උගතුන්ට, බුද්ධිමතුන්ට රට හැර යෑමේ නිදහස හිමිව තිබෙනවා | දිනමිණ

උගතුන්ට, බුද්ධිමතුන්ට රට හැර යෑමේ නිදහස හිමිව තිබෙනවා

නිරුෂි විමලවීර
ඡායාරූප සුදත් මලවීර
රාජ්‍ය ඉංජිනේරු සේවා සංගමයේ 39 වෙනි සංවත්සරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. එහිදී ඉං‍ජිනේරුවරයකුගේ සේවය අගයා ජනාධිපතිතුමා සම්මානයක් පිරිනැමූ අයුරු.

අපේ රටේ උගතුන්, බුද්ධිමතුන්ට පරාක්‍රම සමුද්‍රයේ දොරටු විවෘත කළ අයුරින් කොන්දේසි විරහිතව රට හැර යෑමේ නිදහස හිමිව තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කෙළේය.

ඉන්දියාව, ජපානය, වියට්නාමය,ආදී ලෝකයේ කිසිදු රටක උගතුන්ට මේ ආකාරයට රට හැර යෑමේ නිදහස තිබේදැයි තමා ප්‍රශ්න කරන බව ජනාධිපතිවරයා අවධාරණය කෙළේය.

ජනාධිපතිවරයා එසේ සඳහන් කෙළේ කොළඹ තුන්මුල්ලේ පිහිටි බෞද්ධ සංස්කෘතික කේන්ද්‍රයේ දී ඊයේ(04) පැවැති රාජ්‍ය ඉංජිනේරු සේවා සංගමයේ මහා සභා රැස්වීමට එක්වෙමිනි.

මහත් අභිමානවත් අයුරින් සූදානම් කර තිබූ මේ උත්සවය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැතිණි. මෙහිදී තිස්වසරක දීර්ඝ සේවාව අගයමින් ඉංජිනේරු මහත්ම මහත්මීන් වෙත සමරු තිළිණ ප්‍රදානය කෙරුණේද ජනාධිපතිවරයාගේ සුරතිනි.රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ සභාපති එස්. පී.පී ගමගේ මහතා විසින් විශේෂ සමරු තිළිණයක් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු විය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීවේය.

රටේ සංවර්ධන සඳහා පුළුල් කැපවීමක් කරමින් සිය දැනුම, බුද්ධිය, උගත්කම,අත්දැකීම් පරිනතබව ජාතියේ යහපත සඳහා පුළුල් ජාතික වගකීමක් කරන පිරිසක් සමඟ එක්වීමට ලැබීම පිළිබඳ සතුටු වෙනවා.

අපේ රටේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය පිළිබඳ ඔබ සැම මැනවින් දන්නා බව මම පිළිගන්නා කරුණක්. වර්තමානයේ ලෝකයේ ඉහළම සංවර්ධනයක් පෙන්නුම් කරන රටවල් මහා වනාන්තර ලෙස පැවැති යුගයේ අපේ රටේ ඉංජිනේරු තාක්ෂණය ඉතා ඉහළ මට්ටමක පැවතුණාද යන්න ඉතිහාස සාක්කි සටහන් මෙන්ම අපේ මතක සටහන් තුළ, තිබෙනවා. ශ්‍රීලංකිකයාගේ වාරිතාක්ෂණය, ගොඩනැඟිලි තාක්ෂණය, සාගර තාක්ෂණය ඉතා විශිෂ්ටත්වයක් පෙන්නූ ඉංජිනේරුවන් ලෝකයේ වෙනත් රටකට නොදෙවෙනි අයුරින් කටයුතු කර ඇති බව අනුරාධපුර, පොළොන්නරු ආදී අපේ පෞරානික යුගවල ඇතුළත් කරුණුවලින් තහවුරු වෙනවා.

