ක්‍රීඩාව-දේශපාලනය ජනමාධ්‍ය-කලාව ඊර්ෂ්‍යාව හා කණ්ඩායම්වාදයෙන් පිරිලා | දිනමිණ

ක්‍රීඩාව-දේශපාලනය ජනමාධ්‍ය-කලාව ඊර්ෂ්‍යාව හා කණ්ඩායම්වාදයෙන් පිරිලා

නිරුෂි විමලවීර

සංවේ දී, තරඟකාරිත්වයක් පවතින ක්‍රීඩාව, දේශපාලනය, ජනමාධ්‍ය සහ කලා අංශවල පවතින කුහකකම්, ඊර්ෂ්‍යාව, කණ්ඩායම්වාදය වෙන කිසිම ක්ෂේත්‍රයක නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

එම අංශවල පවතින බෙදීම්, මතගැටීම් හේතුවෙන් ඉදිරි ගමනට බාධා එල්ල වී ඇති බව ද ජනාධිපතිවරයා කීවේය.

ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ අරලියගහ මන්දිරයේ පසුගිය 26 දා සවස පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් දිනූ ජයග්‍රාහකයන් ඇගයීමේ උළෙලට එක්වෙමිනි.

පදක්කම් 196ක් ශ්‍රී ලංකාව ඉදිරියේ සටහන් තැබූ අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙවැනි වූයේ ඉන්දියාවට පමණි. රට වෙනුවෙන් සිදු කළ අමිල මෙහෙවර අයගමින් පදක්කම්ලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් රුපියල් ලක්ෂ හයසියයකට අධික වටිනාකමකින් යුත් මුදල් තිළිණ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පිරිනැමුණි.

රන් පදක්කම්ලාභීන්ගේ පුහුණුකරුවන් වන ජූලියන් බෝලින්ට සහ මනෝජ් අබේසිංහ යන පුහුණුකරුවන් දෙදෙනාට ද ගෞරවය පිරිනමමින් මූල්‍ය ත්‍යාග පිරිනැමුණි.“ජනාධිපති ක්‍රීඩා සම්මාන 2015” නිල වෙබ් අඩවිය ද මෙහි දී ජනාධිපතිවරයාගේ සුරතින් විවෘත කෙරිණි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීවේය. අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඔප්නංවමින්, මඟපෙන්වීම් කරමින් විශිෂ්ට ජයග්‍රහණක් ලබාගැනීමට කටයුතු කළ ක්‍රීඩා ඇමැතිතුමා ක්‍රීඩා උපදේශකවරුන්, පුහුණුකරුවන් ඇතුළු කැපවී කටයුතු කළ සියලුදෙනාටම මම තුති පුද කරනවා.

ජයග්‍රහණ ලැබූ මෙන්ම සාක් ක්‍රීඩා උළෙලට සහභාගී වූ සියලූ ක්‍රීඩකයන්ට රට වෙනුවෙන් පෙනී සිටිම පිළිබඳ අපේ ගෞරවනීය ස්තුතිය පිරිනමනවා. රජයේ ක්‍රීඩා ප්‍රතිපත්තිය තුළ පිහිටා ක්‍රීඩා ක්ෂේත්‍රයට අයත් සෑම ආයතනයක්ම ශක්තිමත් කරමින් අවශ්‍ය පහසුකම් ලබාදීමට අප කටයුතු කරනවා. ප්‍රාදේශීය මට්ටමින් ජාතික මට්ටම දක්වාත් එතනින් ජාත්‍යන්තරය දක්වාත් අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශිෂ්ට දක්ෂතා දැක්වීමට අවශ්‍ය මඟ පෙන්වීම් කරමින් මේ ක්‍රීඩා ක්ෂේත්‍රය නිවැරැදිව ඉදිරියට ගෙනයෑමට අපි කටයුතු කරනවා.

