ජේසුතුමන්ගේ දුක්ඛප්‍රාප්තිය සමරමින් කිතුනුවෝ මේ දිනවල චතාරිකා කාලය සමරති. ඒ නිමිත්තෙන් කච්චතිව් දූපතේ වාර්ෂිකව පැවත්වෙන දේව මෙහෙය ශ්‍රී ලංකාව හා ඉන්දියාව යන දෙරටින්ම ජනතාව සහභාගී වන වන්දනාවකි. කතෝලික බැතිමතුන්ට අමතරව අනෙකුත් ආගමිකයන් ද සහභාගීවන මෙම ගමනට මෙවර වාර්තාගත ජන සහභාගීත්වයක් ලැබිණ. මේ කච්චතිව් දූපතේ කෙරුණු සංචාරයකින් පසු සැකසුණු ලිපියකි.
වර්ග කිලෝමීටර් 1.15ක් එනම් අක්කර 285ක භූමි ප්‍රමාණයකින් යුතු කච්චතිව් දූපතට අප මේ ගමන් ආරම්භ කරන්නේ කන්කසන්තුරේ ජැටියේ සිටය. එය සැතපුම් 40ක ගමනකි. අන්තර්ජාතික මුහුදු සීමාවේ සිට නාවික සැතපුමක් එනම් කිලෝමීටර් 1.8ක දුරකින් කච්චතිව් දූපත පිහිටා තිබේ. යාපනය දිස්ත්‍රික්කයට අයත් කච්චතිව් දූපතේ පරිපාලනය ඩෙල්ෆ් ප්‍රාදේශීය කාර්යාලය මඟින් කෙරෙන අතර, ඩෙල්ෆ් සිට කච්චතිව් දක්වා ඇත්තේ කිලෝ මීටර් 18.54කි. එය නාවික සැතපුම් 10.3ක් වේ.
පැය දෙකක මුහුදු ගමනකින් පසු ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඩෝරා යාත්‍රා දෙකකින් කච්චතිව් දූපත කරා පැමිණි අපට මුලින්ම නෙත ගැටුණේ දූපත වටා තිබූ සිංහ ධජ සුළඟට ලෙලදෙන අයුරුය.
දූපතට ඇතුල්වන ස්ථානයේදීම නාවික හමුදාව මඟින් මාධ්‍යවේදීන් සඳහා අවසරපතක් ලබා දුන් අතර, ඔවුන්ගේ සංවිධාන කටයුතු ඉතා ක්‍රමවත් විය. හිමිදිරියේ අව් රශ්මිය ගතට වෙහෙසක් නොවූ බැවින් අපි සෙමින් සෙමින් දේවස්ථානය කරා ගමන් ආරම්භ කළෙමු.
එහිදී කච්චතිව් දේව මංගල්‍යයට එක් වූ බැතිමතුන් අතර අපට හමුවූ ප්‍රථම නඩය වූයේ ගම්පහ, වැලිවේරිය ප්‍රදේශයේ සිට පැමිණි මර්වින් පෙරේරා ප්‍රමුඛ කණ්ඩායමයි. ඔවුන් සිය අත්දැකීම් පිළිබඳ මේ අයුරින් අපත සමඟ අදහස් දැක්වීය.
"කච්චතිව් වන්දනාවට පැමිණි ප්‍රථම අවස්ථාව මෙයයි. ගම්පහ සිට නාගදීපයට බස් රථයෙන් පැමිණියා. ගොඩක් අය දුෂ්කර ගමනක් කියා පැවසුවත් මේ අත්දැකීම ලබන්න හිතුණා. ඒ නිසා සුන්දර, ත්‍රාසජනක මුහුදු ගමනකින් පසු දේව මංගල්‍යයට සහභාගීවීමට ලැබීම භාග්‍යයක්. කුරුකට්ටුආන් ජැටිය හරයා අපේ නඩේ 150 මේ ගමනට එක්වුණා. මේ ජේසුතුමාගේ දුක්ඛ ප්‍රාප්ති (චතාරික) කාලය යි. කෙසේ වුවත් ශ්‍රී ලංකා නාවික හමුදාව උපරිම සේවයක් ලබා දුන්නා. ආහාර, ජලය කිසිදු අඩුවක් තිබුණේ නෑ. හිතුවටත් වැඩිය හොඳට තිබුණා."
ඉදිරියට ගමන් කරන අපට හමු වූයේ, නාවික හමුදාවෙන් තාවකාලිකව ස්ථාපිත කර ඇති කුඩා විදුලිජනක මධ්‍යස්ථානයකි. මසක පමණ කාලයක සිට ශ්‍රී ලංකා නාවික හමුදාව කච්චතිව් දේව මෙහෙය සඳහා යටිතල පහසුකම් බොහොම අපූරුවට සූදානම් කර තිබූ අයුරු දැක ගත හැකි විය. ජෙනරේටර් 04 කින් කච්චතිව් දූපතට ආලෝකය ලබා දී තිබුණි. කටු පඳුරු සහිත වන ලැහැබ ශුද්ධ පවිත්‍ර කරමින් දෙව් මැදුර කරා යන මාර්ගය ගොඩනැඟීමට ශ්‍රී ලංකා නාවික හමුදා රණවිරුවෝ කටයුතු කර තිබිණි.