ලෝකයේ තවත් රටකට නොදෙවෙනි රටක් ලෙස අපේ රට පැවැතියා. නමුත් අපේ රට වෙනුවෙන් අද දවසේ සහ හෙට දවසේ අපේ යුතුකම මොනවාද යන්න අපි තේරුම් ගත යුතුයි. අපේ රට ලෙස අපිට යුතුකම් ඉටු කිරීමට තිබෙනවා. ඉංජිනේරු සේවාවේ කෙතරම් පුරප්පාඩු තිබෙනවාදැයි අපි තේරුම් ගත යුතුයි. රාජ්‍ය සේවයෙන් පිට සංස්ථා සහ මණ්ඩලවල පුරප්පාඩු තිබෙනවා. රාජ්‍ය නොවන පෞද්ගලික අංශයේ ඉංජිනේරු අංශයේ කෙතරම් පුරප්පාඩු තිබෙනවාදැයි සිතා බැලිය යුතු වෙනවා. එසේම වෘත්තීය අයීතින් සහ වරප්‍රසාද ගැන කතා කිරීමේදී වෛද්‍ය, ඉංජිනේරු, තාක්ෂණවේදීන්, ආදී ක්ෂේත්‍රවල උගතුන් රට හැර යෑමේ ගැටලුව ඇතැමෙක් ඉදිරිපත් කරනවා. සමහරු අය මේ පිළිබඳ අභිමානයෙන් පවසනවා. එහෙත් තවත් සමහරෙක් කණගාටුවෙන් කියනවා. එහෙත් ඇතැමෙක් විසඳුමක් ඉල්ලා ඒ පිළිබඳ කතා කරනවා. රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ සභාපතිවරයාගේ කතාවේදී වෘත්තීය අයිතීන් ගැන සඳහන් කළා. සභාපතිවරයා එතුමාගේ වගකීම ඉටු කළා. නමුත් මගේ වගකිම ඊට වඩා වෙනස් තත්ත්වයක් ගන්නවා.

ඔබ විසින් තෝරාපත්කර ගත් මේ රටේ ප්‍රධාන සේවකයා ලෙස රට වෙනුවෙන් මගේ වගකීම ඉටු කිරීමේදී මගේ වගකීම වෙනස් තත්ත්වයක් ගන්නවා.

උගතුන් වැටුප් ප්‍රමාණවත් නොවන බව පවසා රට හැර යෑම නොව උගතුන් විසින් කළ යුත්තේ රටේ අනාගතය වෙනුවෙන් රට ගොඩනැගීමට රට භාර ගැනීමයි යන්න මගේ අදහසයි.

විදේශ රටවල සිටින උගතුන් බුද්ධිමතුන් සියලු දෙනාට රට ගොඩනැගීමට උදව් වෙන්න. මේ රටට නැවත පැමිණෙන්න අපේ රට තිබෙන තැන පිළිබද කණගාටු නොවී , ආත්ම ධෛර්යෙන් ආත්ම ශක්තියෙන් රට ගොඩ නැගීමේ කාර්යයට එක්වන ලෙස මම ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ඉල්ලීමක් කළා.

වත්මන් ආණ්ඩුව නිදහස් අධ්‍යාපනයේ දොරටු විවෘත කරමින්, මීට පෙර ගෙවීගිය දශක කිහිපයට වඩා නිදහස් අධ්‍යාපනයට වැඩි ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම රටේ සංවර්ධනය කාර්යයේ සිදු කළ යුතු දීර්ඝකාලීන ආයෝජනය යි. වසර කිහිපයට වඩා සෞඛ්‍ය ක්ෂේත්‍රයට වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කළා. නිරෝගි දරු පරපුරක් බිහි කිරිමේ කාර්යය සඳහා එම යුතුකම ඉටු කළා. නිරෝගි මිනිසුන් බිහි කිරිමත් ඔවුනට අවශ්‍ය දැණුම,බුද්ධියක් ලබා දීමත් එමඟින් සිදු කළා.

දොස්තර මහතුන් සමඟ වැඩ කර තිබෙන්නේ පසුගිය වසර පහේ පමණයි. ඇමැතිවරයෙක් ලෙස මම වැඩියෙන්ම කටයුතු කර තිබෙන්නේ ඉංජිනේරු මහත්වරුන් සහ නෝනාවරු සමඟයි. ඒ නිසා ඉංජිනේරුවරුන්ගේ සහ වෛද්‍යවරුන්ගේ වෙනස මම මනාව දන්නවා.

