අගමැති පිළිගන්න චීනය සූදානම් | දිනමිණ

අගමැති පිළිගන්න චීනය සූදානම්

ද්වි පාර්ශ්විය සබඳතා ශක්තිමත් කිරීමේ කදිම අවස්ථාවක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ චීන සංචාරයෙන් උදාවෙනු ඇතැයි එරට නායකත්වය දැඩි අපේක්ෂාවෙන් පසුවන බව චීන විදේශ කටයුතු නි‍යෝජ්‍ය ඇමැති ලියු ෂෙන්මින් මහතා ප්‍රකාශ කෙළේය.

මේ දිනවල චීනයේ සංචාරය කරන සංවර්ධන උපායමාර්ග ඇමැති මලික් සමරවික්‍රම සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහත්වරුන් චීන නියෝජ්‍ය විදේශ ඇමැති  ෂෙන්මින් මහතා හමුවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කැර තිබේ.

අගමැතිවරයාගේ චීන සංචාරයෙන් ශ්‍රී ලංකාවට වැදගත් ප්‍රතිඵල අත්වනු ඇතැයි ද, චීන විදේශ නියෝජ්‍ය ඇමැතිවරයා විශ්වාසය පළකෙළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා 2003 වසරේදී ද එවකට අගමැති වශයෙන් චීන නිල සංචාරයක නිරත වී ඇති අතර මෙවරද වික්‍රමසිංහ මහතා උණුසුම් අයුරින් පිළිගැනීමට චීනය මඟ බලා සිටින බව ද චීන නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කර තිබේ.

අගමැතිවරයා චීන අගමැති ලී කෙකියෑන් සහ ජනාධිපති ෂි ජින් ෂිං මහත්වරුන් මුණගැසීමට නියමිතය. වික්‍රමසිංහ මහතාගේ සංචාරයට අදාළව ආයෝජන, වෙළෙඳ සහ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් රැසක් ද සංවිධානය කැර තිබේ.

මෙරට ජාතික ආණ්ඩුවේ පක්ෂ දෙකම චීනයේ මිතුරන් බවත්, පක්ෂ දෙකේ සහයෝගීතාවය තුළින් ශ්‍රී ලංකාවේ ජනතාවට ඵලදායී අනාගතයක් උදාවනු ඇතැයි ද චීන විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයා අවධාරණය කැර තිබේ.


නව අදහස දක්වන්න