ක්‍රිඩක, ක්‍රීඩිකාවන් තමන්ට තිබෙන නොයෙකුත් අඩු පාඩු මධ්‍යයේ රට වෙනුවෙන් ක්‍රීඩා කර ජයග්‍රහන ලබා ගැනීමට විශාල කැපවීමක්, පරිත්‍යාගයක් කර තිබෙනවා. ඔබ සෑම කෙනෙකුටම අපි රජය සහ ජනතාව වෙනුවෙන් ජාතියේ ගෞරවය පිරිනමනවා.

ක්‍රීඩාව සහ දේශපාලනය පිළිබඳ අගමැතිතුමාත් මෙහි දී සඳහන් කළා. ප්‍රධාන වශයෙන්ම ක්‍රීඩා ක්ෂේත්‍රය, දේශපාලනය, කලාකරුවන්, ජනමාධ්‍ය මේ ආයතන තුළ තරම් කුහකකම්, ඊර්ෂ්‍යාව, කණ්ඩායම්වාදය මා දන්නා ආකාරයට වෙන තැනක නැහැ. මම පසුගිය කාලයක් ප්‍රධාන ක්‍රීඩා සංගම් දෙකක සභාපතිවරයා ලෙස කටයුතු කළා. ඒ නිසා මම ඒ පිළිබඳ මැනවින් දන්නවා. මම වසර කිහිපයක් පිහිනුම් සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළා. වසර කිහිපයක් ජිම්නාස්ටික් සංගමයේ සභාපතිවරයා ලෙසත් කටයුතු කළා. වසර 20ක් විතර පොළොන්නරු දිස්ත්‍රික්ක ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළා. ජනාධිපති ධුරයට පත්වුණාට පසු ඒ සඳහා වෙන කෙනකු පත් කර ගැනීමට මම අවස්ථාව ලබා දුන්නා. මේ ක්ෂේත්‍රයන් තුළ තිබෙන කඹ ඇදිල්ල, අසමගිය, කුහකකම තමයි ජයග්‍රහණයවලට තිබෙන ලොකුම බාධාව.

රටක් ලෙස අපි වැඩ කටයුතු කරන විට අපක්ෂපාතීබව, මධ්‍යස්ථභාවය, අනුන් ගැන සිතීම, සුදුස්සාට සුදුසුතැන දීම ආදි ප්‍රතිපත්ති තුළ පිහිටා කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. ඒ නිසා එම කාර්යයන් ශක්තිමත් කිරීමට ගම සහ නගරයත්, නගරය සහ ගමත් එක් කරමින් අවශ්‍ය පහසුකම් ලබා දිම රජයේ අපේක්ෂාවයි. නගරයේ සම්පත් ගමටත්, ගමේ සම්පත් නගරයටත් සාධාරණව බෙ දී යාමේ ප්‍රතිපත්තිය සියලු ක්ෂේත්‍රවල තිබිය යුතුයි.

රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ අනුර බණ්ඩාරනායක මහතා සමඟ ක්‍රිකට් ක්‍රීඩාව කළ බව අග‍මැතිතුමා පැවසුවා. රනිල් වික්‍රමසිංහ මහතා අනුර බණ්ඩාරනායක මහතා සමඟ රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩා කර අගමැතිවරයා වුණා. මම පොළොන්නරුවේ ගමේ කොල්ලෝ එක්ක එල්ලේ ගසා රටේ ජනාධිපති වුණා.

දයාසිරි ජයසේකර ක්‍රීඩා ඇමතිතුමා අලුත් මඟක යමින් ක්‍රිඩා අංශ ශක්තිමත් කරමින්, ක්‍රීඩා සංගම් සඳහා සාධාරණත්වය ඉටු කරමින් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් ඉදිරියට ගෙනයාමට අලුත් වැඩපිළිවෙළක පිහිටා කටයුතු කරනවා. ඒ පිළිබඳ අපි සතුටු වෙනවා.

ජයග්‍රහණයකින් අනතුරුව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තිබෙන අපහසුතාවන් මාධ්‍යට නිරාවරණය වෙනවා. මේ ජයග්‍රහණයන් ලබා ගැනීමට ක්‍රිඩක ක්‍රීඩිකාවන් කෙතරම් දුෂ්කරතාවන්ට, බාධාවන්ට මුහුණ දී තිබෙනවාදැයි පසුගියදා පුවත්පත් සහ රූපවාහිනී මාධ්‍ය මගින් අනාවරණය කළා.

