බොරු සුචරිතවාදීන්ට ඇමැති රංජන්ගෙන් පිළිතුරු | දිනමිණ

බොරු සුචරිතවාදීන්ට ඇමැති රංජන්ගෙන් පිළිතුරු

කුඩා දරුවා වඩාගෙන සිටින රංජන් රාමනායක මහතා ඡායාරූප - කුලියාපිටිය විශේෂ

නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා ඉකුත් 5 වැනි දින කුලියාපිටියේ ගල්පොළ ප්‍රදේශයට පැමිණියේ චිත්‍රපට රූගත කිරීමක රංගන දර්ශන සඳහා පෙනී සිටීමට නොවේ.

සමාජ සවිබල ගැන්වීමේ සමාජ සුබ සාධන නියෝජ්‍ය ඇමැතිවරයා වූ ඒ මහතා එදින එහි පැමිණියේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දැනුම් දීමක් මත රාජකාරි කටයුත්තක් සඳහාය.

එච්.අයි. වී. ආසාදිතයකු බවට ගම්වාසී දෙමාපියන් වැරැදි වැටහීමකින් යුතුව සැකකිරීම නිසා කුලි / බෝ හන්දිය ප්‍රාථමික විදුහලේ 2016 පළමු ශ්‍රේණියට ඇතුළත්ව ඉගෙනුම ලැබීමේ අයිතිය අහිමි වූ අහිංසක දරුවා හා තම දරුවාට සිදුවූ ඒ බලවත් අසාධාරණය හේතුවෙන් දැඩි සිත් වේදනාවට හා අසරණ භාවයට පත්ව සිටින මව වෙනුවෙන් සාධාරණය ඉටු කිරීමට පියවර ගැනීම සඳහා වූ විමර්ශන මෙහෙවරේ යෙදෙමින් නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා එදින එහි පැමිණියේය.

එම නිවසේ ගෙමිදුලට පැමිණි නියෝජ්‍ය ඇමැතිවරයා තමා ඉදිරියට ආ එකී දරුවා ඒ සැණින් වඩාගෙන සෙනෙහසින් යුතුව ඒ දරුවා සිප ගනු ලැබීම ඉතා සංවේදී දසුනක් විය.

ඒ මහතා ගෙන එනු ලැබූ සිතුවම් පොත් පාට පෙට්ටි පලතුරු රසකැවිලි ආදියෙන් යුතු ‘කදමලු’ පාර්සලයක් ඒ දරුවාගේ දෝතගැන්වීය.

ඒ දරුවාගේ මවගෙන් විස්තර විමසුමක යෙදුණු නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන් හා සම්බන්ධවීමට සිය ජංගම දුරකථනයෙන් ඇමතුමක් ගත්තේය.

ඒ ඇමතුමට ජනාධිපතිතුමා පිළිතුරු දුන් අවස්ථාවේදී හේ මෙසේ පැවසීය. ජනපතිතුමනි, ඔබතුමා කීව විධියට මම දැන් ඒ දරුවා හා මව වෙසෙන නිවසට ඇවිත් ඉන්නේ. ඔබතුමා කතා කළාම ඒමවගේ හිත හැදේවි. යැයි පවසා ජංගම දුරකතනය එම මව අතට දුන්නේය.

ජනාධිපතිතුමණි,... යැයි මව ඇමතූ අවස්ථාවේදී ආ... ඔව්.. මම රංජන් ඇමැතිතුමාට කීවා. ඇවිත් බලලා අපි කරන උදව්වක් කරමු කියලා. ඔය වගේ ප්‍රශ්න ඇතිවන්නේ සමාජයේ මිනිස්සුනට අවබෝධයක් නැති නිසානෙ. දරුවට ඇතිවෙලා තියෙන ප්‍රශ්න ගැන අපි බලාගන්නම්. ජනපතිතුමා කාරුණිකව පැවසීය.

එම මව (හැඬුම්බරව) දැන් මාස 2ක් වෙනවා. මගේ දරුවට තවම ඉස්කෝලයක් නෑ. ජනාධිපතිතුමනි. ගමේ අනෙක් ළමයි ඉස්කෝලෙ යනවා.

