විවිධ අකුරු හැඩ නොමැති වීම යුනිකෝඩ්වල දුර්වලකමක් | දිනමිණ

විවිධ අකුරු හැඩ නොමැති වීම යුනිකෝඩ්වල දුර්වලකමක්

පී.කේ. බණ්ඩාර
පුෂ්පානන්ද ඒකනායක

දැනට තියෙන ඉහළම ගණයේ ෆොන්ට් නිර්මාණය කරන මෘදුකාංග භාවිත කරලා තමයි අභය ලිබ්රේ ෆොන්ට් එක නිර්මාණය කරලා තියෙන්නේ. එය දැනට පවතින සිංහල යුනිකෝඩ් ෆොන්ට්ස්වලට වඩා සෞන්දර්යාත්මක බවින් ඉහළයි. එය ගූගල් සමාගම හා එක්ව තමයි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ.

සිංහලෙන් පරිගණක භාවිත කරන කොයි කාටත් නැතුවම බැරි එෆ්.එම්. ෆොන්ට් මාලාවේ හිමිකරුවා පුෂ්පානන්ද ඒකනායක මහතාය. මෙරට ෆොන්ට් නිර්මාණයේ පියා ලෙස ඔහුව හැදින්වුවොත් එය නිවැරදිය. ඔහු අතින් නිර්මාණය වී පරිගණකයට එක් වුණු ‍අකුරු හැඩ බොහොමයකි. නිර්මාණකරුවෙකු ලෙස මෙන්ම ව්‍යාපාරික‍යෙකු ලෙසද ආයතනවලට අකුරු හැඩ නිර්මාණය කරන ඔහු, තමන් මුලින්ම නිර්මාණය කළ ෆොන්ට් 10 කට අධික ප්‍රමාණයක් ‍නොමිලේම භාවිත කිරීමට මෙරට ජනතාවට අවසර ලබා දී ඇත්තේ ව්යාරපාරික වුමනාවන්ට වඩා ජාතික වගකීමක් ඉටු කිරීමක් ද ලෙස ය.

අප අද නිරන්තරයෙන් භාවිත කරන ‍එෆ්එම් අභය, මලිති, බින්දුමතී, සමන්තා ඇතුළු ෆොන්ට් වර්ග රැසක හිමිකරුවා සහ නිර්මාණකරුවා පුෂ්පානන්ද ඒකනායක මහතාය. දශක ගණනාවක් අකුරු හැඩ සහ නිර්මාණ සමඟ දිවි ගෙවන මේ නිර්මාණකරුවා සමග පැවැත් වූ සාකච්ඡාවක සටහනකි මේ.

පරිගණකය සදහා අකුරු මෝස්තර නිර්මාණය කිරීම ආරම්භ වන්නේ කෙසේ ද?

ඔබට පෙනෙනවා මගේ මේසය උඩ තියෙන ‍කොළවල ලියා තිබෙන අකුරු හැඩ. අකුරු හැඩ නිර්මාණය කිරීම ආරම්භ කළ සමයේ සිටම කරගෙන ආ ආකාරයට අදත් මම මට හිතෙන මගේ හිතේ මැවෙන අකුරු හැඩ මේ කොළවල කුරුටු ගානවා. එසේ නිදහසේ ඇදෙන අකුරු හැඩ දිහා හොදින් නිරීක්ෂණය කළ විට මට හැගෙනවා යම් අකුරු හැඩයක් සම්මත අකුරු හැඩයක් නැතිනම් පරිගණකයට භාවිත කළ හැකි ෆොන්ට් එකක් ලෙස වැඩිදියුණු කරන්න පුළුවන් කියලා. ඉන් පසුවයි එම අකුරු හැඩය ස්කෑන් කර පරිගණකය තුළට ගෙන අකුරු නිර්මාණය කරන මෘදුකාංගයක් ඔස්සේ ෆොන්ට් එකක් බවට පත් කිරීමේ කාර්යය ආරම්භ කෙරෙන්නේ.

අකුරු හැඩයක් නැතිනම් ෆොන්ට් එකක් තිබ්බට මදි සිංහලෙන් පරිගණක අකුරුකරණය කරන්න. ඒ සදහා යතුරුපුවරුවක් සහ ෆොන්ට් සමඟ යතුරු පුවරුවසම්බන්ධීකරණය කරන මෘදුකාංගයක් (Linking Driver Software)අවශ්‍ය වෙනවා නේද?

