රතුපස්වලට අප්‍රේල් 5ට පෙර විසඳුම් | දිනමිණ

රතුපස්වලට අප්‍රේල් 5ට පෙර විසඳුම්

රතුපස්වල ගැටලුවට අප්‍රේල් මස 5 වනදාට පෙර විසඳුම් ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන් මහතා එකඟත්වය පළකොට ඇත.

අදාළ සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවක දී මෙම එකඟතාව පළ කෙරිණි.

ගම්පහ දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්, ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති මෙන්ම බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද රතුපස්වල ජනතාව නියෝජනය කරමින් නියෝජිතයින් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

තමන් මුහුණපා සිටින ප්‍රධාන ගැටලු 3 ක් පිළිබඳ මෙහිදී එම ජනතාව කරුණු ඉදිරිපත් කළ අතර වන්දි ලබාගැනීම, වතුර ලබාගැනීම මෙන්ම උද්ඝෝෂණ සිදුකිරීම හේතුවෙන් පනවා ඇති නඩු ඉවත් කර ගැනීමට සහාය වන ලෙස ද ඉල්ලා සිටියහ. එම කරුණු කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපති ලේකම්තුමා අප්‍රේල් 05 වනදාට පෙර මෙම සියලු ගැටලුවලට විසඳුම් ලබාදීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය. 1919 දුරකථන අංකය ඔස්සේ “ජනපතිට කියන්න වැඩසටහන” යටතේ රතුපස්වල ජනතාව විසින් ජනාධිපතිතුමා වෙත සිය ගැටලු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මෙම සාකච්ඡාව කැඳවිණි. 

 

නව අදහස දක්වන්න