‍යවලින් තමයි ප්‍රේක්ෂකයන් අතරට යන්නේ. නමුත් ඔබ එහෙම නැහැ?

ටෙලි නාට්‍යවලට මං අකැමැතියි. ඒක මගේ පුද්ගලික මතය. මට වැඩිපුරම ආරාධනා ලැබුණේ ටෙලි නාට්‍ය සඳහා. නමුත් මම ගියේ නැහැ.

ටෙලි නාට්‍ය රංගනයෙන් ඔබට ජනප්‍රියත්වය වැඩිකර ගන්න තිබුණා නොවේද?

ඔව්. මම ටෙලිවල හිටියා නම් අද වන විට ජනප්‍රිය නිළියක්. බොහෝ දෙනෙක් මාව හඳුනනවා. නමුත් මට සිනමාවේ හොඳ ගමනක් තියෙනවා කියලා විශ්වාසයි.

ඔබ ටෙලි නාට්‍ය නරඹනවාද?

නැහැ, මගේ වැඩත් එක්ක එක දිගට මට නාට්‍ය බලන්න අමාරුයි.

ඔබ මෝස්තර නිරූපිකාවක විදිහට දිගටම ඉන්නද කල්පනාව?

ඔව්. ඒ අතරතුරදී රංගන කටයුතුවලට දායක වෙනවා. දේදුනු ආකාසේ සිනමාපටයට සම්බන්ධ වෙන්න කලින් අපට රංගනය පිළිබඳ වර්ක්ෂෝප් තිබුණා. ඒවාට දායක වුණු නිසා මේ වන විට මට රංගනයට යම් ඇල්මක් ඇති වෙලා තියෙන්නේ. සිනමාවේ හොඳ චරිතයක් තුළින් ප්‍රේක්ෂකයන් හමුවන්නට හිතාගෙන ඉන්නවා. මොන දේ වුණත් මෝස්තර නිරූපණය අතහරින්නේ නැහැ.

චුලක්ෂිගේ ගම කොහෙද?

නිට්ටඹුව.

ඉගෙන ගත්තේ?

කුරුණෑගල මලියදේව බාලිකාවෙන්.

උපන් දිනයත් සඳහන් කරමු?

පෙබරවාරි එකොළහ.

කොහොමද කලා ලොව ඔබට දැනෙන්නේ?

හරිම සුන්දර දෙයයක් හැටියට දැනෙනවා.

අසුන්දර තැන් ඇත්තෙම නැතිද?

නැහැ. සුන්දරම සුන්දරයි.

කලාකාරිණියක් වීම ගැන මොකද හිතෙන්නේ?

මෙහෙමයි, කලාකාරිණියක්ව මතුපිටින් කෙනෙක් දකින්නේ හරිම සරල වෘත්තියක් කරන කෙනෙකු හැටියට. ඒත් එහෙම නැහැ. මේක සංවේදී දෙයක්. ඒ වගේම කලාකාරිණියක් හැටියට අපිට බොරු කරන්න බැහැ. එහෙම කළොත් ඒක ප්‍රේක්ෂකයන්ට දැනෙනවා. කලාකාරිණියක් හරිම වගකීමෙන් කටයුතු කරන්න ඕනෑ. අනික හැමෝටම කලාකාරිණියන් වෙන්නට බැහැනෙ.

චුලක්ෂිට කලාවෙන් ලැබෙන මුදල් ප්‍රමාණවත් ද ඔබේ වැඩ කටයුතු සඳහා?

ඔව්. ප්‍රමාණවත්.

එහෙනම් ඔබ කවදා හෝ වෘත්තීය කලාකරුවකු වේවි?

ඒක කියන්න බැහැ. ඒත් ඉදිරියේදී මං ව්‍යාපාරයක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා. ඒ ගැන ස්ටඩි කරනවා මේ දිනවල.

චුලක්ෂි පිළිබඳ කෙනෙකු කළ හොඳම වර්ණනාව මොකක්ද?

මං හරි හොඳ නිහතමානී කෙනෙක් කියලා කිව්වා.

ඒත් ඔබ ටිකක් ආඩම්බරකාරියක වගේ කියලා ඔබේ මුහුණ බැලුවාම පේනවා?

ගැහැනු ළමයකු හැටියට යම් ආඩම්බරයක් තිබිය යුතුයි. නැත්නම් වැඩක් නැහනෙ. නමුත් උඩඟු වෙන්න හොඳ නැහැ. අන්න එතනයි බොහෝ දෙනෙකු වරද්දගෙන තියෙන්නේ.

චුලක්ෂි ආයේ ඉපදෙන්න කැමැති රට මොකක්ද?

ලංකාවම තමයි.

දෙවියන් විසින් වරමක් ලබා දුන්නොත් මොනවද ඔබ ඉල්ලන්නේ?

මට තවත් උස දෙන්න කියලා ඉල්ලනවා.

චුලක්ෂිගේ උස කීයද?

අඩි පහයි අඟල් අටයි.

තව උස ඉල්ලන්නේ තියෙන ප්‍රමාණය මදි හින්දද?

ඔව්.

එහෙම වුණොත් ඔබට පෙම්වතියගේ චරිතය කරන්න බැරි වෙනවානෙ?

එහෙම වෙන එකක් නැහැ. එතකොට මගේ උස තියෙන නළුවන් එක්ක රඟපානවා.

චුලක්ෂි ගැන කෙටියෙන් හඳුන්වා දෙන්න බලන්න?

කාටවත් කරදරයක් නැති කෙනෙක්.

 

 

නව අදහස දක්වන්න