අපේ රටේ නිදහස් අධ්‍යාපනය තුළ ලබා දෙන පහසුකම් තුළින් උගතුන් බුද්ධිමතුන් බිහිකරනවා. උගතුන්ට බුද්ධිමතුන්ට නිදහසේ රට හැර යෑමේ නිදහසද ලබා දී තිබෙනවා. පරාක්‍රම සමුද්‍ර යේ දොරටු විවෘත කරන අයුරින් උගතුන්ට රටින් පිටවීමට අවස්ථාව ලබා දි තිබෙනවා.

. ලෝකයේ කිසිදු රටක උගතුන්ට මේ ආකාරයට රට හැර යෑමේ නිදහස දි නැහැ. අන්තර් ජාලය පරිශීලනය කර බලන්න කියා මම කියනවා. මෙතැන සිටින බොහෝ දෙනා අන්තර්ජාලය පරිශීලනය කරන ඒ ගැන දැනුමක් ඇති අය බව මම දන්නවා.

ඉන්දියාව, ජපානය, වියට්නාමය, මෙන්ම ලෝකයේ දියුණූ රටවල උගතුන්ට මේ ආකාරයට රට හැර යනවාදැයි පරීක්ෂා කර බලන්නැයි කියා මම ඉල්ලා සිටිනවා. අපේ රටේ වගේ කිසිදු රටක මේ ආකාරයට දොරටු විවෘත කර නැහැ. ඒ වෙනුවෙන් පවතින කොන්දේසි එම රටවල තිබෙනවා.

එම්.බී .බී එස් සමත් වෙන වෛද්‍ය ශිෂ්‍යයන් පළමු පත්වීම් ලබා ගැනීමට පෙර රටින් පිට වෙනවා. පත්වීම් ගැනීමට ඉතිරි වන්නේ පනහක් හැටක් වැනි පිරිසක්. රාජ්‍ය සේවයේ වැටුප් අඩුයි. එය අපි පිළිගන්නවා. ලෝකයේ වැඩිම වැඩිම වැටුප් ගන්න දේශපාලනඥයො ඉන්නේ සිංගප්පූරුවේයි. ලීක්වාන් යූ බලයට පැමිණ සමස්ත ජනතාව ස්වේච්ඡා හමුදා සේවයට බඳවා ගත්තා. තෙමසක පුහුණුවක් ලබා දුන්නා. අද සිංගප්පූරුවේ වෛද්‍යවරයෙක්,

ඉංජිනේරුවෙක්, නීතීඥයෙක් සමඟ කතා කළහොත් ඒ හැම කෙනෙක්ම සිංගප්පූරු හමුදාවේ ස්වේච්ඡා නිලධාරීන් ලෙස සේවය කළ අයයි. එසේ කෙසේ යුද්ධයට නොවෙයි. හොඳ විනයක් ඇති කිරීම සඳහා රටේ සියලු පුරවැසියන්ට යුද පුහුණුව ලබා දී තිබෙනවා.

අපේ රටේ ජනතාවට සෑම දේම නොමිලේ ලබා දෙනවා. ඕනෑම ආකාරයකට රටින් පිටවීමට උගතුන්ට දොරගුළු විවෘත කර තිබෙනවා.

