පාතාලයේ වැඩක්ද? කුමන්ත්‍රණකාරීන්ගේ වැඩක්ද? | දිනමිණ

පාතාලයේ වැඩක්ද? කුමන්ත්‍රණකාරීන්ගේ වැඩක්ද?

ස්ථාන කිහිපයකම පසුගිය දින කිහිපය පුරාම වෙඩි තැබීම් සිදුවිය. මෙය පාතාලයේ වැඩක්ද එසේත් නොමැතිනම් වෙනත් කුමන්ත්‍රණකාරි වැඩපිළිවෙළක්ද යන සැකය ආරක්ෂක අංශ වෙත ඇති වී තිබේ.

මෙහි ප්‍රථම සිද්ධිය වුයේ දෙමටගොඩ චමින්ද ඉලක්ක කර එල්ල වූ වෙඩි ප්‍රහාරයයි. දෙමටගොඩ චමින්ද වූ කලි ප්‍රබල පාතාල චරිතයකි. විශේෂයෙන් විවිධ අපරාධ රැසකට සම්බන්ධ මොහු භාරත ලක්ෂ්මන් ඝාතන සිද්ධියේ මෙන්ම බ්ලුමැන්ඩල් ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුය.

පසුගියදා (2) කොළඹ මහාධිකරණයේ පැවැති නඩුවකට දෙමටගොඩ චමින්ද ආමි රොෂාන් ඇතුළු තවත් සැකකරුවන් රැසක් රැගත් බන්ධනාගාර බස් රථය පෙරවරු 8.10 පමණ වනවිට කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණය වෙත පැමිණ තිබිණි. මෙම සැකකරුවන් උසාවිය තුළ රඳවා සිටියේ පොලිස් සහ බන්ධනාගාර ආරක්ෂක නිලධාරින්ගේ ආරක්ෂාව යටතේය.

දෙමටගොඩ චමින්ද ප්‍රසිද්ධ පාතාල අපරාධකරුවෙක් බවට පොලිස් පරික්ෂණවලින් කියවෙයි. පාතාල කණ්ඩායම් අතර දෙමටගොඩ චමින්දගේ කණ්ඩායම සහ සංඛගේ කණ්ඩායම අතර අභ්‍යන්තර ගැටුමක් පැවතියේ බොහෝ කාලයක සිටය.

ඔවුනොවුන් ඒ අභ්‍යන්තර ගැටුම පවත්වාගෙන ගියේ කණ්ඩායම්වල එකිනෙක සාමාජිකයන් ඝාතනයට ලක්කරමින්ය. පසුගිය මැතිවරණ ස‍මයේදී බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ පැවැති ඡන්ද ප්‍රචාරක රැලියකට මුවාවෙමින් සංඛගේ කණ්ඩායමට දෙමටගොඩ චමින්ද ඇතුළු ඔහුගේ ගෝලයන් විසින් වෙඩි තබා තිබිණි. එහිදී සංඛට එල්ල වූ ඉලක්කය වැරදී කාන්තාවක් මිය ගොස් තිබිණි. දෙමටගොඩ චමින්ද විසින් සංඛව ඉලක්ක කර ගත්තේ ඔහුගේම පළිගැනීමේ සිද්ධියකටද එසේත් නොමැති නම් යම්කිසි කොන්ත්‍රාත්තුවකටද යන්න අනාවරණය වුණේ නැත. කෙසේ වුවද දෙමටගොඩ චමින්ද අත්අඩංගුවට පත්ව තිබිණි.

මෙදින බන්ධනාගාර බස් රථය දෙමටගොඩ ප්‍රදේශයෙන් ධාවනය වෙමින් තිබියදී මාලිගාකන්ද ප්‍රදේශයට ආසන්නයේදී මෝටර් රථයක් සහ යතුරුපැදියක් එම බස් රථය හරස් කර නවත්වා වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබිණි. ස්ථීරවම දෙමටගොඩ චමින්ද අසුන්ගෙන සිටි ස්ථානය ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වූ අතර ඉන් දෙමටගොඩ චමින්දට බරපතළ තුවාල සිදුවී තිබිණි. එම බන්ධනාගාර බස් රථයේ ආරක්ෂාවට තබා සිටි පොලිසිය වෙඩි තැබූ අපරාධකරුවන්ට ප්‍රතිප්‍රහාර එල්ල කර තිබිණි. එහිදී පොලිසියේ ඉලක්කය ස්ථිරවම යතුරුපැදියේ පැමිණි අපරාධකරුවන්ට වැදුණි. එහිදී එක් අයකුට තුවාල සිදුවී තිබුණි. එහෙත් යතුරුපැදිය නොනවත්වා ඉදිරියටම ධාවනය වී තිබුණි. එහි සිටි පුද්ගලයකුට වෙඩි වැදී ඇති බව වඩාත් පැහැදිලිවම අනාවරණය වී තිබුණේ යතුරුපැදිය ගමන් ගත් මාර්ගයේ මීටර් 200ක් පමණ දුරට ‍ෙල් ධාරාවක් ගලාගොස් තිබීමයි. එතැන් සිට ඔහු වෙනත් වාහනයකට දමාගෙන පලා ගොස් ඇති බව අනාවරණය වෙයි. මෙම පුද්ගලයා යම් තැනක සඟවාගෙන ප්‍රතිකාර කරනු ඇතැයි සැකකෙරෙන අතර මෙම සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පවත්වන කොළඹ අපරාධ කොට්ඨාසය ඔහු සොයා රෝහල් ගණනාවකම පරීක්ෂණ සිදුකළේය. මීට අමතරව මෙම වෙඩි තැබීමට පැමිණි පුද්ගලයකුගේ යැයි සැකකරන සෙරෙප්පුවක් සොයා ගැනීමට හැකිවී තිබිණි.

