ගුවන් සේවිකාවට මිලියන එකහමාරක් ගෙවලා | දිනමිණ

ගුවන් සේවිකාවට මිලියන එකහමාරක් ගෙවලා

කමනි අල්විස්

කොමිසම හමුවේ අනාවරණය වෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ ගුවන් සේවිකාවක් ජනාධිපති කාර්යාලයට අනුයුක්ත කරගෙන ඇයට හිමිකම් කීමට නොහැකි පියාසර දීමනාව ලබාදෙමින් රුපියල් ලක්ෂ 15ක මුදලක් ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවාව ගෙවා තිබෙන බව ජනාධිපති පරීක්ෂණ කොමිසම සිදු කළ විමර්ශනයකදී අනාවරණය කරගෙන ඇත. වසර තුනක කාලයක් මුළුල්ලේ රජයේ මුදල් මෙයාකාරයට ඇයට ගෙවා තිබේ. පියාසර දීමනාවක් ගුවන් සේවිකාවකට හිමිවන්නේ ඇය ගුවන්ගත වුණ ගුවන් යානයක සේවය කළහොත් පමණක් බව ගුවන් සේවා ආරංචි මාර්ග සඳහන් කරයි.

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ ලිපියකට අනුව මෙම ගෙවීම් සිදු කර ඇත. ඇයට සීයට සීයක දීමනාව ලබා නොදී ඒ වෙනුවට සීයක පනහක දීමනාවක් ගෙවීමට එවකට සිටි ප්‍රධාන විධායක නිලධාරී මනෝජ් ගුණවර්ධන මහතා පියවර ගෙන තිබෙන බවත් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම ගුවන් සේවිකාව ජනාධිපති කාර්යාලයේ සේවයට බඳවාගෙන ඇත්තේ ප්‍රභූ පවුලක සාමාජිකයකුගේ බලවත් උවමනාවකට අනුව බවත් කියැවේ. එම සාමාජිකයා සමඟ සමීපතම සබඳතාවක් ඇයට තිබුණ බවත් කියැවේ.

2015 ජනාධිපතිවරණයෙන් පසු ජනාධිපති කාර්යාලයේ සේවයෙන් ඉවත් කළ ඇය වර්තමානයේ ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ ගුවන් සේවිකා සුපවයිසර් ධුරයක සිටින බව වාර්තා වෙයි. 

අදහස් 2ක් ඇත

Karana Karala Malaysia Air line plane eke photo eka ain karana...Malaysian Guwan samagama oyala sue karana kalin

නව අදහස දක්වන්න