සමහර වෛද්‍යවරු ඉල්ලුම් කරන පාසල දරුවාට ලබා නොදීමෙන් රට හැර යනවා. අපේ රට ලෙස හැම කෙනෙකුටම ඒ එක් එක් ක්ෂේත්‍රවල බලපාන ගැටලු ප්‍රශ්න තිබෙනවා. ගොවි මහත්වරු පොහොර ප්‍රශ්නයට පාරට පැමිණ උත්ඝෝෂණ කරනවා. හැම වෘත්තියේම සෑම ක්ෂේත්‍රයේම ප්‍රශ්න තිබෙනවා. ආණ්ඩු කරන අපිට අපිට ඊට වඩා ප්‍රශ්න තිබෙනවා. ආණ්ඩුවේ ඇමැතිවරුන්ට අමාත්‍යාංශවල සම්පත් ආදී ගැටළු පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. එසේ නොතිබූ කාලයක් හෝ නොතිබෙන කාලයක් හෝ නැහැ. දවසින් සමාජයේ සිදු වෙන වෙනස්කම් අනුව සියලු ක්ෂේත්‍රවල ප්‍රශ්න තිබෙනවා. දරු පවුලක වුවද ප්‍රශ්න තිබෙනවා. අපි අපේ යුතුකම රටක් ජාතියක් ලෙස ඉටු කරන්නේ කෙසේද යන්න වැදගත්. දරුවන් සහ දරු මුණුපුරන් වෙනුවෙන් එම යුතුකම් ඉටු කරන්නේ කෙසේද යන්න වැදගත්. නිදහස් සමාජයේ ඉංජිනේරු අංශයේ පුරප්පාඩු විශාල සංඛ්‍යාව තිබෙනවා. එසේම විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍රයේ සිටින්නේ අවශ්‍යතාවෙන් සියයට පනහක් පමණයි. මේ රටේ ගොවියා කම්කරුවා ඇතුළු ජනතාවගේ දහඬියෙන්, කඳුළින්, ලෙයින් ජාතික නිෂ්පාදනයට ලබා දෙන මුදලින් නිදහස් අධ්‍යාපනයෙන් හැඳුණු, බිහිවූ අයයි. එම විශිෂ්ඨයන් තමන්ට වැටුප් මඳි වරප්‍රසාද මදි කියමින් පහසුවෙන් රට හැර යනවා. එසේ ගොස් තම පෞද්ගලික ජීවිතය සාර්ථක කර ගන්නවා. ලෝකයේ කිසිඳු ජාතියක කිසිඳු රටක උගතුන්ට මේ ආකාරයට රට හැර යෑමේ නිදහසක් ලැබී නැහැ.

වෛද්‍යවරු, ඉංජිනේරුවන්, ගණකාධිකාරිවරුන්, තාක්ෂණවේදීන් මේ ප්‍රමාණය රටට අවශ්‍යයි. ඉතිරි පිරිසට රටින් පිටත යෑමේ අවස්ථාව තිබෙනවා. එකසිය විසිපස් දෙනෙකු අතරින් රටට අවශ්‍ය පුරප්පාඩු සියයි නම් ඉතිරි විසි පහට රටින් පිට වීමේ අවස්ථාව තිබෙනවා. අපි සිටින්නේ කොතැනද අපිට වැරදුනේ කොතැනද? අපි සිටිය යුත්තේ කොතැනද අපි සිතා බැලිය යුතුයි.

