සිද්ධික්ගේ සිරමැදිරියට පිටස්තරයෙක් ඇතුළු කරලා | දිනමිණ

සිද්ධික්ගේ සිරමැදිරියට පිටස්තරයෙක් ඇතුළු කරලා

සිරන්ජනි කුමාරි

දේශීය, විදේශීය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ මොහොමඩ් සිද්ධික් නම් මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරු රඳවා සිටි අධිකරණ සිරමැදිරිය තුළට පිටස්තර පුද්ගලයකුට ඇතුළුවීමට ඉඩ ලබාදීමෙන් එකී පුද්ගලයා සූක්ෂ්ම ලෙස මුදාහැරීමට ක්‍රියාකිරීමෙන් බන්ධනාගාර නිලධාරීන් බරපතළ වරදක් සිදු කැර ඇති බවට රහස් පොලිසිය ඊයේ (4) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වෙත කරුණු වාර්තා කෙළේය. මත්ද්‍රව්‍ය ජාවාරම් හා මුදල් විශුද්ධිකරණ පනත යටතේ රහස් පොලිසිය 2015/09/17 වැනි දින අධිකරණයට ඉදිරිපත් කළ මොහොමඩ් සිද්ධික් නැමැති සැකකරු රඳවා සිටි අධිකරණ සිරමැදිරියට පිටස්තර පුද්ගලයෙකු ඇතුළු කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බව සඳහන් කරමින් රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකක 1 ස්ථානාධිපතිවරයා අධිකරණයට කරුණු වාර්තා කැර තිබිණ.

ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර් චමිලා දේවිනී වීරවර්ධන වික්‍රමතුංග මහත්මිය මෙම සිද්ධියේ පැමිණිලිකාරිය වේ.

මොහොමඩ් මකීම් මොහොමඩ් සිද්ධික් යන සැකකරු සම්බන්ධයෙන් රහස් පොලිසිය මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම හා මුදල් විශුද්ධිකරණ පනත යටතේ කළ දීර්ඝ විමර්ශනයකින් පසු රක්ෂිත බන්ධනාගාර ගතකළ සැකකරුවකු බවත්, මොහු සමඟ දේශීය විදේශීය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සබඳතා පවත්වන බැවින් මොහු විශේෂිත සැකකරුවෙකු ලෙසට රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වා තිබිණි.

ජාලගත පුද්ගලයන්ගේ රහස් හෙළිවීම නිසා ඔවුන්ගෙන් මෙම සැකකරුට දැඩි තර්ජනයක් පවතින වකවානුවක මොහු රඳවා සිටි සිරමැදිරියට පිටස්තර පුද්ගලයකුට ඇතුළුවීමට අවකාශ සලසා දී එකී පුද්ගලයාව සූක්ෂ්ම ලෙස මුදාහැරීම බන්ධනාගාර නිලධාරීන් සිදුකරන ලද බරපතළ වරදක් වන බවත්, ඒ තුළින් රහස් පොලිසියට තමන් කළ විමර්ශනයට සෘජු හෝ වක්‍රව බලපෑම් එල්ල විය හැකි බවට රහස් පොලිසිය කරුණු වාර්තා කැර තිබිණි.

මොහොමඩ් සිද්ධික් ඉකුත් මාර්තු 18 වැනි දින පාකිස්තානයේ සිට අත්අඩංගුවට ගෙන මෙරටට ගෙනවිත් දින 90 ක කාලයක් රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඉකුත් ඔක්තෝබර් 17 වැනි දින රහස් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කැර ඇත. 

නව අදහස දක්වන්න