ජනාධිපතිතුමා - බයවෙන්න එපා ඒ සියල්ල අපි බලාගන්නම්. දැනුමක් තේරුමක් නැති අයනේ කෑගහන්නේ. ඔහොම කතා කරන්නේ.

එම මව - මං ලොකු අසරණ තත්ත්වයක ඉන්නේ. ජනාධිපති තුමණි. මේ ගමෙනුත් මම යන්න කැමතියි. මගෙ දරුවත් අරගෙන. මේ බිත්ති හතරට මායි දරුවයි කොටුවෙලා ඉන්නෙ. වෙලාවකට මට හිතෙනවා ගොයම්තෙල් කුප්පියක් ගෙනැල්ල බීල නිදාගන්න. ඒත් මම මැරුණොත් මගේ දරුවට තවත් ප්‍රශ්න වැඩි වෙනවනෙ.

ජනපතිතුමා - බයවෙන්න එපා. ආණ්ඩුවක් විධියට අපි ඒ වගකීම බාර ගන්නවා. රන්ජන් ඇමතිතුමයි අපි කට්ටිය එකතුවෙලා සුදුසු වැඩපිළිවෙළක් යොදන්නම්. බයවෙන්න එපා. ජනපතිතුමා අසරණ මවගේ හිත එසේ සනසාලීය.

රංජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා මෙහිදී මාධ්‍යවේදීන් වෙනුවෙන් අදහස් දක්වමින් මෙසේ පැවසීය.

මේ ගමේ සමාජය වැරදි අව‍බෝධයක් ඇතිකැරගෙන තිබෙනවා. මේ අහිංසක දරුවත් ඔහුගේ මව හා මියගිය පියා ගැන,ඒ නිසා මේ දරුවට ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා කියලා.

මට තේරිල දැනිල තමයි අද මම මේ ගමන ආවේ. ගමේ දෙමාපියන් කියන විධියේ කිසිම ආසාදිත රෝග තත්ත්වයක් මේ දරුවට නෑ. වෛද්‍ය සහතික ඒ බව තහවුරු කරල තියෙනවා. එහෙම ආසාදිත තත්ත්වයක් තිබුණත් අපට මේ දරුවව කොන්කරන්න බැහැ. මේ අහිංසක දරු පැටිය කිසිම වරදක් කරල නැතුව ඒ දරුවගෙ ළමා කාලය, සෙල්ලම් කරන වයස පාසල් විය අපට උදුර ගන්න බැහැ.

මං හිතන්නෙ මේ දරුවගෙ ඒ පවුලෙ ආසාදිත කතාව මේ ගමේ බොරු සුචරිතවාදීන් ගොතපු එකක්. ඒ ගැන කෑ ගහන අයට මොන මොන ලෙඩ තියෙනවද කියල අපි දන්නෙ නෑ. ඒ කෑගහපු උදවිය ඊට පෙර තමන්ගෙ හෙල්ත් බ්ලඩ් මෙඩිකල් රිපෝට් අරගෙන පෙන්නල නෑනෙ.

වයඹ පළාත් සභා මන්ත්‍රී හා වයඹ හිටපු ප්‍රධාන ඇමැති හා අධ්‍යාපන ඇමති අතුල විජේසිංහ මහතාද එම දරුවාට හා මවට සිදූව ඇති අසාධාරණය පිළිබඳව කරුණු විමර්ශනයට මෙදින එහි පැමිණි අතර, ආසාදිත රෝග තත්ත්වයන් පිළිබඳ විශේෂයෙන් ගම් ප්‍රදේශවල ජනතාව අතර පවතින බොරුබිය හා දුර්මත පිටු දැකීමට ඔවුන් දැනුම්වත් කිරීමේ පියවර ගැනීමට පළාත් සභාවේදී කරුණු දක්වන බව පැවසීය.

කුලියාපිටිය විශේෂ


නව අදහස දක්වන්න