පිවිසුම් මාර්ගය අලංකාර තොරණකින් සරසා තිබූ අතර, බැතිමතුන් ඇතුල්වන ස්ථානය වෙන් වශයෙන් ශ්‍රී ලාංකික හා ඉන්දියන් බැතිමතුන් වෙනුවෙන් වෙන් කර තිබුණි.
කච්චතිව් පොලිසියේ සහය ද ලබා ගනිමින් දූපතේ ආරක්ෂාව තහවුරු කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කර තිබූ අතර, දූපත වටා සිංහ ධජ ඔසවා තිබීම මුහුදේ සිට පැමිණෙන කාගේත් ඇස ගැටෙන ප්‍රථම දර්ශනය වූහ.
ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් කාන්තා හා පිරිමි නිලධාරීන් 400කට අධික පිරිසක් රාජකාරී සඳහා යොදවා තිබුණු අතර, ඔවුන් සමඟ ශ්‍රී ලංකා පොලිසිය ද සහයෝගයෙන් රාජකාරී ඉටු කරන අයුරු දැක ගත හැකි විය.
මේ ගමනේ දී අපට හමුවූයේ තමිල්නාඩුවේ, කරෙයිකුඩි සිට පැමිණි නීතිඥයකු වන ජී. විමල් මහතායි. ඔහු නඩේ ගුරා වූ අතර හෙතෙම ප්‍රථම සංචාරයේ අත්දැකීම් අප සමඟ බෙදාගත්තේ මේ අයුරිණි.
"අපි මාස එකහමාරකට කලින් කච්චතිව් වන්දනාවේ පැමිණෙන බවට චෙන්නායි පල්ලියේ ලියාපදිංචි වුණා. මම හින්දු බැතිමතෙක්. නමුත් මට අවශ්‍ය වුණා මේ අත්දැකීම ලබා ගන්න. රාමේෂ්වරන් සිට බෝට්ටු දෙකකින් අපේ නඩේ 37ක් පැමිණියා. පැය දෙකයි ගත වුණේ. සියලු පහසුකම් සුපිරි අයුරින් ආරක්ෂක අංශ ලබා දී තිබුණා. අපට පාස්පෝට් නැතිව යන්න පුළුවන් දූපත් දෙකකට විතරයි. ඒ කච්චතිව් හා මාලදිවයිනට පමණයි. ශ්‍රී ලංකා නාවික හමුදාව කිසිම තද නීතියක් දමා තිබුණේ නෑ. බොහෝම සැහැල්ලුවෙන් මේ වන්දනාවට එක් වුණා. ඇත්තටම ඉන්දු-ශ්‍රී ලංකා ධීවර ප්‍රශ්නයට අපි කැමති නෑ. ඔවුනොවුන්ට වාසි අයුරින් මේ පුවත් පළ වුණත් මෙවැනි පුණ්‍ය භූමියකට පැමිණෙන විට ලැබෙන අත්දැකීම පුදුමාකාර සතුටක්. මේ ගමනට අපේ එක් අයෙකුට වැය වුණේ ඉන්දියානු රුපියල් 1000ක් පමණයි."
කේරලයේ සිට පැමිණි සිවිල් ඉංජිනේරු ප්‍රින්ස් කුරියන් ගේ මුහුණේ දක්නට ලැබුණු සිනහව වචන බවට පෙරලුනේමේ අයුරිණි.
"මේ වන්දනා ගමන පිළිබඳ ගොඩක් අය යහපත් ප්‍රතිචාරයක් දක්වා තිබුණා. ඒ නිසා මමත් ඒ අත්දැකීම ලබන්න කැමැත්තෙන් සිටියා. පල්ලියේ මාසයකට පෙර ලියාපදංචි වී කච්චතිව් මංගල්‍යයට සහභාගී වුණා. ශ්‍රී ලංකා ආරක්ෂ අංශ ලබා දී තිබුණු සේවය විශිෂ්ටයි. පොඩි පෝලිකමක් තිබුණා. නමුත් එය බාධාවක් වුණේ නෑ. අපේ නඩේ 23ක් මේ ගමනට සහභාගී වුණා."
විවිධ ජාතීන් කච්චතිව් දූපතට පැමිණ සිටි අයුරු අපට දැක ගත හැකි විය. කේරලයේ සිට පැමිණි මුස්ලිම් ජාතික බෂීර්ට ද අප සමඟ පැවසීමට අදහසක් තිබුණි.
"මම මුස්ලිම් ජාතිකයෙක්. නමුත් කැමැත්තක් තිබුණා කච්චතිව් දූපතේ දේව මෙහෙයට සහභාගී වෙන්න. මම රැකියාව හැටියට කරන්නේ කුළුබඩු වෙළෙඳාම. අපේ 03 දෙනෙක් කච්චතිව් ආවා. සම්පූර්ණ නඩය 33ක් පැමිණියා. ඇත්තටම කිසිදු අඩුවක් නැතිව පහසුකම් සලසා තිබුණා."