ජයග්‍රහණයෙන් පසුවයි තමා ගැන කතා කරන්නේ කියා ජයග්‍රහණය ලැබු අයෙකුට හිතෙන්න පුළුවන්. සෑම අයෙකුටම එය එසේ යැයි ජයග්‍රහණය කළ ක්‍රිඩක ක්‍රීඩිකාවන්ට කිව යුතුයි. එයා කවුද කියා සොයා බලන්නේ ජයග්‍රහණයෙන් පසුවයි. දක්ෂකම්, අඩු පාඩු සියල්ල සොයන්නේ ඉන් අනතුරුවයි. ක්‍රීඩාවෙත් දේශපාලනයෙත් තත්ත්වය එයයි. අපි සැම කෙනෙක්ම මේ තිබෙන ප්‍රායෝගික සමාජ තත්ත්වයන් තේරුම් ගතයුතුයි.

ඒ නිසා අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික සහ අන්තර්ජාතික වශයෙන් විශිෂ්ටත්වය කරා ගෙන යාමට ප්‍රමුඛයින්ගේ ප්‍රමුඛයින්, විශිෂ්ටයන්ගේ විශිෂ්ටයින් බවට පත් කිරීම සඳහා රජයක් ලෙස වගකීම් සහ යුතුකම් සෑම විටම ඉටු කරනවා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා - දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රන්පදක්කම්ලාභීන්ට ත්‍යාග ලබා දෙන අවස්ථාවේ ක්‍රීඩාවේ සහ දේශපාලනයේ සම්බන්ධය මගේ මතකයට නැඟුණා. ක්‍රීඩාව සහ දේශපාලනය සමාන බව ජේ.‍ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිතුමා අපි කිහිප දෙනකු සමඟ පවසුවා. දේශපානය ක්‍රිකට් ක්‍රීඩාව මෙන් කණ්ඩායම් ක්‍රීඩාවක්. තමන්ගේ නායකයා කැප්ටන් සමඟින් ක්‍රිකට් ක්‍රීඩාව කළ යුතුයි. බෙදීමෙන් ජයග්‍රහණය ලබා ගන්න බැහැ. තවත් පැත්තකින් රගර් මෙන් ශරීර ශක්තිය යෙදිය යුතුයි. සෙමින් සීරුවේ කරන්න බැහැ. පහර දීමේ දී තුවාල වෙන්න පුළුවන්. බොක්සින් ක්‍රීඩාව මෙන් ප්‍රතිවාදියා බිම හෙළිය යුතුයි. චෙස් ක්‍රීඩාව මෙන් හොඳින් සිතාබලා දුර දිග කල්පනා කර ක්‍රීඩාකළ යුතුයි. අභියෝග බාර ගෙන මැරතන් ක්‍රීඩාවක් මෙන් තරඟය නිමා කළ යුතුයි. ක්‍රීඩා ඉසව්ව සාර්ථක කර ගන්න පරිදි දේශපාලනය සාර්ථක කර ගැනීමට හොඳින් තරග කළ යුතුයි.

අනාගතයේ දී දේශපාලනයට එන දේශපාලඥයන් ක්‍රීඩා නීතිරීති, කොන්දේසි පවතින බව අමතක නොකළ යුතුයි. ක්‍රීඩාව වැදගත්. ඒ නිසා ක්‍රීඩාව ඉගෙන ගන්න කියා පවසනවා. හැමෝටම ක්‍රීඩාවෙන් ජයග්‍රහණයන් කර රන් පදක්කම්, රි දී පදක්කම්, ලෝකඩ පදක්කම් දිනා ගත නොහැකියි. නමුත් පදක්කම් නොලැබුණා කියා ක්‍රීඩා නොකර ඉන්න හොඳ නැහැ. අපි ක්‍රීඩාවේ යෙදෙන්න අවශ්‍යයි. විනෝදාංශ ලෙස ක්‍රීඩාවේ යෙදෙන්න පුළුවන්.

