ගීතාගේ පෙත්සමේ ප්‍රතිවිරෝධතා 18ට පෙර ගොනු කරන්න | දිනමිණ

ගීතාගේ පෙත්සමේ ප්‍රතිවිරෝධතා 18ට පෙර ගොනු කරන්න

කුමුදු හෙට්ටිආරච්චි

 ස්විට්සර්ලන්ත - ශ්‍රී ලංකා දිවිත්ව පුරවැසිභාවය හිමි ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම් සම්බන්ධව ප්‍රතිවිරෝධතා ලබන 18 වැනිදාට ගොනු කරන ලෙස අභියාචනාධිකරණය ඊයේ (02) පෙත්සම්කරුවනට නියෝග කළේය. මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතා හමුවේ කැඳවූ අවස්ථාවේ එම නියෝගය නිකුත් කෙරුණි.

ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන කේ. ඩබ්. බුවනෙක, ජේ. කේ. අමරවර්ධන ඇතුළු හතරදෙනකු විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි. පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ, ආගමන විගමන පාලක, සන්ධාන මහ ලේකම් ඇතුළු පිරිසක් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසිලාභීන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ හැකි ප්‍රතිපාදන ලබාදී නොමැති බව පෙත්සම්කරුවන් සිය පෙත්සම මගින් කියා සිටියි. එසේ තිබියදී ගීතා කුමාරසිංහ මහත්මිය ඉකුත් අගෝස්තු 17 වැනිදා පැවැති පාර්ලිමේන්තු මහමැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කොට පාර්ලිමේන්තුවට තේරී පත්වූ බව ද පෙත්සමෙහි සඳහන් වෙයි.

එබැවින් ද්විත්ව පුරවැසිලාභියකු වන වගඋත්තරකාර පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මියට එම ධුරයේ කටයුතු කළ නොහැකි බව ද පෙත්සම්කරුවෝ පවසති. වගඋත්තරකාර ගීතා කුමාරසිංහ මහත්මිය තමන් ද්විත්ව පුරවැසිලාභියෙක් බවට ඉකුත් වසරේ ඉංග්‍රීසි පුවත්පතක් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇති බව පවසන පෙත්සම්කරුවෝ එසේ තිබියදී ඇය අදාළ මන්ත්‍රී ධුරයේ කටයුතු කිරීම නීතිවිරෝධී බවත්, එබැවින් ඇය එම ධුරයේ කටයුතු කිරීම වළකාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති. පෙත්සම්කරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ. ඩී. වැලිඅමුණ මහතා පෙනී සිටියේය. වගඋත්තරකාර ගීතා කුමාරසිංහ මහත්මිය වෙනුවෙන් ‍ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහතා පෙනී සිටියේ ය.

නව අදහස දක්වන්න