මම අද පැමිණියේ ඉංජිනේරු සංගමයේ වාර්ෂික සමුළුවටයි. සභාපතිවරයාගේ කතාව අසා සිටියදී මම පැමිණ සිටින්නේ වෘත්තීය සමිති රැස්වීමකට දැයි මට හැගී ගියා. ඉංජිනේරුවන්ගේ වාර්ෂික සමුළුවක තිබිය යුතු ගුණාත්මක බව මෙහි තිබෙනවාදැයි සිතා බැලිය යුතු වෙනවා. රටේ ජනාධිපතිවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරු සිව් දෙනෙකු සිටින වාර්ෂික සමුළුකදී හොඳ ඉදිරිපත් කිරිමක් සිදු කළ හැකිව තිබුණා. ඉංජිනේරුවන් ලෙස රටට සිදු කර ඇති සේවය, ආදී ඉදිරිපත් කළා නම් ලේකම්වරු සිව් දෙනාටත් එයින් උකහාගත යුතු දේ මම කියා දෙනවා. වෘත්තීය සමිති හමුළුවටක එක්වන්නැයි ඉල්ලීමක් කළා නම් අදාළනිලධාරීන් සමඟින් මහාභාණ්ඩාගාර අධිපතිවරයා එක් කර ගනිමින් වෘත්තීය සමිතියට අදාළ දේ කතා කරනවා. මීට පෙර රුපියල් පහළොස් දහසේ දීමනාව පිළිබද ඇතිවූ ප්‍රශ්නයේදී මම එය විසඳීමට ඍජුව ඉදිරිපත් වුණා. රුපියල් පහළොස් දහසක දීමනාවක් ඉල්ලා ඉංජිනේරු මහත්වරු බෝඩ් ඔසවා ගෙන පිකටින් කළ යුතු නැතැයි යන මතයේ මම සිටිනවා. ඒ නිසා මම අදාළ අංශ වෙත උපදෙස් දුන්නා. අනෙකුත් ක්ෂේත්‍රවල සියලු දෙනා වෙනුවෙන් කළ යුතු සේවය උපරිම අයුරින් අපි ඉටු කරනවා. වාර්ෂික සමුළුවක තිබිය යුතු ප්‍රමිතිය ගුණාත්මක බව පිළිබද මීට වඩා ඉහළ තත්ත්වයක් තිබිය යුතුයි. මගේ මහවැලි අමාත්‍යාංශය යටතේ මොරගහ කන්ද ව්‍යාපෘතිය ඉදිකිරීමේ විශාලම ගැටලුව වී තිබෙන්නේ ඉදිකිරීමට අවශ්‍ය මුදල් හෝ වෙනත් ප්‍රශ්නයක් නොවෙයි. එය භාරව සිටින ඉංජිනේරු මහත්වරුන්ගේ ප්‍රශ්නයයි. මට විසදීමට තිබෙන්නේ ඔවුන්ගේ බෙදීම් හැලහැප්පීම් ආදී ප්‍රශ්නයි. රටේ එක් පුද්ගලයෙකුට ප්‍රශ්න දහයක් පමණ තිබෙනවා. ඉන්දියානු කීර්තිමත් දේශපාලඥයක් වූ නේරු තුමා රට දියුණු කිරීම සඳහා කෝටි ගණනක් වු ජනතාවගේ ප්‍රශ්න විසඳීමට තිබෙන බව පැවසුවා. ඒ ආකාරයට අපේ රටේ එක් පුද්ගලයෙක් වඩා ප්‍රශ්න දහයක් පමණ තිබෙනවා. ඒ නිසා මට රටේ ජනතාව මෙන් දස ගුණයක් ප්‍රශ්න විසඳීමට තිබෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ. දඬල්ලගේ මහතා-

ඉංජිනේරු මහතුන්ගේ අප්‍රතිහත ධෛර්ය රට ගොඩනැඟීමේ කාර්යය සඳහා ලැබෙන බව අපි දන්නවා. තනතුරු මත උසස් වීම් ලබා දීමේ පිළිවෙත තුළින් උසස්වීම් ලබා දීම ඇණ හිට සිටිනවා. එය ඉතා සංවේදී කරුණක්. සුදුසුකම් තිබුණද තනතුරු නැතිනම් උසස්වීම් නැහැ. මේ පිළිබඳ විද්‍යාත්මක සංවාදයක් ආරම්භ කර තිබෙනවා. මේ තත්ත්වය පිළිබඳ මානව සම්පත් කළමනාකරණ අංශ සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. අපේ ඉහළ ඉංජිනේරුවෙකු රුපියල් එක්ලක්ෂ විසිපන්දහසක මාසික වේතනයක් ලබනවා. එය සංස්ථා සහ මණ්ඩල වල රුපියල් දෙළක්ෂ විසිපන්දහසක් වෙනවා. එය පුද්ගලික අංශයේ ලක්ෂ හතක් පමණ වෙනවා. 2015 වසරේ ඉංජිනේරුවන් 120 දෙනෙකු බඳවා ගත්තා. රැදී සිටින්නේ 86යි. රුපියල් පහළොස් දහසක දීමනාවක් වෙනුවෙන් පාරට බැසීමට සිදුවීම බරපතළ තත්ත්වයක්. ලබන වසරේ මේ සමුළුව පවත්වන විට මේ ප්‍රශ්න විසඳා ගැනීමේ හැකියාව ඇතැයි මම විශ්වාස කරනවා.

රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ සභාපති එස්. පී.පී ගමගේ මහතාද මෙහිදී අදහස් දැක්විය.

මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රූබසිංහ, ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් සෝමවංශ, වාරිමාර්ග සහ ජලකළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ආර්. එම්. ඩබ්ලිව් රත්නායක, රාජ්‍ය ඉංජිනේරු සංගමයේ ලේකම් ඩී. අබේසිරිවර්ධනයන මහත්වරු ඇතුළු ඉංජිනේරුවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වී සිටියහ.


නව අදහස දක්වන්න