අසල්වැසියන් සමඟ කුඩා කාලයේ අපි ක්‍රිකට් ක්‍රීඩා කළා. අනුර බණ්ඩාරනායක මහතා අරලියගහ මන්දිරය අවට කණ්ඩායමක් හැඳුවා. තරඟයේ විනිශ්චකාරකම ලැබුනේ මටයි. අපේ ගෙවල්වල එදා කුඩා වතු තිබුණා. නිවාසවල දැන් එවන් වතු නැහැ. රාජකීය ප්‍රාථමික පාසලේ ක්‍රීඩාගාරයේද අපි එවකට ක්‍රීඩා කළා. අද දරුවන්ට ඒ පහසුකම් නැහැ. ඒ නිසා ආණ්ඩුව මැදිහත්වී ක්‍රීඩාපිටි, ගෘහස්ත ක්‍රීඩා පිටි ඉදි කර දීමේ වගකීමක් අපට තිබෙනවා. ක්‍රීඩා ඇමැතිතුමාගේ කැපවීම අගය කළ යුතුයි. ජපානය රගර් ක්‍රීඩා පුහුණුව ඔවුන්ගේ ක්‍රීඩකයන්ට ලබා දුන්නා. අපේ ක්‍රීඩකයන්ද නිසි ඉලක්ක යටතේ පුහුණු කළ යුතුයි. එය පාසලෙන් අරඹා දියුණු කිරීම ක්‍රීඩා අමාත්‍යාංශයේ යුතුකමක්. දයාසිරි ජයසේකර ක්‍රීඩා ඇමැතිතුමාගේ කැපවීම නිසා ඉතා කෙටි කාලයක දී අපිට දකුණු ආසියාවේ පදක්කම් සටහනේ ඉහළට යෑමේ හැකියාව උදා වුණා. වසර දෙකක් පමණ පුහුණුවීම් නිසි පරිදි සිදු කළා නම් දකුණු ආසියානු පමණක් නොව ආසියාව ජයග්‍රහණ ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. එවන් ඉලක්ක වෙනුවෙන් පුහුණුවීම් සිදු කළ යුතුයි. ක්‍රීඩකයන් පුහුණු කරන මණ්ඩපයක් සැකසීම පිළිබඳ ක්‍රීඩා ඇමැතිතුමා සමඟ සාකච්ඡා කළා. ක්‍රීඩා වැඩසටහන් දීර්ඝ කාලින එකක්. පළමු වසර හතරේදි 2020 දී ජයග්‍රහණයන් සඳහා ජනාධිපතිතුමා ප්‍රධාන රජයේ පුර්ණ සහාය හිමි වෙනවා. පුහුණුකරුවන් අවශ්‍යයි. පුහුණුකරුවන් මෙරට නොමැතිනම් විදේශවලින් ගෙන ඒම අවශ්‍යයි. ඒ කටයුතු සියල්ල සොයා බලා අවශ්‍ය සහාය ආධාර උපකාර කිරීමට අපි කැප වෙලා සිටිනවා.

එවන් දේ සිදු කරන්නේ අපේ තරුණ තරුණියන් අතරින් දක්ෂයන් බිහිකිරීම සඳහායි. දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල දක්ෂතා පෙන්වා තිබෙනවා. ක්‍රමවත් සැලසුමක් යටතේ අවශ්‍ය පහසුකම් ලබා දෙනවා නම් අනාගතයේ මීට වඩා විශාල ජයග්‍රහණ ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. අපි එම ඉලක්ක යටතේ ක්‍රියා කළ යුතුයි. ක්‍රීඩාව නැංවීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය ගෙන යන වැඩපිළිවෙළට ආණ්ඩුවේ පූර්ණ සහාය හිමි වෙනවා. අපේ තරුණ තරුණියන්ටත් ක්‍රීඩා අංශයේ සියලු දෙනාටත් දියුණු වෙන්න අවස්ථාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.

