සුමිත් ප්‍රසන්නගේ සිරුර ගොඩගන්නවාද ? | දිනමිණ

සුමිත් ප්‍රසන්නගේ සිරුර ගොඩගන්නවාද ?

 රෝෂන් තුෂාර ඇඹිලිපිටිය විශේෂ සිරිල් ජයවීර හා සූරියවැව සමූහ ඇඹිලිපිටියේ සිට

සාදයක් අතරතුර පොලිසිය සමඟ ඇති වූ ගැටුමකින් මිය ගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මෘත දේහය නැවත ගොඩගන්නවා ද නැද්ද යන්න පිළිබඳ නියෝගය අද (03) නිකුත් කරන ‍බව ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා දන්වා සිටියේය.

නියෝගය ලබා දී දේහය ගොඩගන්නා තෙක් සුමිත් ප්‍රසන්නගේ දේහය මිහිදන් කළ ස්ථානයට පොලිස් ආරක්ෂාව සපයන ලෙස මහේස්ත්‍රාත්වරයා තවදුරටත් නියෝග කළේය.

සාදයක් අතරතුර පොලිසිය සමඟ ඇති වූ ගැටුමකදී මිය ගිය ඇඹිලිපිටියේ පදිංචි සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මෘත දේහය නැවත ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස නීතිපතිවරයා ඊයේ (02) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

දණ්ඩ නීති සංග්‍රහයේ 373/2 වගන්තිය ප්‍රකාරව නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම ඉතා උචිත බවත් එය යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය වඩාත් තහවුරු කිරීමක් බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුදර්ශන ද සිල්වා මහතා අධිකරණයට දන්වා සිටියේය.

ජයවර්ධනගේ මරණය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (02) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා ඉදිරි‍යේ යළි ආරම්භ කෙරිණි.

නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙසට ශ්‍රී ලංකා නීතිඥ සංගමය නීතිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා ඇති බවත් දන්වා සිටි සුදර්ශන ද සිල්වා මහතා එම පරීක්ෂණය කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් මහතාගේ මූලිකත්වය යටතේ ඔහු නම් කරන විශේෂඥ‍යන් තුන්දෙනෙකු යටතේ සිදු කරන ලෙස ද ඉල්ලා සිටියේය. මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නියෝජනය කරමින් ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා ද දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කළේය. සියලු ඉල්ලීම්වලට කන්දුන් මහේස්ත්‍රාත්වරයා මිය ගිය සුමිත් ප්‍රසන්නගේ දේහය ගොඩගන්නවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය අද (03) නිකුත් කරන බව දන්වා සිටියේය.

දේහය ගොඩගන්නා තෙක් ඔහු නියෝගය නිකුත් කරන තෙක් සුමිත් ප්‍රසන්නගේ දේහය මිහිදන් කළ ස්ථානයට පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙසට පොලිසියට මහේස්ත්‍රාත්වරයා තවදුරටත් නියෝග කළේය.

ඊට ආරක්ෂාව ලබාදෙන නිලධාරීන් මෙම මරණය සිදුවන අවස්ථාවේ දී ඇඹිලිපිටිය පොලිස් ස්ථානයේ සේවය කළ නිලධාරීන් නොවිය යුතු බවද නියෝග කළේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුදර්ශන ද සිල්වා මහතා මෙසේ ද පැවසීය. විත්තිකාර පාර්ශ්වයේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදු වී තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඔවුන්ගේ නීතිඥයින්ට හැකියි. ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරීම හෝ වෙනයම් ඕනෑම ක්‍රියාමාර්ගයක් ඔවුන්ට ගත හැකියි. නමුත් නීතිපති ඇතුළු අපි සියලු දෙනාගේ මතය නම් මෙම දේහය නැවත ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමයි.

මහේස්ත්‍රාත්වරයාගේ අභිමතය හෝ නියෝගය මත එය සිදු විය යුතුයි. මහේස්ත්‍රාත්වරයාගේ නියෝග පිළිගන්න අපි සූදානම්. මෙම අවස්ථාවේදී උද්ගත සාධාරණ ගැටලුව නම් මෙම මරණ පරීක්ෂණ වාර්තාව සාක්ෂි සමඟ නොගැළපීමයි. කෙසේ වුවත් මරණ පරීක්ෂණ වාර්තාව ප්‍රතික්ෂේප කිරීමක් නීතිපතිවරයා කරන්නේ නෑ. වෙනත් විශේෂ වෛද්‍යවරයකුගේ මතයක් ලබාගත් පමණින් මෙම මරණ පරීක්ෂණ වාර්තාව ප්‍රතික්ෂේප වන්නේ නෑ. මෙම වාර්තාව නව අධිකරණ වෛද්‍යවරයාගේ මතය මඟින් තහවුරු වන්නත් පුළුවන්. අපට ඕනේ දැනට ලංකාවේ සිටින ප්‍රවීණ විශේෂඥ මතයක් ලබා ගන්නයි. මෙම නව මතය මඟින් විත්ති පාර්ශ්වයට තවත් වාසියක් වෙන්න පුළුවන්. නමුත් සත්‍ය සොයා ගැනීම තමයි වැදගත්.

මෙම ආකාරයෙන්ම ප්‍රසිද්ධ ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මෘත දේහය ද නැවත ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කර තිබෙනවා. නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා මෙසේ කරුණු දැක්වීය.

