දකුණ වෙනුවට වමට සැත්කමක් | දිනමිණ

දකුණ වෙනුවට වමට සැත්කමක්

සමන්තී වීරසේකර

දකුණු පාදයේ ආබාධයක් සඳහා වෛද්‍ය උපදෙස් මත ශල්‍යකර්මයක් සිදු කිරීමට පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ දහ හතර හැවිරිදි දැරියකගේ වම් පාදය ශල්‍යකර්මයකට ලක් කර ඇති බව පවසමින් ඇගේ පියා පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

අදාළ රෝහලේ අස්ථි හා විකලාංග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා විදේශ ගතව සිටිය දී පෙරේදා (1දා) පෙරවරු 9.00 ට පමණ එම විශේෂඥ වෛද්‍යවරයාගේ සහායක ශල්‍ය වෛද්‍යවරයා විසින් මෙම සැත්කම කර තිබේ.

පිළිමතලාව ඩී.බී විජේතුංග මාවතේ පදිංචි සැත්කමට ලක් වූ දැරියගේ පියා විසින් ඊයේ (2) දහවල් බලහත්කාරයෙන් රෝහලෙන් දරුවා රැගෙන පෞද්ගලික රෝහලකට රැගෙන ගොස් ඇත. මෙම දැරියගේ දකුණු කකුලේ දණහිසේ ඇති වූ රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුට පෞද්ගලික රෝහලක දී පෙන්වා ඉකුත් පෙබරවාරි 20 වැනි දින පේරාදෙණිය රෝහලේ 16 වැනි වාට්ටුවට දැරිය ඇතුළත් කර ඇත.

තම දරුවා පෙරේදා (1දා) පෙරවරු 9 ට පමණ ශල්‍යකර්මයට ලක් කර පිටතට ගෙනෙන අවස්ථාවේ දී වම් කකුල ශල්‍යකර්මයට ලක් කර තිබූ අතර ඒ ඇයි දැයි වෛද්‍යවරයාගෙන් විමසූ විට වම් පාදයේ ආබාධයක් තිබූ නිසා එය ශල්‍යකර්මයකට ලක් කළ බවත් , තවත් දින තුනකින් දකුණු පාදයේ ශල්‍යකර්මයක් සිදුකරන බවත් වෛද්‍යවරයා තමන්ට පැවසූ බව දරුවාගේ පියා පවසයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය රෝහල් අධ්‍යක්ෂ ජයබන්දු හේරත් මහතා ප්‍රකාශ කලේ පෞද්ගලික රෝහලක දී මෙම රෝගී දැරිය අදාළ වෛද්‍යවරයාට පෙන්වා ඇති අතර එහිදී එක්ස් කිරණ පිටපත් (එක්ස්රේ) රැගෙන පසු දිනෙක පේරාදෙණිය රෝහලට ඇතුළත්ව ඇති බවයි.

අදාළ විශේෂඥ වෛද්‍යවරයා දැනට විදේශ ගතව සිටින බැවින් ඔහු පැමිණි විගස පරීක්ෂණ කටයුතු සිදු කොට සිදුව ඇත්තේ කුමක්ද යන්න නිගමනයකට එලැබෙන බව ද රෝහල් අධ්‍යක්ෂවරයා පැවැසීය. මෙම දැරිය උපතින්ම ඇති වන සිරුරේ අභ්‍යන්තර අස්ථිවල අසාමාන්‍ය වර්ධනය යන රෝගී තත්ත්වයෙන් පෙලෙන අතර මෙම තත්ත්වය දෙපාවලම ඇති විය හැකි තත්ත්වයක් විය හැකි බව ද කීය. 


අදහස් 1ක් ඇත

මේවාට රජය ගන්න තිරණය අපි බලා ඉන්නවා. වෛදයය සභාව මේවාට ගන්න නිගමණය ක˛මක්ද…? බොරැවට මාලබේට කෑ ගහනවා, මේ වඳූරැ දොස්තරවරැන්ට ගල්ගහලා මරන්න ඔනි. රජයේ මුදලින් දොස්තර වෙලා මහජනයා අමු අමුවේ ඝාතනය කරණ හැටි රජයත් බලාන ඉන්නවා.

නව අදහස දක්වන්න