කොළඹ අපරාධ කොට්ඨාසය සිදුකළ මෙම සිද්ධියට අදාළ පරීක්ෂණවලදී ඔවුන්ට අදාළ සිද්ධිය වූ ස්ථානය අවට සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා පද්ධතිවල ඡායාරූප මෙම සිද්ධියේ ඇතැම් කරුණු තහවුරු කර ගැනීමට බෙහෙවින් ඉවහල් වී තිබිණි. ඊට අමතරව එම අවස්ථාවේ වැලිකඩ, දෙමටගොඩ දුරකතන කුලුණු ඔස්සේ එහා මෙහා ගිය දුරකතන අංක හරහාද මෙම අපරාධය පිටුපස සිටින අපරාධකරුවන් යොමුකර ගැනීමට අවශ්‍ය තොරතුරු ඉවහල් වෙමින් පවතී.

කෙසේ වෙතත් වෙඩි තැබීම සිදුවීමත් සමඟම රෝහල්ගත කළ දෙමටගොඩ චමින්ද ශල්‍යකර්මයකට ලක්කරනු ලැබිණි. ඔහු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමේ අවස්ථාව එළඹෙන තෙක් පරීක්ෂණ අංශ බලා සිටියි.

කෙසේ වෙතත් කොළඹ අපරාධ කොට්ඨාසයේ මෙම වෙඩි තැබීමේ සිද්ධිය පිටුපස සිටින්නේ කවුද ඒවා මෙහෙයවුයේ කවුද, අවි ආයුධ සපයා ගත්තේ කොහෙන්ද යන්න හෙළිකර ගැනීමේ කාලය වැඩි ඈතක නැත.

මෙම සිද්ධියත් සමඟම රාජගිරිය ඔබේසේකරපුරදී ඊට‍ පසු දින තවත් වෙඩි තැබීමක් සිදුවිය. එහිදී වෙඩි තැබීමට ලක්වූයේ දකුණේ ප්‍රබල පාතාල අපරාධකරුවකු වූ හර්ෂ නමැත්තාය. ඔහු‍ වැලිකඩ ඔබේසේකරපුර ප්‍රදේශයේ ඔහුගේ හිතවතියකගේ නිවසට පැමිණි අවස්ථාවේ යතුරුපැදිවලින් ඔහු ලුහුබැඳ දෙදෙනෙක් ඔහු එම නිවසට කොටුකර වෙඩි තැබීම සිදුකර ඔහු ඝාතනය කර පලා ගියහ.

ඉන් අනතුරුව පසුගියදා (4) මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේදී තවත් වෙඩි තැබීමක් සිදුවිය. එහිදී මේ ආකාරයෙන්ම යතුරුපැදිවලින් පැමිණි පිරිසක් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි 41 හැවිරිදි නිලන්ත චම්පික නමැති අයකුට වෙඩි තබා පලා ගොස් තිබිණි. ඔහුද එම වෙඩි ප්‍රහාරයෙන් මිය ගොස් ඇත.

මේ ආකාරයෙන් දින 3ක් ඇතුළත සිදුවූ වෙඩි තැබීම් පිටුපස සිටින්නේ පාතාලයද එසේත් නොමැති නම් වෙනත් කණ්ඩායමක්ද යන්න හෙළිකර ගැනීමට පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, විශේෂ කාර්ය බළකාය සහ බුද්ධි අංශ සුවිශේෂී මෙහෙයුමක යෙදී සිටියි.