මෙම මරණය සම්බන්ධයෙන් පසුගිය නඩු වාරයේදී ගරු මහේස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කළා. අදාළ මරණ පරීක්ෂණ වාර්තාව අනුව නිකුත් කළ නියෝගය අපි පිළිගන්නවා. එහෙත් අගතියටපත් පාර්ශ්වයෙ නිතිඥවරයා නොසිටි දිනයක පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයවා අධික්ෂණය යටතේ පැහැදිලි කරුණක් හෙළි වුණා. එමඟින් මරණකරු උඩු මහලේ සිට බිමට පැන්න බව තහවුරුයි. ඊට පසු නඩු වාරයේදී මරණකරුගේ බිරිඳ සාක්ෂි ලබා දුන්නා. ඇයගේ සාක්ෂිය අනුව සැකකාර සහකාර පොලිස් අධිකාරීවරයා මරණකරුව උඩු මහලින් බිමට තල්ලු කරල තියෙනවා. සැකකරු මහාධිකරණයේ ගොනු කරන ලද ඇප අයදුම්පතෙහිද සඳහන් වන්නේ මරණකරු බිමට පැන්න කියලයි. මේ අනුව සුමිත් ජයවර්ධන දෙවන මහලේ සිට බිමට පතිත වුණු බව පැහැදිලියි. මෙතැනදී සත්‍ය වශයෙන්ම මරණකරු විදුරු කඩාගෙන බිමට පැන්නේ නෑ. ඊට සාක්ෂි 4ක් ඉදිරිපත් වී තිබෙනවා. කෙසේ වෙතත් සුමිත් ප්‍රසන්න දෙවන මහලින් බිමට පැන්නා නම් හෝ තල්ලු කළේ නම් ඒ හා සමාන තුවාල මේ මෘත ශරීරයේ තිබිය යුතුයි. එහෙත් මෙම මරණ පරීක්ෂණ වාර්තාව අනුව කිසිම තැන තැලීම් තුවාල තිබූ බවට සඳහන් වන්නේ නෑ. අඩුම තරමේ සීරීමක්වත් නෑ. එය අරුම පුදුම දෙයක්. සත්‍ය නම් මෙම මරණකරු වැටුණ බවයි. අඩි 15ක් 20ක් උඩින් වැටුණම කැඩීම් බිඳීම් තිබිය යුතුයි. මේ අනුව මෙතන ප්‍රශ්නයක් තිබෙනවා. දණ්ඩ නීති සංග්‍රහයේ 373/2 වගන්තිය යටතේ නැවත මරණ පරීක්ෂණයක් කරන්න කියලා නීතිඥ සංගමය නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටියා. මෙය සැකකරුට එරෙහිව ගත් ක්‍රියාමාර්ගයක් නොවේ.

මීට අමතරව මෙම විමර්ශනයේ සාක්ෂිකාරයාට තර්ජන කිරීම් තියෙනවා. මේ සම්බන්ධයෙන් නීතිඥ සංගමය සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ මධ්‍යස්ථානයට ද පැමිණිල්ලක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ අරමුණ අධිකරණය ආරක්ෂා කිරීමයි.

මෙම පැමිණිල්ල කළා වු මුල් අවස්ථාවේදී තවත් සැකකාර පොලිස් නිලධාරීන් 6 දෙනෙකුගේ නම් කියවුණා. එම සැකකරුවන් වන මූලස්ථාන පොලිස් පරීක්ෂක ඇතුළු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට නොගන්නේ මන්දැයි ප්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍ය පුද්ගලයින්ට මෙවැන්නක් වුණා නම් අත්අඩංගුවට ගන්න නියෝග කරන්න ඕන නෑ. අපි හිතන විදියට පොලිස්පතිගේ නියෝග ප්‍රකාරව තමයි මෙම විමර්ශන සිදු කෙරෙන්නේ. යුක්තිය ඉෂ්ටවීමට නම් සැකකාර සහකාර පොලිස් අධිකාරීවරයා පමණක් අත්අඩංගුවට ගැනීම සුදුසු නෑ. අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් නීතිපතිවරයා උද්ධෘත යවා සිටීමෙන් පලක් නැහැ. සෙසු පුද්ගලයන් අත්අංගුවට නොගතහොත් ඒ පිළිබඳව පොලිස්පතිවරයාගෙන් කරුණු විමසන්නැයි මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. එහිදි නැගී සිට කරුණු දැක්වූ රජයේ ‍ජ්‍යෙෂ්ඨ නීතිඥ සුදර්ශන ද සිල්වා මහතා පොලිස්පතිවරයා මෙම විමර්ශනය සම්බන්ධයෙන් කටයුතු නොකරනවායි කියන්න බැහැ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයාට පොලිස්පතිවරයා ලිඛිතව මේ සම්බන්ධයෙන් කරුණු යොමු කර ඇති බවට පැහැදිලියි. පොලිස්පතිවරයා ‍රහස් පොලිසියට දන්වා ඇත්තේ මේ සම්බන්ධයෙන් උපරිමව කටයුතු කරන ලෙසය.

පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දුක සිල්වා මහතා පෙනී සිටියේය. සැකකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ආනන්ද හෙට්ටිආරච්චි, පී. ගුණසිරි, නලීන් ප්‍රනාන්දු, උදය බස්නායක යන නීතිඥවරු පෙනී සිටියේය. අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ජාලිය සමරසිංහ, උදුල් ප්‍රේමරත්න, නීතිඥ සුරානි බස්නායක යන මහත්ම මහත්මීහු පෙනී සිටිති. 


නව අදහස දක්වන්න