සාමාන්‍ය සම්මතය තමයි පරිගණකයේ දීත් අප තවමත් භාවිත කරන්නේ. ඒ විජේසේකර යතුරු පුවරුවයි. එය දීර්ඝ කාලයක් තිස්සේ පැවත එන නිසා එම යතුරු පුවරුවම තමයි අප තවමත් භාවිත කරන්නේ. කෙනෙකුට ඕනෑ නම් එම යතුරු පුවරුවට වඩා වෙනස් යතුරු පුවරුවක් නිර්මාණය කර ගත හැකියි. එය පරිගණකය තුළින් කරගත හැකි කාර්යයක්. ඒ වගේම තමයි හල් කිරීම්, ඇලපිළි, ඉස්පිලි ආදිය නිසි පරිදි අකුරකට එක් කිරීම සදහා අප විවිධ සම්බන්ධීකරණ මෘදුකාංග භාවිත කරනවා. සමහර මෘදුකාංග මිලදී ගැනීමට තිබෙන අතර නොමිලේ අන්තර්ජාලයෙන් භාගත කරගත හැකි ඒවාත් තියෙනවා. අප ෆොන්ට් එකක් නිර්මාණය කරද්දී සිංහල භාෂාව අනුව එක් එක් අකුරට එක් කළ යුතු සියලු ප්‍රභේද ඒ අකුර වෙනුවෙන් එක් කරනවා. නිදසුනක් ලෙස ගත්තොත් 'ම' නිර්මාණය කිරීමේ දී 'ම්, මි, මී යන අකුරු 'ම' අකුර පිටුපස තියෙනවා. 'ම්' අවශ්‍ය කෙනෙකුට 'ම' යතුරුකරණය කර හල් කිරීමට නියමිත යතුර එබූ විට 'ම්' තිරයේ දිස්වෙනවා. මේ කාර්යය සම්බන්ධීකරණය කරන්නේ අදාළ සම්බන්ධීකරණය කරන මෘදුකාංගයයි.

පුවත්පතකට හෝ දැන්වීමකට අකුරු හැඩයන් භාවිත කිරීමේ දී සළකා බැලිය යුතු කාරණාවන් මොනවාද?

ජාතික පුවත්පතක දී නම් ප්‍රධාන පුවත් සඳහා සරල- පැහැදිලි- නිරවුල් මෝස්තරයක් යොදාගැනීම තමයි පිළිගත් ක්‍රමය. එකම මෝස්තරයේ ලයිට්, බෝල්ඩ් යෙදීම සහ අකුරුවල ප්‍රමාණය වෙනස් කිරීම පමණයි උපක්‍රම හැටියට යොදාගන්නේ. නමුත් ඇතුළත පළ කෙරෙන සඟරාවේ හෝ වෙළෙඳ දැන්වීමකදී නම් පළමුවෙන්ම අපි බලන්න ඕනේ අප දෙන්න හදන පණිවුඩය මොකද්ද කියලා. ඒ අනුව තමයි අප අකුරු හැඩය නැතිනම් ෆොන්ට් එක භාවිත කරන්න ඕනේ. නිදසුනක් ලෙස කිව්වොත් මිනීමැරුමක් සම්බන්ධ ලිපියක හෙඩිමට අර්ජුන් වගේ කලාත්මක හැඩයෙන් යුත් අකුරක් ගැලපෙන්නේ නෑ. එම නිසා අප දෙන්න හදන පණිවුඩය පිළිබද වැඩි අවධානයක් යොමු කළ යුතුයි. පිටු සකසන හෝ පරිගණක නිර්මාණකරුවන් අකුරක ප්‍රකාශන ශක්තිය හා භාවිත ගුණය වටහාගත යුතුයි. රිය අනතුරක් වාර්තා කිරීමටයි කලා පුවතක් වාර්තා කිරීමටයි යොදන අකුරු මෝස්තරය එකක්වෙන්න බැහැ. ඒ අකුරෙන් අපි කියන්න හදන විෂය ප්‍රකාශ වෙනවා.

