තරුණයකුට රෝහලකින් ලක්ෂ 50ක වන්දික් | දිනමිණ

තරුණයකුට රෝහලකින් ලක්ෂ 50ක වන්දික්

රෝෂන් තුෂාර

රිය අනතුරකින් තුවාල ලැබූ තරුණයකුගේ පාදයක් අහිමිවීමට වෛද්‍යවරුන්ගේ හා රෝහල් කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල හා අපරීක්ෂාකාරී බව හේතු වී ඇතැයි තීන්දු කළ කොළඹ සිවිල් අභියාචනා මහාධිකරණය අදාළ තරුණයාට රුපියල් ලක්ෂ 50 ක වන්දියක් ගෙවන ලෙසට රෝහල් සමාගමට නියෝග කෙළේය. කොළඹ දිසා අධිකරණය ලබා දී තිබූ තීන්දුවක් යළි සනාථ කරමින් සිවිල් අභියාචනාධිකරණ  විනිසුරුවරුන් වන එච්. සමයවර්ධන හා ඩී. එන්. සමරකෝන් මහත්වරු දෙපළ මෙම තීන්දුව නිකුත් කෙළේය.

රෝහලක සේවය සපයන වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය වෘත්තීයවේදීන් ලෙස සිය රාජකාරිය නිසි පරිදි ඉටුකිරීමට බැඳී සිටින බවත්, වෘත්තීය නොසැලකිලිමත්කම් මත සිදුවන හානි හා පාඩු සඳහා ඔවුන් සේවයේ යොදවන ආයතනය වගකිවයුතු බවත් සඳහන් කැර ඇති අභියාචනාධිකරණය දිසා අධිකරණය ලබා දුන් තීන්දුව හේතු සහිත බවට නියෝග කරමින් විත්තිකාර රෝහලේ අභියාචනය ප්‍රතික්ෂේප කරමින් මෙම තීන්දුව ලබා දී ඇත.

මීගමුවේ පදිංචි සෙබස්තියන් ගැමුණු සංක ප්‍රනාන්දු තරුණයා රෝහලට හා රෝහල් කාර්ය මණ්ඩලයට එරෙහිව පැවරූ නඩුවක් සලකා බැලීමෙන් අනතුරුව දිසා අධිකරණය පැමිණිල්ලේ වාසියට තීන්දුව ප්‍රකාශ කෙළේය.

එම තීන්දුවට එරෙහිව රෝහල් සමාගම පැවරූ අභියාචනයක් සලකා බැලීමෙන් පසුව සිවිල් අභියාචනාධිකරණය මෙම තීන්දුව නිකුත් කළාය.

පැමිණිලිකරු මෙම අනතුර සිදුවන 2002 නොවැම්බර් 23 වැනිදිනට අවුරුදු 28ක තරුණයකු වීම, කෘත්‍රිම පාදයක් ලබාගැනීමට රුපියල් ලක්ෂ අටක මුදලක් වැයවීම හා කකුල කැපීමට සිදුවූ සිත්වේදනාව රුපියල් 344236.00 විශේෂ වන්දියක්ද වශයෙන් මෙම රුපියල් ලක්ෂ 50ක වන්දිය තරුණයාට හිමිවිය යුතු බව අභියාචනාධිකරණ විනිසුරු දෙපළ තීන්දු කැර තිබිණි.

ගැමුණු ප්‍රනාන්දු තරුණයා 2002 නොවැම්බර් 23 දින යතුරු පැදියකින් ගමන් කිරීමේදී බස් රථයක ගැටී අනතුරට ලක් වී ඇත. පැමිණිලිකරු විත්තිකාර රෝහල පිළිබඳ පුවත්පත් දැන්වීම කරුණු අනුව ප්‍රතිකාර සඳහා ඊට ඇතුළත් වී ඇති බවත්, එම රෝහල හා කාර්ය මණ්ඩලය නිසි ප්‍රතිකාර ලබාදීමට අපොහොසත් වූ හෙයින් පාදය කපා ඉවත් කිරීමට හේතු වූ බවත් සඳහන් කරමින් දිසා අධිකරණයේ මෙම නඩුව පැවරීය. දිසා අධිකරණ විනිසුරුවරයා සිය තීන්දුව ලබා දීමේදී වඩා සැලකිල්ල දක්වා ඇත්තේ සානුකම්පිත කරුණු මත බැවින් තීන්දුව අහෝසි කරන ලෙස ඉල්ලා රෝහල මෙම අභියාචනය කැර තිබිණි.

පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල්ද සිල්වා මහතා පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා පෙනී සිටියේය. 

නව අදහස දක්වන්න