අධිවේගී මාර්ගයට නීත්‍යනුකූල නොවන බලපත්‍ර දීලා | දිනමිණ

අධිවේගී මාර්ගයට නීත්‍යනුකූල නොවන බලපත්‍ර දීලා

ශීලා උඩුවර

අධිවේගී මාර්ගය සඳහා නිත්‍යානුකූල නොවන අන්දමට මාර්ග බලපත්‍ර ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිසන් සභාවට හා කැබිනට් මණ්ඩලයට විරුද්ධව අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාවට පැමිණිලි කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

මීට අමතරව කොළඹ මුල්‍ය අපරාධ කොට්ඨාසයටද දැනුම් දුන් බව විජේරත්න මහතා පැවසීය.

සභාපතිවරයා මෙම අදහස් පළකෙළේ මරදානේ පිහිටි සමාජීය හා සාමූහික කේන්ද්‍රයේ පෙරේදා (03) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.

මෙම අධිවේගී මාර්ගයේ බලපත්‍ර ලබාදීම සඳහා ජාතික ගමනා ගමන කොමිසන් සභාව අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය නොමැතිව ටෙන්ඩර් ඉදිරිපත් කැර ඇති බවත් එසේ අවිධිමත් ලෙස ඉදිරිපත් කැර ඇති ටෙන්ඩර සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කැර ඒ සඳහා කැබිනට් අනු කමිටුවක්ද පත්කැර ඇති බවත් ඒ මහතා කීය.

කැබිනට් අනුකාරක කමිටුව පත්කර ඇත්තේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලිය යුතු බවද සභාපතිවරයා කීය.

අධිවේගි මාර්ගයේ අක්‍රමවත් ලෙස මාර්ග බලපත්‍ර ලබාදීම් සම්බන්ධව මීට පෙරද තම සංගමය පැමිණිලි රැසක් ඉදිරිපත් කැර ඇති බවත් එහෙත් අල්ලස් හා දූෂණ කොමිසන් සභාව කටයුතු කරන්නේ මන්දගාමීව බවත් විජේරත්න මහතා කීය.

පසුගිය ආණ්ඩුවේ යටතේ කළ දේ මේ ආණ්ඩුව යටතේ නොකළ යුතු බවද ඔහු සඳහන් කෙළේය. ඒකාබද්ධ කාලසටහන් ක්‍රමය කිසිසේත්ම ක්‍රියාත්මක කළ නොහැකි බවද විජේරත්න මහතා කීය.

බස්රථවලින් කප්පම් ගැනීම වැළැක්වීමට ජනාධිපතිතුමා උපදෙස් දී තිබීම පිළිබඳව තම සංගමය ස්තූතිවන්ත වන බව පැවසූ සභාපතිවරයා එහෙත් කිසි දිනක එය ක්‍රියාත්මක කළ නොහැකි බවත් ඒ සඳහා දැඩි ක්‍රියාමාර්ගයක් අවශ්‍ය බවත් සඳහන් කෙළේය. මේ වනවිට මසකට රුපියල් කෝටි 15ක් පමණ කප්පම් ගන්නා බවත්, මෙයට ඇති එකම විසැඳුම ට්‍රැවල් කාඩ්එක බවත් ඒ මහතා කීය. 

නව අදහස දක්වන්න