පරිගණක අකුරුකරණය සදහා සහ වෙබ් අඩවිවලට සිංහල එක් කිරීම සදහා වර්තමානයේ යුනිකෝඩ් ෆොන්ට්ස් භාවිත කරනවා. මේ සම්බන්ධයෙන් ඔබේ අදහස.

යුනිකෝඩ් කියන්නේ තාක්ෂණික ප්‍රමිතියක්. එහි තේරුම තමයි ‘යුනිවර්සල් කෝඩ්’. එනම් ‘විශ්ව කේත’ කියන එක. ඒ හරහා අපට ලෝකයේ ඕනෑම තැනක සිට මේ තාක්ෂණික ක්‍ර‍වේදය හරහා බිහිවුණු ෆොන්ට්ස් මඟින් සිංහල භාෂාව කියැවිය හැකියි. එමෙන්ම පරිගණක අකුරුකරණය කළ හැකියි. කෙනෙකුට හිතෙන්න පුළුවන් දැනට අප භාවිත කරන යුනිකෝඩ් ෆොන්ට්ස් වන ‘ඉස්කෝල පොත’ හෝ ‘මලිති වෙබ්’ ෆොන්ට්ස් නොමැතිව සිංහල අකුරු කියවන්න බැරි වෙයි කියලා. නමුත් ඉහත ‘කේත’ මඟින් නිර්මාණය කරන ලද ඕනෑම සිංහල අකුරු වර්ගයක් තිබේ නම් ඒ මඟින් ලෝකේ ඕනෑම තැනක සිට සිංහල වෙබ් අඩවි නැරඹීම හෝ අකුරු පරිගණක යතුරුකරණය කිරීමේ හැකියාව තිබෙනවා. තව විදියකින් කිව්වොත් එක් තාක්ෂණික ප්‍රමිතියකට අනුගත වීමයි මෙහි සිදුව තිබෙන්නේ. නමුත් යුනිකෝඩ්වල තිබෙන දුර්වලතාවක් තමයි එහි විවිධ අකුරු හැඩ නොමැති වීම හා එය මුද්‍ර‍ණය සදහා සහාය නොදැක්වීම. සිංහලයු නිකෝඩ් තාක්ෂණයට මුද්‍රණ ක්ෂේත්‍රයේ මෘදුකාංග සහාය නොදැක්වීම නිසා විවිධ යුනිකෝඩ් අකුරු හැඩ බිහි වීම ඉතා අවම වී තිබෙනවා.

සිංහල භාෂාව පරිගණකගත කිරීම අභියෝගයක් ද?

එය තීරණය වෙන්නේ ඒ ඒ රාජ්‍යයන් හි ප්‍ර‍බලත්වය මතයි. ඒ ප්‍ර‍බලත්වයට තාක්ෂණය යට වෙනවා. නැතිනම් නැමෙනවා. නිදසුන් වශයෙන් කිව්වොත් චීනය තම රටට පැමිණෙන මෘදුකාංග ඔවුන්ගේ අවශ්‍යතා අනුව හැඩගස්වා ගන්නවා. නැතිනම් තහනම් කරනවා. ඔවුන් වෙනුවෙන් චීන භාෂාවෙන් මෙහෙයුම් පද්ධති පවා නිර්මාණය කරන්නට මෘදුකාංග නිර්මාණ සමාගම් කටයුතු කරනවා. ජපානය, කොරියාව, අරාබිය වැනි ප්‍ර‍බල රටවල් ගත්තත් එවැනි තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ එම රටවල සුවිසල් වෙළෙඳපොළක් තිබීම නිසායි. නමුත් අපි වෙනුවෙන් එසේ කරන්න කිසිදු මෘදුකාංග නිර්මාණ සමාගමක් ඉදිරිපත් වෙන්නේ නෑ. ඒ තවමත් අප ප්‍ර‍බල රටක් නොවීම සහ අපට සැළකිය යුතු මෘදුකාංග වෙළෙඳපොළක් නොතිබීම.