මේ ගමනේ දී ඉන්දියානු මාධ්‍යවේදීන් හමුවීම ද විශේෂත්වයකි. ඔවුහු සිය අත්දැකීම් ඉන්දියානු මාධ්‍ය වෙත වාර්තා කිරීමට උද්යෝගයකින් කටයුතු කරන අයුරු දැක ගත හැකි විය. ඉන්දියානු මාධ්‍යවේදීන් 31ක් දෙනෙක් මෙම කණ්ඩායමට අයත් විය. දෙරටේ සාමාන්‍ය ජනතාව සහයෝගයෙන් වැඩ කරන අයුරු ඔවුහු ඇගයීමට ලක් කළහ. දේශපාලඥයින්ගේ වාසි වෙනුවෙන් ජනතාව ගැටීම ඉන්දියානු මාධ්‍යයේ නොසතුටට හේතුවක් විය. ශ්‍රී ලාංකිකයින් තමන් පිළිගත් අයුරු ඇගයීමට ලක් කළ එම මාධ්‍ය කණ්ඩායම සිය රටේ දී තමන් සෝදිසියට ලක් කළ අයුරු හා මෙම සංචාරයට එක්වීමට පෙර ඉන්දියානු බුද්ධි අංශ තමන් පිළිබඳ විමසිලිමත් වූ අයුරු අප සමග පවසා සිටියහ.
දෙරටේ ධීවර ප්‍රශ්නය සාකච්ඡා මඟින් විසඳාගත හැකි බවත්, ඊට දේශපාලඥයන් සම්බන්ධවීම නුසුදුසු බවත් ඉන්දියානු මාධ්‍ය පැවසූ අතර, එමෙන්ම නව තාක්ෂණය යොදාගනිමින් මුහුදු සීමා උල්ලංඝනය කිරීම සොයාගත හැකි යැයි ද ඔවුන්ගේ අදහස විය.
උතුරු පළාත් ආඥාපති ප්‍රමුඛ ආරක්ෂක අංශ ලබා දී තිබු සේවාව සුළු පටු නොවන අතර, එය පැමිණ සිටි දෙරටේ බැතිමතුන්ගේ ඇගයීමට ලක් වුහ.
ඩෝරා යාත්‍රා, වෙරළ ආරක්ෂක යාත්‍රා හා නාවික යාත්‍රා 25කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් පහසුකම් සැලසීම සඳහා යොදවා තිබූණි. ඉන්දියානු ට්‍රොලර් යාත්‍රා 94කින් හා ශ්‍රී ලංකා යාත්‍රා 203කින් බැතිමත්හු කච්චතිව් වන්දනාවට පැමිණ සිටි බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසා සිටියහ.
ඉතිහාසයේ වැඩිම බැතිමතුන් පිරිසක් සහභාගී වූ 2016 දේව මංගල්‍ය සඳහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණවර්ධන, උතුරේ ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහත්වරු ප්‍රමුඛ ආරාධිතයෝ රැසක් එක්ව සිටියහ.
කච්චතිව් දූපතේ පොල් පැල සිටුවීමේ ව්‍යාපෘතියක් පැමිණ සිටි ආරාධිතයින් ප්‍රමුඛ පූජකවරුන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ කිරීමද මෙම සංචාරයේදී දක්නට ලැබුණු විශේෂ අවස්ථාවකි.
වසර 100ක් පමණ පැරැණි කච්චතිව් දෙව් මැදුර ප්‍රතිසංස්කරණය කිරීමට යාපනය අගරදගුරු ආචාර්ය ජස්ටින් ඥානප්‍රකාසම් කළ ඉල්ලීම නාවික හමුදාපතිවරයාගේ සුවිශේෂී අවධානයට ලක් විය. එය ඉදිරියේ දී ආරක්ෂක අමාත්‍යාංශයේ අවසර මත ඉටු කරන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර සී. විජේගුණවර්ධන මහතා පැවසූ අතර එය දකුණු ඉන්දියාවේ සිටි පැමිණි පූජකතුමන්ලා 150 කගේ පමණ ඇගයීමට ලක් වූහ.
ආහාර සඳහා බර පැන ලබාදී තිබුණේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයයි. සනීපාරක්ෂක කටයුතු ඇතුළු අනෙකුත් සියලුම යටිතල පහසුකම් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ මඟින් සලසා තිබිණි. මෑත ඉතිහාසයේ ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණු කච්චතිව් දේව මංගල්‍යය අවසානයේ දෙරටේ බැතිමතුන් ආපසු සිය ගම්බිම් බලා පිටත්වූයේ පුදුමාකර සතුටකින් බව අපේ කැමරා ඇස අපූර්වට සහන් කර තිබිණි.
නව අදහස දක්වන්න