වෙබ් අඩවි ලියාපදිංචි කරන්නේ වෘත්තීය රැකවරණය ලබා දෙන්නයි | දිනමිණ

වෙබ් අඩවි ලියාපදිංචි කරන්නේ වෘත්තීය රැකවරණය ලබා දෙන්නයි

බුද්ධිකා ඉඹුලාන
සිතාරා සේනානි
නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන

මෙරට ක්‍රියාත්මක වෙබ් අඩවි ලියාපදිංචි කිරීමට ගෙන ඇති තීන්දුවේ අරමුණ වන්නේ එකී වෙබ් අඩවිවල සේවය කරන මාධ්‍යවේදීන් හඳුනාගෙන ඔවුන්ටත් අනෙකුත් මාධ්‍යවේදීන්ට මෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් හැඳුනුම්පතක් ලබාදී එමඟින් වෘත්තීය රැකවරණයක් ලබා දීම යැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.

පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් මාධ්‍යවේදීන් සඳහා පවත්වනු ලබන පුහුණු වැඩසටහන්, විවිධ වැඩමුළු හා සම්මන්ත්‍රණ ආදියට සහභාගී වීමට වෙබ් අඩවි ලියාපදිංචි කිරීම නිසා ඒවායේ සේවය කරන මාධ්‍යවේදීන්ට ද අවස්ථාව හිමිවන බවද හෙතෙම පැවැසීය

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (3) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවෙදී වෙබ් අඩවි ලියාපදිංචිය සම්බන්ධයෙන් මතු කැරුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

වෙබ් අඩවි ලියාපදිංචිය 2011 වසරේ සිට මේ දක්වා සිදුවන ක්‍රියාවලියක් බව කී නියෝජ්‍ය ඇමැතිවරයා සියලු වෙබ් අඩවිවලට කිසියම් ප්‍රමිතියක් හා වගකීමක් තිබිය යුතු යැයිද සඳහන් කළේය.

වෙබ් අඩවි සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කර තිබූ පෙත්සම් දෙකකට අදාළව 2011 දෙසැම්බර් 15 සහ 2012 මැයි 16 වැනිදා තීන්දු දෙකක් ලැබී තිබෙන බවද කී නියෝජ්‍ය ඇමැතිවරයා ඒවා ලියාපදිංචිය සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය සාකච්ඡා කර ක්‍රමවේදයක් සැකසිය යුතු බවට එහිදී තින්දුවක් ලැබී තිබෙන බවද සඳහන් ක‍ළේය.

වෙබ් අඩවි ලියාපදිංචි කිරීම මඟින් එකී වෙබ් අඩවිවල අන්තර්ගතය පාලනය කිරීමේ අපේක්ෂාවක් නොමැති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. 

නව අදහස දක්වන්න