අප ක්‍ර‍මයෙන් ඉංග්‍රීසි භාෂාවට නැඹුරු වෙමින් තිබෙනවා. වි‍ශේෂයෙන්ම රාජකාරිවලදී. මේ හරහා සිංහල භාෂාව රැක ගැනීමට එය පරිගණකගත වීම සහායක් වන්නේද? ඒ සදහා තිබෙන පෙළඹුම කොපමණද ?

සිංහල භාෂාව භාවිත කිරීමට ඉහළ පෙළඹුමක් තියෙනවා. දැන් සිංහලෙන් ක්‍රියාත්මක වන බ්ලොග් අඩවි, වෙබ් අඩවි කොපමණ තිබෙනවා ද?. ඈත ගම්මානයක පාසල් සිසුවෙකුට වර්ඩ්වල ඉංග්‍රීසියෙන් ලියුමක් යතුරුකරණය කරන්න බැහැනේ. ඒ සදහා ඔහුට හෝ ඇයට සිංහල අවශ්‍යයි. වර්ඩ් එකේ වගේම ඊට ආසන්න අනෙකුත් මෘදුකාංගවල සිංහලෙන් වැඩ කිරීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම බොහෝ ආයතන වගේම මාධ්‍ය ආයතනත් දැන් භාෂා ත්‍රිත්වයෙන්ම තමන්ගේ වෙබ් අඩවි පවත්වාගෙන යනවා. එම නිසා අතීතයට වඩා නිර්භයව පරිගණක සදහා සිංහල භාවිතය සිදුවෙනවා.

ඔබ මේ වන විට දැනට තියෙන යුනිකෝඩ් ෆොන්ට්ස්වලට වඩා වැඩි දියුණු කළ යුනිකෝඩ් ෆොන්ට් එකක් නිර්මාණය කිරීමේ උත්සාහයක නියැලිලා ඉන්නවා. ඒ පිළිබඳ යමක් කිව හැකිද?

ඔව්. එය එය ‘අභය ලිබ්රේ’ කියලා තමයි නම් කරලා තියෙන්නේ. දැනට තියෙන ඉහළම ගණයේ ෆොන්ට් නිර්මාණය කරන මෘදුකාංග භාවිත කරලා තමයි මෙම අභය ෆොන්ට් එක නිර්මාණය කරලා තියෙන්නේ. එය දැනට පවතින සිංහල යුනිකෝඩ් ෆොන්ට්ස්වලට වඩා සෞන්දර්යාත්මක බවින් ඉහළයි. එය ගූගල් සමාගම හා එක්ව තමයි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අභයට සමගාමීව ඒ පෙනුම ම සහිත ඉංග්‍රීසි සහ දමි‍ළ අකුරු දෙවර්ගයත් මේ එකම මෝස්තරයට ඇතුළත් වෙනවා. අන්තර්ජාල පහසුකම් ක්‍රියාත්මක ඕනෑම පරිගණකයක මෙම ෆොන්ට් භාගත කරගෙන වැඩ කළ හැකි වෙනවා.

අජිත් තිලකසේන මහතා වෙනුවෙන් ඔබ සමරූපී අක්ෂර ක්‍ර‍මවේදයක් හදුන්වා දුන්නා.

ඔහුගේ සංකල්පය අනුව ඔහුට ගැලැපෙන අයුරින් අභය මෝස්තරයෙන් ෆොන්ට් එකක් නිර්මාණය කර දුන්නා. එය භාවිත කරනවාද පිළිගන්නවාද නොගන්නවාද කියන එක ජනතාවට බාර දෙයක්. නමුත් ඔහු නව සංකල්පයක් ඉදිරිපත් කර තියෙනවා. කොහොමත් අපේ රටේ භාෂාවට සම්බන්ධ දෙයක් එකවර පිළිගැනීමක් සිදුවෙන්නේ නෑ. නිදසුනක් විදියට කිව්වොත් ‘ෆ‘අකුර අපේ සිංහල හෝඩියට එක් වෙන්න අවුරුදු සියයකට වැඩි කාලයක් ගත වුණා. නමුත් එය නිල වශයෙන් එක් නොවුණත් භාවිත වීම සිදු වුණා. ඒ හරහා කාලයක් යන කොට එම අකුරත් නිළ වශයෙන් හෝඩියට එක් කර ගැනීම සිදු කළා.

නව අදහස දක්වන්න