කෙසේ වෙතත් මීට වසර දහයකට පමණ පෙර මේ රට තුළ පාතාල කණ්ඩායම් 50කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක විය. ඔවුන්ගේ කප්පම් ගැනීම්, මිනීමැරුම්, ස්ත්‍රි දුෂණ, කොල්ලකෑම්, මත්කුඩු ජාවාරම් ඇතුළු විවිධ අපරාධ ක්‍රමයෙන් මැඩපවත්වමින් ආරක්ෂක අංශ විටින්විට සිදුකළ මෙහෙයුම්වල ප්‍රතිඵලයක් වශයෙන් එම කණ්ඩායම ක්‍රමයෙන් හීනවීමට පටන් ගත්තේය. විශේෂයෙන් ඇතැම් පොලිස් නිලධාරින් කිසිදු බලපෑමකට යටත් නොවී පාතාල අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සිදුකළහ. මේ නිසාම බොහෝ අපරාධකරුවන් ඇතැම් දේශපාලනඥයන්ගේ සහයෙන් විදෙස් රටවලට පැන ගත්තා. නාවල නිහල් වැනි දරුණු පාතාල අපරාධකරුවන්ට සිදුවූයේ කුමක්ද යන්න කිසිවකුටත් දැනගැනීමට පවා නොහැකි විය. කඩුවෙල වසන්ත වැනි අය ඝාතනයට ලක්වීම තවමත් අභිරහස්ය. පිටකොටුව, කොටුව, බොරැල්ල, මහරගම, මොරටුව සහ දකුණේ බොහෝ ප්‍රදේශවලද ඇඹිලිපිටිය, රත්නපුර ආදී ප්‍රදේශවලද පෙරළි කරමින් සිටි පාතාලය විශේෂ කාර්ය බළකායේ සහ විශේෂ පොලිස් කණ්ඩායම්වල මෙහෙයුම්වල ප්‍රතිඵලයක් වශයෙන් මර්දනය කිරීමට හැකිවිය. පාතාලයේ සිට කුඩු ජාවාරම මහා පරිමානයෙන් සිදුකළ අපරාධකරුවන් ගණනාවක් මෙරටින් පලා ගොස් ජාත්‍යන්තරයේ සිට අදටත් මත්කුඩු ජාවාරමේ පසුවෙති. මත්කුඩු ජාවාරම අද වනවිට බෙහෙවින් අඩුවී ඇති බව පොලිස් වාර්තා පෙන්වා දෙයි. කෙසේ වෙතත් මෙසේ විදෙස්ගත වූ පාතාල අපරාධකරුවන් විවිධ ආකාරයෙන් යළි මෙරටට පැන ගැනීමට උත්සාහ කරන අතර එසේ හොර රහසේ පැමිණි අයකු වුනේ දෙමටගොඩ චමින්දයි.

පසුගිය වකවානුවේ රට තුළ ඉතා දරුණු ලෙස ක්‍රියාත්මක වූ කප්පම් ගැනීම් පැහැර ගෙන ගොස් කප්පම් ඉල්ලා සිටීම, බ්ලැක්මේල් කිරීම සහ කලුසල්ලි ජාවාරම මේ වනවිට බෙහෙවින් අඩුම තත්ත්වයක පවතී. කලු සල්ලි ජාවාරමට එරෙහිව වැටලීම සිදුකළ කොළඹ වංචා විමර්ශන ඒකකයේ නිලධාරින්ට මීට වසර කිහිපයකට පෙර සිදුකළ එම මෙහෙයුම් දේශපාලන සහ බලපෑම් මත නතර කිරීමට සිදුවූවා පමණක් නොව එසේ වැටලීම් සිදුකළ නිලධාරින් හිටිහැටියේ මාරුකර දැමීම් පවා සිදුවිය.

කෙසේ වූවද මෙවැනි සිදුවීම් මේ රට තුළ තවදුරටත් සිදුවීමට ඉඩ නොලැබීම යහපාලන ආණ්ඩුවේ ප්‍රතිඵලයකි. රට තුළ පැවැති දරුණු යුද්ධයක් රණවිරු කැපවීමෙන් අවසන් විය. ඉන් අනතුරුව රටේ අපරාධ සිදුකර නීතියට පටහැනිව ක්‍රියාකිරීමට කිසිවකුටත් ඉඩනොදෙන බව රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි. යහපාලන රජය තුළ මෙවැනි සිදුවීම්වලට ඒවා සිදුකර සැඟවී සිටීමට කිසිසේත් ඉඩ නොතබන බව පවසන අමාත්‍යවරයා, පොලිසිය, විශේෂ කාර්ය බළකාය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ යොදවා මේ වෙඩි තැබීම් හා ඝාතන පිටුපස සිටින්නවුන් සොයා ගැනීමට මෙහෙයුම් සිදුකරන බවද අවධාරණය කරයි.

මොවුන් හමුවූවොත් ඔවුන්ට එ‍රෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත. එහිදී පුද්ගලයා කවුරුන් හෝ වේවා ඔහු මේ අපරාධ රැල්ලට සහයෝගය දෙන්නේ නම්, කඩාකප්පල්කාරී ක්‍රියාවක යෙදෙන්නේ නම් ඔහුගේ තරාතිරම නොබලා නීතිය හමුවට පමුණුවා ලබාදිය හැකි උපරිම පියවර ගැනීමට රජය මේ වනවිට සූදානමින් සිටියි.

විජයානි එදිරිසිංහ


නව අදහස දක්වන්න