ගිණුම්ගත නොකර රු. ට්‍රිලියන 1.4 ක ණය අරන් | දිනමිණ

ගිණුම්ගත නොකර රු. ට්‍රිලියන 1.4 ක ණය අරන්

ගිණුම්ගත කිරීමකින් තොරව පසුගිය රජය සමයේදී රුපියල් ට්‍රිලියන 1.4 ක ණය මුදලක් ලබාගෙන තිබෙන බව රජය පවසයි.

මෙලෙස ලබාගෙන තිබෙන ණය මුදල යළි ගෙවන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පස්වරුවේ රැස්වූ හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී විශේෂ අවධානය යොමු කෙරිණි.

මෙවැනි විශාල ණය මුදලක් ලබාගැනීම ගැටලු සහගත තත්ත්වයක් වන අතර එම මුදල ගෙවා දැමීම සම්බන්ධයෙන් මේ වන විට විශේෂ අවධානය යොමුකර තිබෙන බව රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කරයි.

මේ අතර එම අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී පොහොර සහනාධාරය සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබෙන අතර පොහොර සහනාධාරය ජනතාවට ලබාදෙන බව ද රජය පොරොන්දු වී තිබෙන සහනාධාර කිසිවක් කපාදැමීමට කටයුතු නොකරන බව ද කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා පවසයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ පැවැත්වෙන ආර්ථික කමිටු රැස්වීමේදී පොහොර සහනාධාරය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

නව අදහස දක්වන්න