ක්‍රීඩා කටයුතු ඇමැති දයාසිරි ජයසේකර මහතා- ක්‍රීඩා අමාත්‍යාංශ භාර ගන්නා අවස්ථාවේ අමාත්‍යාංශය යටතේ තිබු සංගම් පනස් ගණනක් අතරින් සංගම් දහ හතක ප්‍රශ්න තිබුණා. විවිධ බෙදීම් තිබුණා. ඒ සංගම්වල වැරැදි නිවැරැ දී කිරීමට නිලවරණ පවත්වා ඉදිරියට ගෙන යෑමට ක්‍රියා කළා. ඉන්පසු දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පළමුවට මුහුණ දුන් ජාත්‍යන්තර තරඟාවලියයි. අපිට ඒ සඳහා තිබුණේ තෙමසක කාල සිමාවක්. ඒ සඳහා සූදානම් වීමට සියලුම සංගම් ක්‍රීඩා අමාත්‍යාංශට පුර්ණ සහාය ලබා දුන්නා. 1991 දී ලංකාවේ තිබූ සාෆ් තරඟාවලියේ දී රන් පදක්කම් 44ක් දිනා ගැනීමට අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකිවුණා. අපිට මෙවර රන් පදක්කම් 25ක් ලබා ගැනීමට හැකිවුණා. රන් පදක්කම් ගිලිහි ගිය අවස්ථාද තිබුණා.

ඒ ගැන කණගාටුයි. ඉන්දියාවේ බිලියන එකයි දශම පහක ජනග්‍රහණයක් සිටිනවා. ඒ නිසා ඉන්දියාව වැනි රටවල් සමඟ අපේ රටවැනි කුඩා රටක් ඉදිරියට ගෙන යෑමේ අභියෝගය අපි හමුවේ තිබෙනවා. ඒ සහා අපිට ක්‍රමානුකූල වැඩපිළිවෙළක් තිබෙනවා නම් එය අභියෝගයක් නොවෙයි. ජැමෙයිකාව වැනි කුඩා රටකට ලෝකයේ වේගවත්ම ධාවකයා බිහිකළ හැකිනම් අපිට එය අභියෝගයක් නොවන බව මගේ හැඟීමයි. ක්‍රිමානුකූල වැඩපිළිවෙළක් යටතේ එවන් ජයග්‍රහණය කරා යා යුතු වෙනවා. මේ වැඩපිළිවෙළට පාසල් දරුවන් අන්තර්ගත කිරීම සඳහා අධ්‍යාපන ඇමැතිතුමා සමඟ සාකච්ඡා කළා. 2020, 2024, 2028 වසරවල් වෙනුවෙන් පාසල් දරුවන් තුන් ලක්ෂ හැත්තෑපන් දහසක් සංචිත කොට පුහුණු කිරීමේ වැඩපිවෙළක් ආරම්භ කිරිමට යෝජිතයි. රාජ්‍ය ආයතන විවිධ සංගම් භාර ගෙන කටයුතු කෙරෙන ක්‍රමවේදයක් ගෙනා යුතු වෙනවා. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සියයට පහක ප්‍රමාණයකට රාජ්‍ය හා පෞද්ගලික ආයතන මඟින් රැකියා දෙන ක්‍රමවේදයක් ගෙන ඒමට නියමිතයි. පාසල් දසදහසකට ක්‍රීඩා ගුරුවරු ඉන්නේ 3400යි. එහෙයින් ක්‍රීඩාව සඳහා පමණක් තවත් ගුරුවරු 5100ක් බදවා ගැනීමට අවශ්‍යයි. ජාතික වැඩපිළිවෙළක් මගින් ගම්වලින් දක්ෂ ක්‍රීඩකයෝ බිහි කර ගැනීමේ හැකියාව තිබෙනවා.

මුදල් ඇමැති රවී කරුණානායක, නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක, ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති එච්.එම්.එම්. හාරිස්, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ටී.බී. ආර්.බී දිසානායක මහත්වරුන් ද පළාත් සභාවල ක්‍රීඩා ඇමැතිවරු, අමාත්‍යාංශ ලේකම්වරු, ක්‍රීඩා පුහුණුකරුවන්, පදක්කම්ලාභීන්ගේ මව්පියන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්වි සිටියහ.

නව අදහස දක්වන්න